

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පස්වරුවේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම ප්‍රාන්තයේ සංචාරකයන් අතර ජනප්‍රිය පැහැල්ගම් ප්‍රදේශයේ මිටියාවතකදී වන අතර, පයින් හෝ අශ්වයන් පිට පමණක් ගමන් කළ හැකි ප්‍රදේශයක් බැවින් ප්‍රහාරයට ලක්වූ සංචාරකයන් මුදා ගැනීමට ආරක්ෂක අංශවලට දැඩි උත්සාහයක නිරතවීමට සිදුවූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 18 දෙනකු තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ සියලු සංචාරකයන් ඉන්දීය ජාතිකයන් බව ද වාර්තා වේ. කාශ්මීර් ප්‍රාන්තයේ ශ්‍රීනගර් නුවර සිට කිලෝමීටර් 50ක් දුරින් පිහිටි පැහැල්ගම් නිම්නයේ සිටි සංචාරකයන් අතරට කඩා වැදුණු අවිගත් ත්රස්තවාදීන් ඔවුන්ගේ ජාතිකත්වය විමසමින් විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, මිය ගිය අය අතර නාවික හමුදා නිලධාරියකු සහ බුද්ධි අංශ නිලධාරියකු ද සිටින බව එරට මාධ්‍ය සඳහන් කරයි. ත්‍රස්ත ප්‍රහාරයේ අවදානම සැලකිල්ලට ගෙන නවදිල්ලි හා මුම්බායි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
වසර 2008 නොවැම්බරයේ සිදුවූ මුම්බායි ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ සිදුවී විශාලතම ත්‍රස්ත ප්‍රහාරය මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයේ වගකීම ටීආර්එෆ් නමැති රාජ්‍ය විරෝධි සංවිධානයක් විසින් බාරගනු ලැබූ බවත්, එය පාකිස්තානය කේන්ද්‍ර කරගත් ලක්ෂරී ටොයිබා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධතා ඇති සංවිධානයක් බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය යුද හමුදාව පියවර ගෙන ඇති අතර, ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. ත්‍රස්ත ප්‍රහාරය සිදු වන විට අමෙරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් ඉන්දියාවේ සංචාරයකට එක්වී සිටි අතර, ඒ වනවිට සෞදි අරාබියේ නිල සංචාරයක යෙදී සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එය අවලංගු කර නැවත ඉන්දියාවට පැමිණි බව වාර්තා වේ. කාශ්මීර් ප්‍රාන්තයේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රාන්තයේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, කාශ්මීරයේ සියලු සංචාරයන් තාවකාලිකව අවලංගු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
මේ අතර සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය (SVES) යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබෙනවා.ඒ කාශ්මීරයේ ඊයේ (23) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ගත් ප්‍රධාන පියවර කිහිපයක ප්‍රතිපලයක් ලෙසයි.
එමෙන්ම නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරු අවලංගු කිරීමටද පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.ඉන්දියාව ද සිය ආරක්ෂක හමුදා “ඉහළ සෝදිසියකට” ලක් කර ඇති බවද සඳහන්.
මේ අතර ප්‍රහාරයෙන් පසු ඉන්දියා – පාකිස්තාන ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමට, ඉන්දියානු රජය තීරණය කර ඇත. නරේන්ද්‍ර මොදි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාණත්වයෙන් එරට ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව රැස් ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් තීරණය කිහිපයකට එළබුණු බව එරට රජය නිවේදනය කර තිබේ.
ඉන්දියාව සහ පකිස්ථානය සම්බන්ධ කරන ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීම ඉන් එක් පියවරකි.
දෙරට අතර ජලය බෙදා ගැනීමේ ගිවිසුමක් අත්හිටුවීම, රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම සහ පකිස්ථාන වීසා බලපත්‍රලාභීන්ට පැය 48ක් ඇතුළත පිටව යන ලෙස නියෝග කිරීම සෙසු තීරණ අතර වේ.
ඉන්දීය රජය මෙම ප්‍රහාර පිළිබඳව ඇගිල්ල දිගු කරන්නේ පකිස්ථානයටය. පාකිස්ථානය වක්‍රව වගකිව යුතු බවට ඉන්දියාව සංඥා කර තිබේ. පකිස්ථාන් රජය කාෂ්මීර කලාපයේ සන්නද්ධ කණ්ඩායම්වලට සහය දක්වන බවට ඉන්දියාව දිගු කලක් තිස්සේ චෝදනා කරයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පකිස්තානය සඳහන් කළේ, ඇතැම් ඉන්දියානුවෙන් වෙනුවෙන් නිකුත් කළ වීසා ද,අවංලගු කරන බවයි.
මේ අතර ඉන්දියාව සමග සිදුකරන සියලු වෙළෙඳ කටයුතු අත්හිටුවන බව පකිස්තානය ද නිවේදනය කළේ ය.
පකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ඉන්දීය හිමිකාරිත්වය දරන සහ ඉන්දීය පාලනය යටතේ පවතින සියලු ගුවන් යානා වලට සිය ගුවන් අවකාශය වසා දමන බවයි.
ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඊයේ සිට තවදුරටත් ක්‍රියාත්මකය.
කාශ්මීරයේ ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවට ඉන්දියානු ආරක්ෂක අංශ විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ.