2024 ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්ථා වූ වසර වේ.

මෙම වසර මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ උෂ්ණත්වය අධිකම වසර බවට පත්ව ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය මෙන්ම ලෝක කාලගුණ සංවිධානය විසින් පසුගිය (11 වැනිදා ) නිවේදනය කර තිබේ. පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ අසර් බයිජානයේ බාකු අගනුවර දී ලොව පුරා රටවල් 200ක පමණ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ කෝප් -29 දේශගුණික විපර්යාස සමුළුව ඇරඹීමට පෙර එම සංවිධානයන් විසින් මෙම නිවේදනය කර තිබේ. ලොව පුරා ස්වාභාවික විපත් ඉහළ යෑමට මඟපාදා ඇති ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වී තිබෙන දේශගුණික විපර් යාස ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මෙම කෝප් -29 සමුළුව මෙවර පැවැත්වෙනුයේ තෙල් නිෂ්පාදනය කරන අසර්බයිජනයේ වීම විශේෂත්වයකි.
මෙම මස 22 වැනිදා දක්වා පැවැත්වෙන කෝප් -29 දේශගුණික විපර්යාස සමුළුවේදී මෙවර වැඩි අවධානයක් යොමුව ඇත්තේ 2015 වසරේ දී කෝප් සමුළුවට සහභාගී වූ රටවල් විසින් අත්සන් තැබූ පැරිස් සම්මුතියට අනුව දිගුකාලීනව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් දක්වා සිමා කිරීමට රටවල් විසින් සැලසුම් කරනුයේ කෙසේද? යන්න විමසා බැලීමටය. මේ අතර ප්‍රකට ස්වීඩන් ජාතික දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් පවසා ඇත්තේ මෙවර කෝප් සමුළුව පැවැත්වෙන අසර් බයිජානය පරිසරයට හානිකර ක්‍රියාවන්ට අනුබල දෙන රටක් වීම නිසා තමන් මෙවර කෝප් සමුළුවට සහභාගී නොවන බවයි. අසර්බයිජානය දේශගුණික විපර්යාස සමුළුවේ සත්කාරක රට වුවද එය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා රටක් බවත් ෆොසිල ඉන්ධන නිෂ්පාදනය ව්‍යාප්ත කිරීම එරට අරමුණ බව ඇය කිවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *