
ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, එරට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුරකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති බවය.
එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිරවී සිටින බවද වාර්තා වේ.
මේ අතර අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගියදා හටගත් මාරාන්තික ගංවතුරට හසුවීමෙන් අතුරුදන්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගිය බවට ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් ප්‍රකාශ කර තිබෙනවා.ගංවතුරෙන් වැඩිම හානිය සිදුවූ කර් ප්‍රදේශයේ පිහිටි ගුවාඩලූපේ ගංගාව පිටාර ගැලීමෙන් ඒ අවට යොවුන් කඳවුරුවල සිටි කුඩා දැරියන් 27 දෙනකු අතුරුදන්වූ බවට මීට පෙර වාර්තා වූවද, එම ප්‍රදේශයේ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 170 දෙනකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව ටෙක්සාස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ. ගංගාව ඔස්සේ අධික වේගයෙන් ගලාආ විශාල ජල ධාරාවට හසුවී අතුරුදන්වූ පුද්ගලයන් මුදා ගැනීමේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.පසුගිය බදාදා වනවිට මියගිය සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් ඇති අතර, මළසිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.
දින ගණනාවක් පුරා ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාපතනය ග්වාඩලූපේ ගංගාව පිටාර ගැලීමට හේතුවී ඇති අතර, ඒ අවට ගම්මාන රැසක් තවමත් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. ටෙක්සාස් ජාතික ආරක්ෂක බළකායේ ජෙනරාල් තෝමස් සුල්සර් ප්‍රකාශ කර ඇත්තේ සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවට අයත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර්යානා 3ක් ද සහාය වන බවය. මීට අමතරව ඩ්‍රෝන යානා කිහිපයක් ද මෙහෙයුම් සඳහා භාවිතයට ගෙන ඇතැයි වාර්තා වේ.