දුවට ඔවදනක්
පිපෙන කල පියුමක්
ඇදෙයි බඹරුන් සහසක්
කනට කර රහසක්
මුමුණ හද තුළ මවයි කිතියක්
දියණි නුඹ මලකී
තුරුණු විය රස ගුලකී
කිසිම දින නොමකී
රහස මෙලෙසට කියනු යෙහෙකී
එය අඳුරු දිනයක්
යන විට එයා ගමනක්
වැසි වැටුන තරමක්
ගොඩ වුනේ ගෙට සොයා සෙවනක්
එයා හරි හිතවත්
කතා කියලා රසවත්
මගේ දිවි ගිලගත්
නැතේ ඔහු නම් ආවෙ අදටත්
බිඟුන් නම් ඔහොමය
බලෙන් හෝ තම උරුමය
අරන් යන අරුමය
බලන් ඉන්පසු වැරදි අපිමය
දියණි නුඹ විතරයි
ඉතිරි මට එය සැපතයි
බඹරු සැම පොරකයි
කුමරි බඹසර දිවිය සරසයි
( මහ පියුම් ගී විරිත ඇසුරෙනි )
දර්ශනි රූපසිංහ
Hamilton – Canada
අමතක මතකය
( ඩිමෙන්ෂියා මවකගෙ සත්‍ය කතාවක් )

අතිතය ගුලිකර විසිකොට ගිංගගට,
අවාරයේ කිරි වරද්දු ගොයමකට,
ප්‍රේම ය නොරුදි සිතකට පෙම පිදුවාට,
පින්තාරු කලේ ගුටි කෑ සලකුණු එමට,
පොඩි පුතු සොයාගෙන ටයර් සෑ මතට,
දියණිය පෙර ගමන් ගිය සොහොන් කොත,
පටාචාරාවක් මිහි පොලව මත,
දරාගත්තතේ කෙසේ තනියම සිතක.
පෙර මතකය අමතක වී ගෙන යනෙන විට,
කැවද නොකෑවද උදය ද දැන් හවසකද,
නම්,ගම් අමතකයි ඉන්නෙ කොහෙකද?
චායාවක් වැටේ ඉපැදුණු ගමට.
නයනා සුමිත්‍රාරච්ච්ගේ
මිසසාගා
වෙනස ……

තහනම් තැන්වල ගෙවල් හැදූ අයට
පගාව අරගෙන අනුමත කල අයට
සුනාමිය වගේම
සොබාදහම දීලා
සැරම සැර ටොක්කක්
පරම්පරාවටත් එක්කම ……
ජරාව කාලා මන්දිර හැදූ අයට
මහන්සි වෙලා වැඩ කළ අයගෙන් යැපීලා
පෙන්නාගෙන හිටි අයට
වෙනසක් නැතුව
බෙදලා හොදටෝම
කෙහෙල් ගෙඩියේත් නම ගැහුව
එෆ් බී එකට බඩු බෙදුව අයට
අළුත් කොල්ලො කෙල්ලෝ
කියා දුන්නා පාඩමක්
එෆ් බී තියෙන්නේ පුරාජේරුව
පෙන්නන්න නොවන බව
වට්ස්ඇප් ගෘප් හදලා
පහුවදා වැඩ තියෙද්දිත්
රෑ එළිවෙනකල් කෑම හදලා
මහ වැස්සෙ උන්ට තියෙන වාහනවල
ඒවා ඇද්දේම උන්
ආයේ ගන්නද මොනවත්
නමක් , නම්බුවක් , නිලයක්
රුවන් හරිස්චන්ද්‍ර
Toronto – Canada
මා දුටු කැනඩාව

පිරිසිදු කමින් ලොව තුන්වෙනි තැනට දිනූ
පරසිදු දු පුතුන් ලද නව ලොවක් තැනූ
පරසතුරන් හට ද කුළුණින් පිහිට වුණූ
සුරපුර මෙයද පෙර කල කිවිවරුන් වැනූ
වියලුනු දඬු වුවද පැලවෙන සරු පසය
ලියලන සතුට පිරි මුව රැඳි මද හසය
දැනගෙන නැතත් කිසිදින සදහම් රසය
පලවෙන මුදු ගුණය මහමෙරකට උසය
අසරණ සතුන් හට පා මුදු දයා ගුණ
ගසවැල පරිසරය සුරකින විලස පන
දෙස බස නමට පන දෙන මිනිසුන් හැඳින
පසසති දෙව් පිරිස රැක රට සතර කොන
සුන්දර කමින් ඔප කරගෙන මිනිස් ගතී
වෙන්වී නොගොස් මිළ මුදලට වෙමින් ගැතී
ලංකර නොගෙන දෑ කුල මල කුහක ගතී
පින්බර රටක විසුමට පින ලදිමි නිතී
තම කරුණාව බෙදමින් වැසියනට අගේ
සම මෙත්සිතින් සලකන දරුවනට වගේ
සැම ඉසුරින් පිරුන කැනඩා මවුනි මගේ
මම ආදරෙයි ඔබටත් මගේ රටට වගේ
කුසුම් කාරියවසම්
ටොරොන්ටෝ කැනඩාව


