භාණ්ඩාගාරයේ මුදල් තෙවන පාර්ශවයක් අතට ගියහැටි මුදල් නියෝජ්‍ය අමැති පාර්ලිමේන්තුවට කියයි.

මතභේදයට තුඩු දී තිබෙන ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදල ණය හිමියාට ලැබී නොමැති බව අනාවරණය වූයේ මාර්තු මස 23 වැනිදා බව කම්කරු ඇමැති සහ මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය (05) වැනිදා ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම පිළිබඳව අනාවරණය වූ මාර්තු 23 වැනිදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය නොවැම්බර් මස 14 වැනිදා සිට ජනවාරි මස 20 වැනිදා දක්වා කාලයේදී එම මුදල් ගෙවා තිබෙන බව ද ඒ මහතා පැවසීය.

අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුවන බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව අප්‍රේල් අවසන් සතියේ රැස් නොවූ බැවින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකිවූ බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“ඩොලර් 713757ක් නොවැම්බර් මස 14 වැනිදා ද ඩොලර් 377660ක් නොවැම්බර් මස 28 වැනිදාද ගෙවලා තියෙනවා. ඒ වගේම ජනවාරි මස 5 වැනිදා ඩොලර් 426210 හා ඩොලර් 926799ක් ජනවාරි මස 20 වැනිදා ගෙවලා තියෙනවා. සියලු තොරතුරු සත්‍යාපනය කිරීමෙන් පසු සංචිත නොවන කළමනාකරණ පද්ධතිය වෙත අදාළ දත්ත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයෙන් ලබා දෙනවා. අරමුදල් නිදහස් කරන්නේ මහ බැංකුවෙන්.

මෙම ගෙවීම් සඳහා වගකීම දරන්නේ කවුද යන්න සොයා ලබනවා. මෙම සිද්ධිය අනාවරණය වෙන්නේ මාර්තු 23 වැනිදා. සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. එම විමර්ශන තොරතුරු බී වාර්තාවකින් අධිකරණයට වාර්තා කර තිබෙනවා. පාර්ලිමේන්තුව අප්‍රේල් මස අවසන් සතියේ රැස් නොවූ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි වුණා. සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කෙරෙනවා. අභ්‍යන්තර කමිටුවක් පත් කර කළ පරීක්ෂණ අනුව නිලධාරීන් 4 දෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කළ දිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් යොමු කළා. ඕස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆිනෑන්ස් ආයතනය ඒ කියන්නෙ ණය හිමියා මුදල් නොලැබුණු බව දැනුම් දුන්නේ මාර්තු මාසේ 23 වැනිදා. ඒ බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මාර්තු මස 24 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. පසුව අප්‍රියෙල් පළමු වැනිදා මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දුන්නා.

ගෙවන ලද ණය මුදල ණයහිමියා වෙත ලැබී නැතත් ණය ගෙවීමේ නොහැකියාවක් හෝ ණය ගෙවීමට අකැමැත්තක් රජයට නොමැති බැවින් ණයගෙවීම පැහැර හැරීමක් කර නොමැති බව උපදේශකයන් විසින් දන්වා තියෙනවා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය. ඒ නිසා අමාත්‍යාංශ ලේකම් තනතුරේ සිටීම බාධාවක් නැහැ.”

මේ අතර ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධ විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට විමර්ශකයින් පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මීට අමතරව, ඊමේල් හැකින් සහ තොරතුරු සොරකම් කිරීම් (Phishing) හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඇමරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහාය ද විමර්ශන සඳහා ලබාගෙන තිබේ.

මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය, වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද ඒ පිළිබඳ තොරතුරු සොයමින් සිටියි. දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහාය ද මීට ලැබෙමින් පවතින බැවින් මෙය ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 28 වනදාය.

භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විදේශ ණය පියවීමට අදාළ ලේඛන කිහිපයක් ද මෙම සයිබර් අපරාධකරුවන් විසින් සොරාගෙන හෝ පිටපත් කර ඇති බවට දැඩි සැකයක් පවතින බවයි. මේ හේතුවෙන් මින් ඉදිරියට ඕනෑම මුදල් හුවමාරුවකට පෙර ඊමේල් පණිවිඩ සහ අනෙකුත් දත්ත දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇත. මේ අතර, පසුගිය සතියේ පුවත්පතක පළ වූ ප්‍රංශ ණය ලේඛන අතුරුදන් වී ඇති බවට වන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ණය හිමියන් සමඟ නිසි සන්නිවේදන කටයුතු පවත්වා ගනිමින් නියමිත පරිදි ණය වාරික ගෙවන බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ මෙම ඩොලර් මිලියන 2.5 ක අතුරුදන් වීම සහ තවත් මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇත්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වන බවයි. මෙම දැවැන්ත සයිබර් මංකොල්ලය පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

මේ අතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය යට කුමන හෝ රහසක් තිබෙන බව පෙනෙන්නට ඇති හෙයින් ඒ පිළිබද පරීක්ෂණය ස්කෝට්ලන්ඩියාඩ් පොලිසියට බාර දෙන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය (6) වැනිදා පැවසීය

මේ මරණය ගැන රජයේ අැත්තන් කියන කතා බැලුවම ආණ්ඩුවෙ පරීක්ෂණ විශ්වාස නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

රංග රාජපක්ෂ මහතාගේ සිරුරේ බපතළ කැපුම් තුවාල තිබූ බවත් මරණය ගැන කිසිම පරීක්ෂණයක් නොකර තිබියදී පොලිසිය එය සියදිවි හානි කර ගැනීමක් යැයි ප්‍රකාශ කළ බවත් ඔහු කීය.

මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය.

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම තමයි මරණයට හේතු සෙවීම. මරණය සිද්ධ වෙච්ච ආකාරය කියන්න එයාලාට බැහැ. එයාලට කියන්න පුළුවන් මරණයට හේතුව විතරයි. ඒක තමයි මෙතන සැකය . මරණය සිද්ධ වෙච්ච ආකාරය කියන්නේ මරණ පරීක්ෂක.

සැකය වහන්න තමයි විවාදය දෙන්නෙ නැත්තේ? විවාදය පැය දෙකක් ඉල්ලුවම එකහමාරක් දෙන්නේ ඒකයි.

අනුරාධපුර පැත්තේ කෙනෙක්ට නයෙක් ගහලා මැරුණා. මරණයට හේතුව නයි විෂ ශරීරගතවීම කියලා දුන්නා. පරීක්ෂණ කරනකොට අහු වුණා, එයාගේ ඇඳට නයෙක් ගෙනල්ල දාලා. ඒක ඝාතනයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *