
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලසුම් යෝජනාවලියට ඡන්දය ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනාගත පලස්තීන රාජ්‍යයක් සඳහා වන මාර්ගය සකස් කිරීම සඳහා ජාත්‍යන්තර හමුදාවක් යෙදවීම ඇතුළු යෝජනා ඊට ඇතුළත් වන අතර, රටවල් 15ක් නියෝජනය කරන ආරක්ෂක කවුන්සිලය ඡන්ද 13-0ක් ලෙස එම යෝජනාවලියට අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ. ට්‍රම්ප්ගේ සාම යෝජනාවලියෙන් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය නොවන බවට ප්‍රකාශ කරමින් රුසියාව සහ චීනය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියද නිෂේධ බලය භාවිත නොකළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ගාසා තීරයේ සාම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පිළිගැනීම සහ සාම මණ්ඩලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අනුමත කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසයේ සිදු කළ විශාලතම අනුමත කිරීම බවත්, එය අනාගතයේදී ලොව පුරා සාමය ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වනු ඇති බවත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගාසා සාම සැලසුමට ආරක්ෂක කවුන්සිලයේ සහාය ලැබීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ සංවර්ධනයට සහ ඊශ්‍රායල ජනතාවට ආරක්ෂාකාරීව ජීවත්වීම සඳහා එම සාම යෝජනාවලිය වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවය.
සාම සැලසුම ආරක්ෂක කවුන්සිලයේදී සම්මත වීමෙන් ගාසා තීරයට ජාත්‍යන්තර ස්ථායිකරණ හමුදාවක් නිර්මාණය කිරීමට අවසර ලැබි ඇති අතර, ගාසා තීරයේ දේශසීමා ආරක්ෂක කටයුතු ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මෑතකදී පුහුණු කළ පලස්තීන පොලීසිය එක්ව සිදු කරනු ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම ගාසා තීරය සඳහා අන්තර්වාර පරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමට ද මෙමගින් බලය ලැබී ඇති අතර, එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සභාපතිත්වයෙන් යුතුව වසර 2027 අවසානය දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි වාර්තා වේ. ආරක්ෂක කවුන්සිලය විසින් සාම යෝජනාවලියට අනුමැතිය ලබා දීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම නැවත ආරම්භ වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලසුමට අරාබි රටවල් කිහිපයක සහ මුස්ලිම් ජාතීන්ගේ රටවල් කිහිපයක සහාය ලැබී ඇති අතර, කටාර්, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඉන්දුනීසියාව, පාකිස්තානය, ජෝර්දානය සහ තුර්කිය ඒකාබද්ධව සහාය පළ කිරීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ.


