එපා ආදර හැඟුම්

එපා ආදර හැඟුම්
ලැබෙන්නට ඔබේ නමින්
මල් සුවඳ වගේ
සිපගනිමි සුවඳ ඔබෙන්
එපා ආදර වදන්
ඇසෙන්නට ඔබේ හඬින්
ගී සිංදු අසා
සනසගමි මගේ සවන්
එපා උණුසුම ඔබෙන්
දැනෙන්නට ඔබේ නමින්
හිරු කිරණ වලින්
සතපවමි මගේ හැඟුම්
කුසල හාමුදුරුවෝ
Brampton - Canada
හදේ කොතැනක හෝ ඉඳියි ඔබ.....

මුතු දසන් පෙළ විදා හෙමිහිට කෝල බැල්මක් නෙතින් හැලුනා
මුව නොකී එම වදන් ඇවිදින් මගේ හද මත හෙමින් ඇලුනා
සසර පෙර මඟ පතා එන්නැති කියා නිතරම හිතට දැනුනා
සයුරු රළ මත මුදා හල මුදු සිනා නොපෙනෙන දුරට ඇදුනා
කවුරු කෙලසක කීව මුත් නාඹර සඳට බැඳි නිමල හදවත
මටම කීකරු නොවී වියරුව සැරි සරයි රුව සොයා මිහිමත
සැඟව රතඹර දෙසින් ඔච්චම් කරන සඳ පෙම්බරවු සඳවත
හැඟුම් විසිරී ගියේ නොදැනිම සිහිවෙලා වත කමල විකසිත
දර්ශනි රූපසිංහ
Hamilton - Canada
ඔබ කොහිද මම හොයනවා

මගේ කවි පද ඇහෙනවද
ගලහ හංදිය පෙනෙනවද
තනිය මැකු අත හොයනවද
හිතේ සතුටින් ඉන්නවද
උණ පදුර යට බංකුවේ
අපේ මතකයි හැංගුවේ
ප්‍රස්ථාර, වගු ඇති පොත් ගුලේ
පෙම් කවිත් ඇවිදින් යතේ
මහවැලිය තාමත් ගලනවා
රයින් ගඟ මට පෙනෙනවා
ඔබ කොහිද මම හොයනවා
මගෙ හිතම දුර දුවනවා
රුවන් හරිස්චන්ද්‍ර
Toronto - Canada
මහ ගොවියා ඔබය.

වලාකුළකුදු නොමැති අහසින්
වැසි වැටේ යයි සපථ කරමින්
කුඹුර පාළුව නොයන්නට
හැමදාම එය එළිපෙහෙළි කළ මිනිසා ඔබය.
නගුල හී විට හුරු කරවමින්
හී විටට නිසි මං කියා දුන්
'ගොවියා පුතු" යන අබිමන අප වෙත
ලබා දුන් මහ ගොවියා ඔබය.
දහස් දන නික්ම යද්දී
ඔබය ගොවියා නගුල අත් නොහැරි
වෙහෙසකර බවම උද්දාමයක් කරගත්
නිපුන ගොවියා ඔබය මා දුටු
අදත් ඔබ
රුහුණු රටේ , වැව් බැඳි රටේ හෝ අගනුවර
තරුණ ගොවි පුතුන් හා සම පෙලට
ජීවිතය සමරනු ඇත
අඩ සිය වසක් සැමරුවා සේ
'දිවි අරුත' මේ යැයි ලෝකයට පසක් කරමින්
චන්ද්‍රරත්න බණ්ඩාර
ටොරොන්ටො නගරය
ආදර හැගුමෙන් හිත උණුසුම් වේ

හිම කැට වැටෙනා
සීතල යාමේ
ගතට තුරුලුවී
නිදනා ඔබගේ
සෙනෙහස හමුවේ
සීතල නොදැනේ
ආදර හැගුමෙන්
හිත උණුසුම් වේ
ජගත් රූපසිංහ
ටොරොන්ටෝ නගරය


