ශ්‍රී ලංකාව සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.

ශ්‍රී ලංකාව සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු රජය පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.එම වාර්තාවට අනුව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර සඳහන් කර ඇත්තේ, රජයේ මුදල් නාස්තියකින් තොරව එම කටයුතු සිදුකිරීමට විධිමත් සැලසුමක් සකස් කර ඇති බවයි.

මෙහිදී මූලික වශයෙන් පෙර ආණ්ඩු මඟින් සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත් සහ කමිටු අධ්‍යයන පිළිබඳව අවධානය යොමුකර ඇති බවත්, රජයේ මුදල් වැයකර සිදුකළ එම අධ්‍යයනවල ගතයුතු කොටස් කෙරෙහි අවධානය යොමුකරන බවත් නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය, බලය බෙදීමේ ව්‍යූහයන් ඇතුළු ජනතාවගේ වැඩි අවධානයට ලක් වී ඇති කොටස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ සැලසුම බවත්, ඒ සඳහා පුරවැසියන්ගේ අදහස් ලබාගැනීම ඉදිරියේදී දීප ව්‍යාප්තව සිදුකරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

පෙර අධ්‍යයන සහ කමිටු වාර්තා සලකා බැලීමෙන් පසු කැබිනට් මණ්ඩලය මඟින් නිශ්චිත කමිටුවකට මීට අදාළ වගකීම් සහ බලය පැවරීම සිදු කරනු ඇතැයිද ඔහු පෙන්වාදී ඇත.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගැන සඳහන් වන්නේ මෙසේය. ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර, එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදු කොට ජනමත විචාරණයක්ද සමඟ සම්මත කරනු ඇත.’

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අවසන් වශයෙන් මහජන අදහස් ලබාගැනීමට ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් 2015දී පත් කරන ලද අතර, එම කමිටුව පිටු 222කින් යුත් සිය වාර්තාව 2016 මැයි 31 වැනිදා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙන ලදි.

ජනතාවගේ අදහස් අනුව සකස්කළ එම කමිටු වාර්තාවේ සඳහන් විශේෂ කරුණු අතර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම, ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම, පළාත් හා පළාත් පාලන මට්ටමට තවදුරටත් බලය පැවරීම, ස්වාධීන සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම වැනි යෝජනා විය.එහෙත් එම කමිටු වාර්තාව පිළිබඳ කිසිවක් ඉන් පසු සිදුවූයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *