කැනඩාවේ කවි සිතුවිලි

සිහින මායාව

අලස වූ

නිදිගත් මනස තුළ

සිහින මායාවට ඇලී

අත් දකී

විවිධ වූ වින්දනයන්

අවදි වූ මනස තුළ

ඇත තවත් සිහිනයන්

විවිධ වූ විවිධ වූ

දකින දේ

මේ මොහොතේ

අසන දේ

මේ මොහොතේ

දැනෙන දේ

මේ මොහොතේ

අතීතය වේ

ඊ ළඟ මොහෙතේ

අතීතය සිහිනයකි

සිහින වූ අතීතය

අත් දකින මේ මොහොත

පවතින මේ මොහොත

වේ පදනම අනාගතයට

අනාගත මායාව

නොපවතින අනාගතය

ගැන සිතයි නිරන්තර

තවත් සිහිනයකි එය

සැරිසරන සිහින ලොව

මායාවකි නිරන්තර

පමණමයි මේ මොහොත

පවතින්නේ හැමදාම

අතීතය මායාවකි සිහිනයකි

මායාවකි සිහිනයකි අනාගතයත්

පවතී මේ මොහොත පමණක්

වටහා ගන්නට මෙවන්

අවැසි වේ සිහි නුවණ

කළණ දිසානායක

Windsor – Canada

අප්පච්චි …….

කදුළු හංගන් හිත් කොනේ 

තාත්තලා ඇත සිව්කොනේ 

තුරුල්ලේ නැති වුණත් දරුවන් 

බැල්ම ඇත තවමත් හිතේ 

බැල්ම ඇත හැමදා හිතේ 

සූ විසි පැයේ වෙහෙසෙන අම්මලා 

ගෙදර සකසුරුවම් කලා 

දා බිංදු රැස නිති වගුරලා 

තාත්තලා බර පැන සොයා 

තාත්තලා ඇත වෙහෙසිලා 

සුමේ කරනා තුන්යමේ 

වින්ද දුක් නම් නිම් නැතේ 

අඩලා දොඩලා නොකිව්වට නිති 

නැතිද දන්නේ දරුවනේ 

නැහැනෙ දන්නේ දරුවනේ 

තුරුල්ලේ ඉදහිට හොවා 

සෙනෙහේ පානා අප්පලා 

හිතේ මහමෙර තරම් රැදි 

සෙනෙහෙ ගඟ නැත වියැකිලා 

තවම නැත එය වියැකිලා 

පිය සෙනේ නැත මතුවෙලා

තාත්තලා ඇත සැඟවිලා

කදුළු කැට නැත මතුවෙලා 

දුක දරයි සැප දුක දරා 

සැපද දුක සමබර කලා  

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

පෙර මඟ බලමි

දිවි සම හිමියනි 

නොසිතු ලෙස ඔබ පිටවුනි

හදගැබ කැලඹුණි  

නෙතු යුගෙහි උණු කඳුළ රජවුනි 

අසනෙමි කරුණක් 

කිමද ඇදුනේ වෙනතක් 

සුළු හෝ වරදක් 

වුනිද කිවමැන මගෙන් මෙතුවක් 

පවසමි රහසක් 

ඇදුනු පසු ගව් ගණනක් 

සෙනෙහයෙ ලකුණක් 

වැඩුනි කුසතුල ලදිමි සතුටක් 

තනි වුන දින සිට

පොරකති බඹරු මලවට 

සැඟවිල වසනට 

දැරුව තැත නොම දනී රට තොට 

සිරිදුව සමඟින 

පිවිතුරු කමද රැකගෙන 

පුතු තුරුලට ගෙන  

දිවිය තරණය කලෙමි කඳුළින 

පුතු මගෙ පණ නල 

නිම කර සතර නිසිකල  

දකිනට හසරැළ  

දුනිමි ඔවදන් මැදින කඳුළැල

නිසි කල එලබින

පිටවිය කාර බඳිමින 

ලැබ දූ දරුවන 

වෙසෙන බව දැනගතිමි නිදුකින

දිවියෙහි පැරදුම 

දසතින් ලබත් ගැරහුම 

හදගැබ රහසෙම  

සතුට සමරයි ලැබුව ජයබිම 

පාලුය හදවත 

වාගෙම තනිවු සඳවත 

සීනය විකසිත 

ඒවි කියලයි මගේ රන් පුත

පිරිවර සමඟින

දකිනු රිසි යලි එන දින

අතැඟිලි ගනිමින 

බලමි පෙරමඟ බොඳවු දෙනෙතින 

( පියුම් ගී විරිත ඇසුරෙනි  ) 

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

අඩකුඹුව 

හිත පිරෙන සුබ උදැහැනක      ඔබ

අඩ සඳක් සේ ඇවිත් හද        ගැබ

අඩකුඹුව තිබු මගේ            හදවත

විසුරුවයි නිල් අහස            විනිවිද

නුඹ ඇවිත් සිත             දැවටෙමින්

සිත අනන්තය වෙත        ගෙනයමින්

උණුසුමක් අත                 දවටමින්

ඒ පහස කුටියේ             ඉහිරෙමින්

වේගයෙන් සුසුමන්               ඇවිත්

නවතාගන්නට බැරි              බැවින්

ඉතිරී ගලා ගිය               උණුසුමින්

අඩකුඹු කළා හදවත        සෙමෙන්

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

බලා ඉමි අදටත් නොනිදා

සරත් සුළං හඩින්

විඩා අදුරු සැදැ සමය

ගත කරන අදටත් මා

සද දෙස බලා හිනැහෙන

හෙන්දිරික්කා මල් සුවදට

පාර පෙන්වු සද රැසින්

තවත් දිනක ලංවෙන්න 

පෙර දරන සිතුවිලි ඇමුනුවා

නුඹේ සුවද මා ලගින් ගිලිහි 

ගිය මතක

අරුමෙකි අදටත් ඉගිකරන

දෙනුවන් සදේ මුනිවත

සොයන දගකාර කෙහෙරුලි

මදකට සැලුනා 

රැයේ අඩන රැහැයි හඩ ලතාවට

තෙත් උනු .. කදුඵ ඵක්කර

තවත් දිනක් සුපුරුදු ලෙස 

බලා උන්නා.. නුඹේ නුවන්.. දැක්මට

මාත් අන්ධයි නුඹ මෙන්

රැයේ පිපෙන සෙපාලිකා.. සුවදට

ඵක් කරන්න 

බලා ඉමි අදටත් නොනිදා රැය පුරාවට..

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *