කැනඩාවේ කවි සිතුවිලි

සඳරැස් උතුරන විල් දිය මත්තේ

සඳරැස් උතුරන විල් දිය මත්තේ

හිම කැට දිදුලන කාලය අස්සේ 

හිත පිරිමදිනා සිතුවම් මත්තේ 

පියමැන යමු අපි දේදුනු අහසේ 

වාන් දමන සිතුවිලි පසුපස්සේ 

දෝරේ ගලයි පැතුමන් හද මත්තේ 

දකිනා විට දුව පුතු රුව දෑසේ 

තව වෙන මොනවද මේ ලොව ඇත්තේ 

රූ මවනා නෙක තරු කැට බිස්සේ 

ඔබ හා මා නෙතු දැවටුණු මොහොතේ 

පහන් තරුව සිත රැදි ඉස්මත්තේ 

සුරැකිව එය අද මා ළග ඇත්තේ 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

ආදරයද ? රාගයද ?

මිනිසුන් සතුන් හට උරුමයි                     ආදරය

පිස්සු හැදෙයි නැති වන විට                    ආදරය

වටහාගෙන නොමැත තේරුම                  ආදරය

මිනී මැරුම් සිදුවෙයි මත                       ආදරය

පාසැල් වලත් දළුලනවා                         ආදරය

සරසවි බිමෙත් එළිපිට ඇත                    ආදරය

මග තොට හමුවෙලා කරනවා                  ආදරය

බස්රිය දුම්රියෙත් දකිනව                       ආදරය

සමහරු අත්දකී කුළුඳුල්                        ආදරය

ඉඳහිට ඵල දරයි නොඉඳුල්                     ආදරය

සමහරු කරයි දෙක තුනකට                   ආදරය

කෙස් ගසකින් බෙදෙයි වෛරය                ආදරය

කිරිපැණි වගෙයි මුලදී නම්                      ආදරය

කරවිල වගෙයි කල් යන විට                    ආදරය

 තේරුම්ගෙන කළොත් හරියට                 ආදරය

රැකගත හැකිය කිරි පැණි මෙන්               ආදරය

උතුරා ගියා මුලදී ඇගෙ                          ආදරය

 වෙන අයෙකුට පුදයි ආදර                    මන්දිරය

ඉඳුරන් පහට කොයි කවුරුත්                   කෑදරය 

හැතිරිය වුනේ මෙහෙමයි සිය               පෙම්බරිය

ආදරෙ කරයි සමහ​ර අය                   දුටුපමණි​න්

ගැලපීමක් නොමැත දෙදෙනා කිසි             අයුරින්

වෙන්වුනහොතින් දෙදෙනෙක් හොඳ හෝ   නරකින්

පළිගන්නට සිතයි උත්තර දී                   පිහියෙන්

තම පෙම්බරිය වෙන අයෙකුට             ආදරෙනම්

අනියම් පෙමට හේතුව ඇගේ                රාගයනම්

පාවාදෙනු ඇයව ඔහු හට හැකි                විගසින්

යන්නට එපා පස්සෙන් අඬ අඬ                 ඉල්ලන්

මුළු හදවතින් කළහොත් ඔබ                  ආදරය

කවදාවත්ම ඇයගෙන් ප​ලිගනු                   බැරිය

වෛරය ඇවිත් සිතුනොත් ගන්නට                පලිය

රාගය මිසක් නොතිබිණි එහි                    ආදරය

සිසිල් මාන්නප්පෙරුම 

Brampton Canada

ඔහු …..  

(ඇය හැරදා ගිය ඔහු ගේ පාපොච්චාරණය )

මෙහි මුල් කොටස නොවැම්බර් කලාපයේ පළවූ “පෙර මඟ බලමි”  

හදබැඳි සොඳුරිය

අප ගෙවු දිවිය මිහිරිය 

මිතුරගෙ සොයුරිය 

නිතර හමුවී පෑවෙ ඔමරිය 

හිතද හිරි වැටුණි 

තහනම් පෙමක පැටලුණි 

නුඹව අත හැරුණි 

ඇයගෙ සහයට නොයා බැරිවුණි 

නොසිතනු අහිතක්  

කලෙ මම නුඹට වරදක්  

තැවෙමින සහසක් 

සුසුම් ගිලිහෙයි නොමැත සතුටක් 

කිසි දින වරදක් 

නොකළ ඔබ දිව අඟනක් 

නොහෙලනු කඳුලක්  

කරුවෙ හැමවිට මමයි බොරුවක් 

ගිලිහෙත පැතුමන් 

සිරකර සිතෙහි හැඟුමන් 

ලබමින අවමන් 

පුරන බව දැනගතිමි පෙරුමන් 

අදරැති මියුලස 

නුඹ කුසෙහි මගෙ සෙනෙහස 

පිළිසිඳි අනුහස 

නොදැන සිටියෙම් විඳිමි උදහස 

ඔබහැර ගියමුත් 

තැවෙමි මනසින තවමත් 

සතොසින විඳගත්

එකදු මොහොතක් නොමැත අදටත් 

තුරුලෙහි විසුමට 

මදිය කල පින මිහිපිට 

උපදින බවයට 

නැවත එක්විය හැකිද අපහට…?

පිරිවර ගැවසෙත 

නොමැත තනියට හිතවත 

ඇතිදුක හදමත 

සතපවා ගමි කෙරෙන් මධුවිත 

( පියුම් ගී විරිත ඇසුරෙනි )

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

මිතුරා ගිය පසු……..

නියං සමයක

අඳුරු පෝ දවසක

අහම්බ අඩ සඳක් සේ

පායා එයි ඔබ නිතිපතා වසරින් වසර..

හද පතුලෙන් පටන්ගෙන

හිස්මුදුන තෙක් ගොඩගැසුණු

විඩාබර සාංකාවන් එකින් එක ගෙන

නිස්සද්දයේ ගැඹර තුල ගිල්වයි.

මහ පෝය එන්නට පෙර නික්ම යයි

හැමදේම සුදුපාට පිරිවටින් ඔතා

නව කමටහනක් ද දී

එන නියං සාය තෙක් පුර පුරා ඉන්නට. 

චන්ද්‍රරත්න බණ්ඩාර

Toronto – Canada

සඳ නවතා

ඉතිං  මං ඉන්නම්කො 

හඳ ටිකක් අල්ලගෙන 

විඩාවක් දැනෙන්නෑ 

අවදියෙන් සිටිනු මැන

පවන් රැළි වැදි වැදී

සසැ​ළේවි කෙහෙ රැල්ල 

හෙටින් විතරක් මැකෙයි 

අපේ මේ හමුවිල්ල

තවත් ලතැවී කුමට 

මං ළඟින් ඉන්නව​නෙ

ගියත් හෙට උදෑසන 

යළිත් හෙට එනවානෙ  

එහෙත් මට පරක්කුයි 

ඔච්චමින් කිව්වා නෙ 

ඒත් හිත රිදුන්නෑ  

මගේ ඇකේ හිටියා ​නෙ

දසන් විදහා සිනා

පා කළා කොඳුරමින් 

ඇසින් මතු වූ සිනා 

සිතින් යන්නෑ ඉතින් 

පැතුම් ඉටු වී සෙනේ 

වදන් මතු වී මුවින් 

ඉතින් අපි මෙහෙම ඉමු 

සඳෙන් සඳ හදවතින්

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

ප්‍රේමය…

සිහින මවමි තනි යහනේ..

ප්‍රේමය නුඹ මා හැර ගියාද?

පාඵ නිසොල්මන් යහනේ..

සදවති සිතල සිපගනිමින්..

තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා..

මතක් උනා අතිතය..

“මල් වත්ත පාර”..

නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..

තාමත් දැනෙනවා ඵ් සුවද..

ලෝභයි ඵ් ආදරේට..

දෙනුවන් කදුලින් තෙත්උනා..

සුසුමක් හෙලුවා හිස් අහසට..

සද කුමරි නිදිමතින්.. මිමුනුවා ගියක්..

“තරු අත් අකුරින් ලියා ඵවමි ඔබට පෙමි පත..

ඔබේ‍ සෙවන පමණි මිහිපිට ඇති ඵකම සමිපත..”

හදවත නතර උනා මොහොතක්.. ඉකිගසන්න

වාරු නැ හදවතට.. 

උහුලන්න බැරි තනිකමක්..

සිතලට ගුලිවෙචිච කාමරේක..

රැහැයි හඩට තුරුලුව.. මුමුනනවා

නුඹේ‍ පෙමි හසුන්..

ගහකොළ නිසෝල්මනේ නැවතුනා..

මොහොතක්..

මද රස්නයක් දැනුනා හිතට..

තාමත් තොන්තුවෙන් අකුරු අතර..

සොයනවා නුඹේ මුහුණ..

ගිලන් හදවත තාමත් ආසයි 

ඵ් ආදරේට..

තනිකම සොයනවා සිහින තොටුපොල ලග..

ආදරේද මට… කියන්න.. රහසින් කාටත් හොරා..

ශ්‍යාමලී ගමගේ.

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *