ඉරානයට එරෙහිව යුද්ධයට සති 02 ඉක්මවයි. බොරතෙල් මිල පාලනයට සංචිත මුදාහරී.

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර මේවනවිට සති 02 ක් ඉක්මවා තිබේ. මේ වනවිට ගැටුම් උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.

ඉරානයේ සතුරන් යටත්වනතුරු සහ යුද අවදානම ඉරානයෙන් තුරන් කරන තෙක් ඇමෙරිකා-ඊශ්‍රායල, ඉරාන යුද්ධය අඛණ්ඩව ඉදිරියට ඇදෙනු ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද ප්‍රකාශ කළේය.

හමුදා කඳවුරුවලට අමතරව මැද පෙරදිග කලාපයේ තිබෙන ඇමෙරිකා සහ ඊශ්‍රායලය ආර්ථික මධ්‍යස්ථානවලට, බැංකුවලට ඉරාන හමුදාව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ඇතැයිද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.

ඊශ්‍රායලය, ඉරාන බැංකුවකට ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් එයට ප්‍රතිප්‍රහාර ලෙස කලාපයේ තිබෙන ඇමෙරිකා, ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකුවලට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කරනු ඇතැයිද එම බළකාය සඳහන් කළේය.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රතිචාර දක්වන අයුරු ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට දැක ගැනීමට හැකිවනු ඇති බවද එම බළකාය පැවැසුවේය.

අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිලාභ සැලසෙන තෙල් නෞකාවලට  හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය කිසි විටෙකත් ඉඩ නොදෙන බවට ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයෙන් අනතුරු අඟවා තිබේ.

ඉරාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ සටන්කාමී අණදෙන මූලස්ථානය ලෙස මෙම මූලස්ථානය සැලකෙන අතර එහි ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆකරි පවසා ඇත්තේ, “අමෙරිකාව, ඊශ්‍රායලය සහ මිත්‍ර සන්ධානයේ රටවලට වාසිදායක වන කිසිදු ඉන්ධන ලීටරයක් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. 

ඊට අදාළ සෑම නෞකාවක්ම නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකනවා. ඉන්ධන බැරලයක් ඩොලර් 200ට මිලදී ගන්න ලැහැස්ති වෙන්න” යනුවෙන්ය.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මොසාඩ් බුද්ධි ඒජන්සියට ඔහු නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ, “ඔබ යුද්ධය ආරම්භ කරන්න, ඒක අවසන් වන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ අපි” යනුවෙන්ය.

මේ අතර ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබේ.

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් මෙම ප්‍රහාරයේ දර්ශන X සමාජ මාධ්‍ය ජාලය වෙත ද මුදාහැර ඇත.

ලෝකයේ ප්‍රධානම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.

මේ අතර ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

මේ අතර මැදපෙරදිග පවතින උණුසුම් යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. මෙය ලෝක ඉතිහාසයේ වාර්තා වූ විශාලතම හදිසි තෙල් මුදාහැරීම ලෙස සැලකේ.

ජාත්‍යන්තර  මාධ්‍ය මේබව වාර්තා කරමින් සඳහන් කර තිබුණේ, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම නිසා අහිමි වූ ගෝලීය තෙල් සැපයුම පියවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් (Fatih Birol) මහතා ප්‍රකාශ කර ඇති බවයි.

“හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වෙළඳපොළට අහිමි වූ සැපයුම පියවා ගැනීමට අපි බැරල් මිලියන 400ක් ලබා දෙනවා. මෙය වෙළඳපොළ අර්බුදය සමනය කිරීමට ගත් ප්‍රධාන පියවරක් වුවත්, තෙල් සහ ස්වභාවික වායු සැපයුම යථා තත්ත්වයට පත්වීමට නම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමන් යළි ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මෙම මුදාහැරීම, 2022 වසරේ රුසියානු-යුක්රේන යුද්ධය සමයේදී වෙළඳපොළට නිකුත් කළ බැරල් මිලියන 182ක ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වාර්තාගත අගයකි.

IEA හි මෙම පියවර අතිශය දැවැන්ත එකක් වුවද, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ඇති වී තිබෙන දැවැන්ත සැපයුම් හිඟය පියවීමට එය ප්‍රමාණවත් වේදැයි ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රශ්න කරනවා.

ලෝකයේ දිනක තෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් (1/5) සාමාන්‍යයෙන් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වුවද, වත්මන් ආරක්ෂක තර්ජන හමුවේ නෞකා ගමනාගමනය නතර වී තිබෙනවා.

‘Energy Aspects’ ආයතනයේ නිර්මාතෘ අම්රිතා සෙන් (Amrita Sen) පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ දිනකට සිරවී ඇති තෙල් බැරල් මිලියන 15 ත් 20 ත් අතර ප්‍රමාණය හා සැසඳීමේදී IEA මුදාහරින ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි.

ඇයගේ ගණනය කිරීම්වලට අනුව, බැරල් මිලියන 400ක මෙම සංචිතය දින 25ක් වැනි කෙටි කාලයකදී අවසන් වනු ඇත.

මේ හේතුවෙන්, IEA හි මෙම නිවේදනය නිකුත් වීමෙන් පසුව ද ලෝක වෙළඳපොළේ තෙල් මිල සැලකිය යුතු මට්ටමකින් පහත බැස නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *