
අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාකච්ඡාවලට සහභාගී වන නියෝජිතයින් නවාතැන් ගන්නා තරු පහේ සෙරීනා හෝටලය (Serena Hotel) කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 3ක ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.
එම කලාපය තුළ දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති අතර, සාමාන්‍ය ජනතාවගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පකිස්තානයට පැමිණීමට නියමිතව ඇත.
ඒ හේතුවෙන් අමෙරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් දැනටමත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති බව සඳහන්ය.
පකිස්තාන රජය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක ඉස්ලාමාබාද් අගනුවරට බලපැවැත්වෙන පරිදි හදිසි රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව පාකිස්තාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සහ ඉරානයට එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ කොන්දේසි යටතේ අමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්වී තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් කාලසීමාව සම්පූර්ණ වීමට පැය කිහිපයකට පෙර පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්ගේ මැදිහත්වීමෙන් කොන්දේසි සහිතව සති දෙකක සටන් විරාමයකට දෙපාර්ශවයේ එකඟතාව පළ විය.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට ලබා දුන් කාලසීමාව පසුගිය 08 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර, ඊට පැය කිහිපයකට පෙර අමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි සමඟ දුරකතනය ඔස්සේ සාකච්ඡා කළ පාකිස්තාන අගැමැති ෂරීෆ් දෙපාර්ශ්වය අතර එකඟතාව සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ බව වැඩිදුරටත් වාර්තා වේ. ඉරානයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් හමුදා අධීක්ෂණය යටතේ නෞකා ගමනාගමනයට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන බව එහිදී ඉරාන විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇති අතර, ඒ බව දැනුම් දීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රහාර අත්හිටුවීමට පියවර ගනිමින් සති දෙකක සටන් විරාමය නිවේදනය කිරීමට කටයුතු කෙරිණි.


