කැනඩාවේ කවි සිතුවිලි

පියාඹන තරුවක්….!

හරියටම කක්ෂයක නොරැඳී

එකම පාරක ආයෙ ආයෙත් නොයන

එකම එක… එකම එක

තරුවක්වත් තියෙන්නට බැරිද?

හිතු මනාපෙට හිතු මගක යන

හිතුනාම නැවතිලා සාමිචි දොඩන

යන්න හිතුනාම

යන්න සමු දුන්නත් නැතත් යන

ඉන්න හිතුනාම

යන්න දැන් කිව්වත්

කොහේවත් නොයන

තියෙන්නට බැරිද ඔය

කල්ප ගණන් මන්දාකිණි වල

එකම එක තරුවක් වත්

හරියටම කක්ෂයක නොරැඳී

එකම එක පාරක ආය ආයෙත් නොයන….!

 රන්සිරිමල් (ලොකු)

සස්කැචුවාන් 

ගිරි මුදුනත…..

ගිරිකුළු මුදුනින්

ලාවා ගලන සැටියකි.

මුළු කන්දේ වැටි පුරාම

තෙත් කලාපීය පැල ඉන්ද වූයේ

මගේ නිවහන එහි තැනෙක තනන්නට සිතාය.

ගින්දරට පමණක් නොව ග්‍රීස්මයටවත්

අකමැති කන්දකැයි සිතා

හස්තසර ධනයම වැය කෙළෙමි.

කඳු සිරස සිහිල විහිදන

කුඹුක් ගසක් සිටුවන්නට සිතුවෙමි.

අනාගතයේ දවසක

කඳු මුදුනක සිහිල් සෙවනක

සැනහෙන අපේ නොදරුවන් වෙනුවෙන්.

කවුද සඟවා තැබුවේ ගිනි කන්ද

මේ මනරම් කඳු පත්ල?

චන්ද්‍රරත්න බණ්ඩාර

ටොරොන්ටො  නගරය

ක්‍රිෂ්ණා මෙහෙම කියන්න ඇති

රහස් කියන කඳු අස්සේ මීදුම පුරවා 

වලා පොටේ පාට හැඩට දේදුනු දවටා 

ඔබේ පුරුදු උණුහුමටම ඇඟිලි ගනිනදා 

යමුනාවේ පුරුදු තැනට එනවද රාධා 

ලොවක් කියන දහස් කතා නොමියෙන හන්දා 

අපේ සතුට අපි උකසට තියමුද කිසිදා 

නියම් අනියමක් පෙමකට නොතිබෙන හන්දා 

හුරුම පුරුදු සුව විඳින්න එනවද රාධා 

අක්කා, මල්ලී කිව්වට ඔබ අපි පොඩිවුන්  දා 

ඔබේ රුවට වශී නොවෙද කවුරුන් කවදා

නොදැන නොවෙයි මම කිව්වේ ඔබ මගෙ හැමදා 

හිනා වට්ටියක් අරගෙන එනවද රාධා   

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

මිනිස්සු

හඩන්නට කාරණා තිබුනද 

අපි සිනාසෙන මිනිස්සු

ඇදිවත පමණක් ඉතිරි වුවද

ජීවිතය රැකගත් මිනිස්සු

රැහේ උන්හට විපතක් වු විට

රොද  බදිනා මිනිස්සු.

යායක් පිටින්ම නායා ගියත්,

නැවත නැගිටිනා මිනිස්සු

කදුළු තවරන්  බත් බුදින්නට,

හිත හයිය ඇති මිනිස්සු.

කාසි වාසි නැති දෑතෙ හයිය ඇති,

දේව ගුණ ඇති මිනිස්සු.

රැහේ උන්හට විපත් වු විට,

රොද බදිනා මිනිස්සු.

බිදුණු සිහින, ගොඩ නගන්නට,

සවිය ගෙ නෙනා මිනිස්සු.

කුරා කුහුඹුවෙ ක් වත් නො මැරෙන්නට..

ඉඩක් නොතබන මිනිස්සු..

රැහේ උන්හට විපත් වු විට,

එකට එක් වෙන මිනිස්සු.

නයනා සුමිත්‍රාරච්ච්ගේ 

මිසසාගා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *