දින12ක යුද්ධයට ට්‍රම්ප්ගෙන් සටන් විරාමයක්. අමෙරිකානු ප්‍රහාරය ගැනත් ආන්දෝලනාත්මක වාර්තාවක්.

දින 12ක් පුරා මැදපෙරදිග උඩුයටිකුරු කළ ඊශ්‍රායල- ඉරාන යුද ගැටුමට තාවකාලික සහනයක් අත්කර දෙමින් දෙපාර්ශ්වයම සටන් විරාමයකට එකඟතාව පළ කර තිබෙනවා. අවසන් මොහොත දක්වාම ඊශ්‍රායලය සහ ඉරානය අතර හුවමාරු වූ ප්‍රහාර මැද සටන් විරාමය යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වීම විශේෂත්වයක්.

ට්‍රම්ප්ගේ සටන් විරාම යෝජනාව ඉදිරිපත් වූයේ කටාර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුර ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව බවත්, පළමුව ඉරානයත්, දෙවැනුව ඊශ්‍රායලයත් ඊට එකඟතාව ප්‍රකාශ කළ බවත් වාර්ථා වේ. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කටාර් රාජ්‍යය ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. සියල්ල සිදුවිය යුතු ආකාරයෙන්ම සිදුවන බව සමාජ මාධ්‍යජාලයේ සඳහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් එම සටන් විරාමය ප්‍රකාශයට පත් කළ අතර, යුද ගැටුම් අවසන් කිරීමට දෙපාර්ශ්වයම බුද්ධිමත්ව එකඟතාව පළ කිරීම සම්බන්ධව ස්තූතිය ද පුද කර තිබිණි. මැදපෙරදිග විනාශ කරමින් වසර ගණනාවක් පැවතිය හැකි යුද්ධයක් අවසන්වී ඇතැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යජාලයේ වැඩිදුරටත් සටහන් කර තිබේ.

ඉරානය තවදුරටත් ප්‍රහාර එල්ල නොකරනතුරු සටන් විරාමයකට එකඟවූ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති අතර, ඉරානය සිය ප්‍රහාර අවසන් කළ බව අමෙරිකාව තහවුරු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර පෙරේදා රාත්‍රී කටාර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊට දින දෙකකට පෙර අමෙරිකානු ගුවන් හමුදාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත බෝම්බ හෙළීමේ සිදුවීමට ප්‍රතිචාර වශයෙන් බවට ඉරානය ප්‍රකාශ කර තිබේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වද්දී නිකුත් වූ අමෙරිකානු ඔත්තු සේවා වාර්තාවකින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.

ඒ ලෝකයේ දැනට පවතින න්‍යෂ්ටික නොවන බලගතුම බෝම්බය වන 'බංකර් බස්ටර්' බෝම්බ හෙළා අමෙරිකාව ඉරානයේ සිදුකළ ගුවන් ප්‍රහාරක මෙහෙයුමෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල අත්වී නොමැති බවය.

එම වාර්තාවේ සාරාංශය වන්නේ, අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික තාක්ෂණික හැකියාවන් මුළුමනින්ම විනාශ කිරීමට අසමත් වී ඇති බවය.එය ඔවුන් මාස ගණනාවක් ආපස්සට යාමක් පමණක් සිදුකර ඇති බව අමෙරිකානු බුද්ධි සේවාවන් සිදුකළ මූලික ඇගයීමේදී අනාවරණය වී තිබේ.

රාත්තල් 30,000 බැගින් වූ බංකර් බස්ටර් බෝම්බ පෙළක් B2 ප්‍රහාරක යානා මඟින් හෙළමින් පසුගිය සති අන්තයේ සිදුකළ මෙහෙයුම හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට හැකි වූ බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එහෙත් අමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි සේවාවක්වන ආරක්ෂක බුද්ධි සේවාව මඟින් සිදුකළ මූලික ඇගයීමේදී හෙළිදරව් වී ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ එම ප්‍රහාරවලින් මුළුමනින්ම විනාශ කිරීමට නොහැකි වී ඇති බවය.

ඒ වගේම ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් සඳහා යොදාගත හැකි ලෙසට නිස්සාරය කරමින් තිබූ න්‍යෂ්ටික ඉන්ධන තොගයක් එම ප්‍රහාරවලින් විනාශ වී නොමැති බව අමෙරිකානු ආරක්ෂක බුද්ධි සේවාව ඔවුන්ගේ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

මේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කර නොතිබුණත් අමෙරිකානු රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබුණි.

එමෙන්ම ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික සංකීර්ණවලට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලින් පස්සේ ඒවායින් විකිරණශීලිතාවක් නිකුත් නොවීමෙනුත් ඒ බව පැහැදිලි වේ. අනෙක් අතට අමෙරිකානු ප්‍රහාරයෙන් පසුව එම න්‍යෂ්ටික ඉන්ධන වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන ගිය බවත් ඉරාන රජයේ ආරංචි මාර්ග ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන්ට ප්‍රකාශ කර තිබුණි.

ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන රඳවා තිබූ බව කියන ෆෝඩෝ බලාගාර සංකීර්ණය පිහිටා ඇත්තේ, කඳුකර ප්‍රදේශයක මීටර 80ත් 100ත් අතර ගැඹුරු උමං සංකීර්ණයක.

බංකර් බස්ටර් බෝම්බ මඟින් ප්‍රහාර එල්ල කළ හැකි වන්නේ, මීටර 60ක් පමණ ගැඹුරකට පමණයි. එහෙත් බංකර් බස්ටර් බෝම්බ එකිනෙක මත හෙළීමෙන් ඊට වඩා වැඩි ගැඹුරකට යා හැකිය.

ෆෝඩෝ බලාගාර සංකීර්ණය පිහිටි කඳු ප්‍රදේශයේ විශාල ආවාට ඇති වී තිබුණ ද එමඟින් න්‍යෂ්ටික සංකීර්ණයට හානියක් සිදුවී ඇත් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.එය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය ඉරානයට යෑමට සැලසුම් කළත් තවමත් ඊට ඉරාන රජයේ අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.

අමෙරිකානු බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් ෆෝඩෝ න්‍යෂ්ටික සංකීර්ණයේ පිවිසුම් දොරටු වැසී තිබුණත් භූගත ගොඩනැගිලි කඩා වැටී නොමැති බව මූලික ඇගයීමේ දී අනාවරණය වී තිබේ.එම ප්‍රහාරවලින් පසුවත් න්‍යෂ්ටික ඉන්ධන නිස්සාරණය කරන සෙන්ට්‍රිෆියුජ නැත්නම් කේන්ද්‍රාපසාරක රැසක් තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින බව අදාළ බුද්ධි වාර්තාවේ තොරතුරු උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණය කර තිබුණි.

මේ වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තාවක් වීම විශේෂයකි. ජනමාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කරනු ලබන්නේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමිනි.

කෙසේ නමුත් අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීමට නොහැකිවී ඇති බව පවසන මෙම වාර්තාව ධවල මන්දිරය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, අමෙරිකානු මාධ්‍ය සඳහන් කරයි.

එහෙත් ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ සිදුකළ ප්‍රකාශයකින්, ඔවුන් එම වාර්තාව යම් ආකාරයකින් පිළිගෙන ඇති බව පෙනී යයි.

අමෙරිකානු ප්‍රහාරයෙන් පසුව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, එමඟින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මකා දැමීමට හැකි වූ බවය. එහෙත් ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඊයේ පවසා ඇත්තේ, අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට හැකි වූ බවය.

කෙසේ නමුත් හේග් නුවර නේටෝ රාජ්‍ය නායක සමුළුව වෙත යන අතරතුර සිය එයාර්ෆෝස් වන් නිල ගුවන්යානයේදී ජනපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩබිම් නියත වශයෙන්ම විනාශ කිරීමට හැකි වූ බවය.

එමෙන්ම එම ප්‍රහාරවල බලපෑම අවතක්සේරු කිරීම අමෙරිකානු මාධ්‍ය වාර්තා හෙළා දකින බව ද ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඉතිහාසයේ අතිශය සාර්ථක හමුදා මෙහෙයුමක් අවමානයට ලක් කිරීමට ඇතැමුන් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ උත්සාහයක නිරත වන බවට ද ඔහු චෝදනා කළේය.

ඉරානය තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන මඟින් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරන්නෙ වසර ගණනාවක සිටය.එහෙත් ඉරානය පවසන්නේ, තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ක්‍රියාත්මක වන්නෙ සාමකාමී බලශක්තිය උදෙසා පමණක් බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගත්තොත් තමන් ඍජු ඉලක්කයක් විය හැකි බව පවසන ඊශ්‍රායලය, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ, අඩපණ කිරීමේ ක්‍රියාවලිය පිටුපස සිටින බව සියලුදෙනා දන්නා කරුණකි.

ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලින් වගේම ඔවුන් ද එල්ල කළ ප්‍රහාර මාලාවෙන් ඉරානයෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනය ඉවත් කිරීමට හැකි වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉරානයට කිසිදු න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීමට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා ඔවුන් දරන ඕනෑම උත්සාහයක් මැඬලන බවත් ඔහු අවධාරණය කර සිටී.

මෙහිදී මැදපෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ එකම රට ඊශ්‍රායලය බවද අමතක නොකළ හැකි කරුණකි.ඔවුන් ඒ බව නිල වශයෙන් ප්‍රකාශ නොකළත්, ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි 100කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය පවසයි.ඔවුන් පවසන ආකාරයට දැනට න්‍යෂ්ටික අවි පවතින රටවල් 9ක් සතුව පමණයි.ඉන් වැඩිම න්‍යෂ්ටික අවි ප්‍රමාණයක් ඒ කියන්නේ 5,449ක් ඇත්තේ රුසියාවටය. අමෙරිකාව සතු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 5,277ක් ලෙස සැලකේ.චීනය සතුව න්‍යෂ්ටික අවි 600ක්, ප්‍රංශය සතුව 290ක්, බ්‍රිතාන්‍යය සතුව 225ක් න්‍යෂ්ටික අවි පවතින බව විශ්වාස කෙරේ.ඊට අමතරව ඉන්දියාව සතුව න්‍යෂ්ටික අවි 180ක් සහ පාකිස්ථානය සතුව න්‍යෂ්ටික අවි 170ක් පවතින බව ගණන් බලා තිබේ.ඊශ්‍රායලය සතුව අවම වශයෙන් න්‍යෂ්ටික අවි 90ක් පවතින බව විශ්වාස කෙරේ.උතුරු කොරියාව සතුවත් න්‍යෂ්ටික අවි 50ක් වත් ඇති බව ජාත්‍යන්තර ආරක්ෂක පර්යේෂණ ආයතන මඟින් තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *