ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකළා – UN විමර්ශන කොමිසම කියයි

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි.

ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක් 2023 දී හමාස් සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය සිදුකර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බව නව වාර්තාවක සඳහන් වේ.

කණ්ඩායමක සාමාජිකයින් ඝාතනය කිරීම, ඔවුන්ට බරපතළ ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම, කණ්ඩායම විනාශ කිරීමට සැලසුම් කළ කොන්දේසි හිතාමතාම ඇති කිරීම සහ දරු උපත් වැළැක්වීම.

එය ඊශ්‍රායල නායකයින්ගේ ප්‍රකාශ සහ ඊශ්‍රායල හමුදාවල හැසිරීම් රටාව, ජන සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස උපුටා දක්වයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පැවසුවේ එම වාර්තාව "විකෘති හා අසත්‍ය" ලෙස හෙළා දකිමින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර ගාසා තීරයේ සිදුවෙමින් පවතින යුද්ධය හේතුවෙන් වන ජාත්‍යන්තර පීඩනය ඉහළ යත්ම, ඊශ්‍රායලය 'යම් ආකාරයක හුදකලාවකට' ලක්වෙමින් සිටින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳුදා ප්‍රථම වරට විවෘතව පිළිගෙන තිබෙනවා.

“අපි යම් ආකාරයක හුදකලාවකට පිවිසෙමින් සිටිනවා, අපට ස්වයංපෝෂිතභාවයේ ලක්ෂණ සහිත ආර්ථිකයකට වැඩි වැඩියෙන් හැඩගැසීමට සිදුවේවි” යනුවෙන් නෙතන්යාහු පවසා ඇත්තේ එරට මුදල් අමාත්‍යාංශයේ සමුළුවකදීයි.

මාස ගණනක් තිස්සේ ජාත්‍යන්තරයෙව් පවතින අනතුරු ඇඟවීම් නොතකා වැඩි වන රාජ්‍ය තාන්ත්‍රික කෝපයන් පිළිබඳ රජය නැවත නැවතත් නොතකා හැරීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඊශ්‍රායලයේ ආර්ථික දිනපතා පුවත්පතක් වන ද මාකර් පුවත්පත එම සමුළුවේදීම නෙතන්යාහු උපුටා දක්වමින් රට දැන් “යම් ආකාරයක දේශපාලන හුදකලාවක” ජීවත් වන බවත් ඒ අනුව ක්‍රියා කළ යුතු බවත් පැවසුවා.බාහිර ලෝකය මත යැපීම වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය තමන්ගේම ආයුධ නිපදවිය යුතු බව ඔහු තවදුරටත් පැවසුවා.

මේ අතර ඊශ්‍රායලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කටාර් වෙත ගොඩබැස තිබෙනවා. ඊශ්‍රායලය පසුගියදා හමාස් නියෝජිතයන් ඉලක්ක කර කටාර් වෙත එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලයට එරෙහිව අරාබිය සහ ඉස්ලාමීය රටවල් හදිසි සමුළුවක් ද කැඳවා එරටට එරෙහි වීමේ යෝජනාවක් ද සම්මත කරගත්තා. ජාත්‍යන්තරය එම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙන අවස්ථාවකයි මෙම සංචාරයත් තෙනන්යාහුගේ ප්‍රකාශයත් සිදුවන්නේ.

යුද්ධය ආරම්භ වී වසර දෙකකට පමණ පසු එම ප්‍රදේශයේ සෑම පලස්තීන ජාතිකයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ඊශ්‍රායල හිටපු හමුදා ප්‍රධානියකු පවසා තිබෙනවා.

පසුගිය සතියේ දකුණු ඊශ්‍රායලයේ අයින් හබෙසෝර් ප්‍රජාව අමතමින් හිටපු ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලේවි මෙසේ පැවසුවා. “ගාසාවේ මිලියන 2.2 ක ජනතාවක් ඉන්නවා.  අද ගාසා තීරයේ 10% කට වඩා මිය ගිය හෝ තුවාල ලැබූවන්  200,000 කට වඩා ඉන්නවා. මෙය මෘදු යුද්ධයක් නෙවෙයි.”

මෙම සංඛ්‍යාව කැපී පෙනෙන්නේ එය පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තුවාල ලැබූ සංඛ්‍යාවට ඉතා ආසන්න වීම නිසයි.

ඊශ්‍රායල හමුදා පලස්තීන ජාතිකයින් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා 164,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තාවල දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *