පාකිස්තානයට ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වේද ?

කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසය.

අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ මෙවැනි පියවරක් හරහා සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමනු ඇති බවය.ජම්මු සහ කාශ්මීරයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙතරම් සංවේදී කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීමට පෙර එහි බරපතළකම සොයාබැලිය යුතුව තිබූ බවය.

මේ අතර ඉදිරි පැය 36 ඇතුළත පාකිස්තානයට ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු මඟින් අනාවරණය වී ඇතැයි පාකිස්තානයේ ජනමාධ්‍ය ඇමැති අතාවුල්ලා ටරූරු ප්‍රකාශ කලා. එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් පාකිස්තාන ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබුණා.සියලු ආකාරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පාකිස්තානය විසින් නිරන්තරයෙන්ම හෙළා දකින බවට ප්‍රකාශ නිකුත් කළද, සිය රට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වී ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් පාකිස්තානය දේශසීමා ත්‍රස්තවාදයට සහය දෙන බවට ඉන්දියාව චෝදනා කර තිබේ. කෙසේ වුවද එවැනි ඕනෑම ආක්‍රමණයකදී පාකිස්තානය දැඩි ප්‍රතිචාර දක්වන බව ද පාකිස්තාන ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ. පාකිස්තාන ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ද වාර්තා වේ.

මේ අතර කාශ්මීර ප්‍රහාරය මුල් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වූ අර්බුදය මැද ඉන්දීය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමට පාකිස්තානය පියවර ගැනීමෙන් මාසිකව රුපියල් කෝටි 307ක අතිරේක වියදමක් දැරීමට ඉන්දියාවට සිදුවනු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් ඉන්දීය ගුවන්යානාවලට සිය ගමනාන්ත සඳහා විකල්ප භාවිත කිරීමට සිදුවීමෙන් ගුවන් කාලය දීර්ඝ වනු ඇතැයි ද, ගුවන් ඉන්ධන භාවිතය ඉහළ යනු ඇතැයි ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මේ තත්ත්වය මත ජාත්‍යන්තර ගුවන් යානා සඳහා ඉන්දියාවට රුපියල් කෝටි 77ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.

පාකිස්තානය විසින් ඉන්දිය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමෙන් නවදිල්ලි නුවර සිට උතුරු ඉන්දියාව බලා විකල්ප මාර්ග ඔස්සේ පියාසර කරන ගුවන්යානාවලට පැය එකහමාරක අතිරේක කාලයක් වැය වනු ඇතැයි ද, උතුරු අමෙරිකාව බලා පියාසර කරන ඉන්දීය ගුවන්යානාවලට සාමාන්‍යයෙන් ගත වන පැය 16ක කාලය ද පැය එකහමාරකින් පමණ දීර්ඝ වනු ඇතැයි ද වාර්තා වේ. පැය එකහමාරක අතිරේක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 29ක් වැය වන බව ඉන්දීය ගුවන් සේවා නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *