අම්මා
බිහි කර ලොවට කිරි කර ගත ලේ බින්දු
සිහිනෙන් පවා ළඟ හිඳ ලය දුක් සින්දු
ලෙහි රැඳී මුදු ගුණය නිරතුරු වත රැන්දු
මිහි පිට දෙවිවරුන්ටයි කවි අම බින්දු
උරමත හොවා සිහි කර මව් ගුණය සෙට
තරණය කළ සයුර සිය පන දෙවැනි කොට
පෙර බෝ සත් සිරිත සිහියට නගා තුට
පුරවමු සියලු හදවත් මව් ගුණෙන් සෙට
සුන් කර අලස ගති යුතුකම් ඇත නෑර
ලංකර අපට දියුණුව වෙත යන පාර
පෙන් වූ හැම විටම එඩිතර ගති සුර
ගෙන්ගෙට බුදුනි ඔබටයි මේ උපහාර
දස මස කුස දරා විඳ දුක් නැති නිම්මා
හිස අත ගගා ඔවදන් බස් දී පෙම්මා
රස මසවුළු කවා අප දැඩිකළ අම්මා
සසරින් මිදී වේවා සම්බුදු සම්මා
කුසුම් කාරියවසම්
Markham , Canada
වල ගැහුණු කම්මුල් මතක
මං එරන්දී යැයි කියා
කියන විට ඔබ හිනැහිලා
වල ගැහුණු කම්මුල් මතක අතරින්
අතීතෙට මං දිවගියා
මතක මිටියාවත් පුරා
පළමු පෙම සක්මන් කලා
තියෙනවද දන්නෑ අදත්
කෙටූ නම් ඩෙස්ක් එක පුරා
බස් එකේ මුල්ලට වෙලා
තැනූ වැලි මාළිග පුරා
හීන ගුලිවී ඈත පාවී
ගියේ අපි නොසිතූ යුරා
රුවන් හරිස්චන්ද්‍ර
Toronto – Canada
අහිමි සෙනෙහස
අහිමි සෙනෙහස සවන් පත් මත කොඳුරනා තිස් තුන් පැයේ
නිදන සිතිවිලි අතර සහසක් අවදි වූ පැතුමන් තියේ
දකින සිහිනද මනස කළඹයි ශෝක ගී දසතින් වැයේ
ඉපිද මියැදෙන සුසුම් දහරින් සතපවමි හැඟුමන් ළයේ
සුමුදු පියකරු තඹරු සහසක් හිනැහුනා නිල් දිය පුරා
පසෙක රතැඟිලි පටල පෝරුව මත සිටියෙ කුසුමිය දරා
කෙලෙස හදවත වාවගමි උණු කඳුළු පිබිඳුනි නෙතු ඉරා
ඉපිද මතුභව එනු මැනවි සෙනෙහසිනි මාගේ ලොව කරා
දර්ශනි රූපසිංහ
Hamilton – Canada
කෙටි කවි තුනක්
Hillman minx – 1954
අපේ ගෙදර කාර් දෙකක් තිබුනා හිල්මන්
මගුල් හයර් වලට එදා ගත්තෙම හිල්මන්
අනුරපුරේ කතරගමට ගියේම හිල්මන්
කඩුගන්නා කන්ද නැග්ගා නියමෙට හිල්මන්
Volkswagen Beetle – 1953
“ඉබ්බා” කාර් කියල තමයි කව්රුත් මේකට කියන්නෙ
ජර්මනියේ හදපු එකකි Radiator නැතිව එන්නෙ
කාන්තාරෙ යන්න තමයි මුලදී එලියට දමන්නෙ
Beetle කියනව මේකට ඇංජිම පසුපස තියෙන්නෙ
“මොරිස් එයිට්” – Morris 8 1948
අපේ ගෙදර පලමු කාරෙකේ කතන්දරේ
අසනු මැනවි “මොරිස් එයිට්” එකකි සුමිතුරේ
හෝදල පිරිසිදු කෙරුවේ මම නිරන්තරේ
සී.ඊ. දොලහයි හතලිහ ඒකෙ නොම්මරේ
සිසිල් මාන්නප්පෙරුම
Brampton Canada
හමුවීම පතා
මට වැරදියට හිතී
ඔබට හරියට හිතී
සිනාසී දිනූ ආදරය
අද දක්වා ඇවිත්
හැරවුම් ලක්ෂයට
මා මෙතෙක් කළ කී දෑ
තවම ආසයි කියන්නට
ඔබේ බැල්මට
සිනා කැල්මට වශී වී
ඔබ තුරුල්ලේ සිට
ආදරේ මට කියා දුන්
එක දෙයක්
ඇත මට බෙදා ගන්නට
තවම ළතැවෙමි
අකුරු ගළපමි
දවස ඒවිද තාම නොදනිමි
වාරු නැති හිත
වාරු කරදී
හිත හදන්නට දෙන්න ශක්තිය
කවි සිතට ඔබෙ
පෙම්බැන්ද මට
දෙන්න අවසර පද හොයන්නට..
කුසල හාමුදුරුවෝ
Brampton – Canada
අප්පච්චි
අද තෙක් ආවා මේ ගමන
ඔබ දුන් හයියෙන්…….
මට හැකිවෙයිද බැරිවෙයිද නොදනිමි
යන්නට ඉදිරියට නොදුන්නොත් ඔබ සුරත
කදු වැටි සමතලා කොට
තනා දුන් නිවස
දොර ඇර තිබූ
සිංහ ගල්ලෙන
හිරු ඔබ විය සැරට පායන
එහෙයින් පිබිදුනි අප
කොද කැකුළුවක සිට සුපිපි වන මල් සේ
රෑට ඔබ සදු විය
මහ සැඩ රශ්මිය පළවා හරින
ඝන සීතල වුව මුන නොගස්වන
රෝ දුකින් සිරුර පෙලනා නමුත්
සිහ රදෙකු සේ හැසිරිණි
මිනිස් වග වෙත වග ඵල නොකියන
මිනිස් වග වලසුන් අතර
හීන්දෑරී උස මිනිසෙකු වූ ඔබ
සිහින් බද සහිත පහන් කනුවක් සේ
පාර පෙන්වීය
අප හැමෝටම
චන්ද්‍රරත්න බණ්ඩාර
Toronto, Canada