
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව හිමි වූ බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පසුගිය (18) වැනිදා ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්ලොද්මියර් සෙලෙන්ස්කි මේ බව ප්‍රකාශ කර තිබේ. මේ අතර පුටින් සහ සෙලෙන්ස්කි අතර ඓතිහාසික හමුව සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සඳහන් කර ඇත්තේ එම සාකච්ඡාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීම වඩාත් සුදුසු බවයි. මධ්‍යස්ථ සාමකාමී රාජ්‍යයක් වන ස්විට්සර්ලන්තය එම සාකච්ඡාව සඳහා තෝරාගැනීම සුදුසු බව ප්‍රකාශ කළද, එම සාකච්ඡාව වෙනත් රටකදී පැවැත්වීමට ද හැකියාව ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා එරට රූපවාහිනි නාලිකාවකට පසුගියදා ප්‍රකාශ කර තිබේ.
ඕනෑම දිනයක එම සාකච්ඡාව සඳහා සත්කාරකත්වය සැපයීමට තම රට සූදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ස්විට්සර්ලන්තයේ විදේශ ඇමැති ඉග්නේසියෝ කැසිස් ප්‍රකාශ කර ඇතැයි ද වාර්ථා වේ. ස්ව්ට්සර්ලන්ත විදේශ ඇමතිවරයා එවැනි සූදානමකින් පසුවූවද පුටින් – සෙලෙන්ස්කි සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධව අවසන් තීරණය ගැනීම රුසියාව සහ අමෙරිකාව විසින් සිදු කරනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.
කිසිදු සාකච්ඡාවක් සඳහා බටහිර යුරෝපයට පැමිණීමට පුටින්ගේ කැමැත්තක් නැති බවත්, ඔහු එම සාකච්ඡාව සඳහා තුර්කිය හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යෝජනා කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
රුසියාව සමග යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවූ අතර අදාළ සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියහ.අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව වාර්තා වේ.