
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ ඊට පක්ෂව ගොනුකර ඇති පෙත්සම් පිළිබඳව දින දෙකක් තිස්සේ පැවැති විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව පසුගිය (2 වැනිදා) නියෝග කළේය.
අදාළ පනත් කෙටුම්පතට විරුද්ධව සහ ඊට සහාය පළකරමින් පෙත්සම් 110 ක් පමණ ඉදිරිපත් වී තිබිණි.
අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරිණි.එම පෙත්සම් අභියෝගයට ලක් කරමින් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ අතර තවත් නීතිඥවරු පිරිසක් ඊට සහාය පළ කරමින් කරුණු දැක්වූහ.
පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ, මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනතක් වන අතර මෙමඟින් අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ වීමක් සිදුවන බවය.
ඒ නිසා ලබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය ශ්‍රේෂඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලා සිටින බව කියා සිටියේය.
අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් ද එම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාට බවයි.
විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා වෙති පැවරී ඇති අතර ඊට බාහිර පාර්ශ්ව මැදිහත්වීමේ හැකියාවක් නොමැති බවඳ සොලිසිටර් ජනරාල් විරාජ දයාරත්න මහතා පැවසූවේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.ඒ අනුව නම් කර සිටි පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකාබැලීම ආරම්භ කෙරුණි.
අනතුරුව ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා තවදුරටත් කරුණු දැක්වූ අතර පෙත්සම්කාර මහාචාර්ය ජී. එල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් ආණ්ඩුවකට විනිසුරුවරුන්ගේ නිදහසේ රාජකාරී කිරීමට ඇති පරිසරයට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවයි.
තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවන බවයි.
නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් වන විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳ තමන් විසින්ම නිශ්චියක් ලබාදීම නුසුදුසු වන අතර මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරුවන්ට බලපෑමක් සිදුවන නිසා මෙම පෙත්සම ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නොවන බවත් ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේය.
ඊළඟට ඇති විකල්පය ජනමත විචාරණයක් මඟින් පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම ජනතාවට භාර කළ යුතු බවද ශ්‍රීනාත් පෙරේරා මහතා එහිදී කියා සිටියේය.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නීතිපතිවරයාගේ දේශන පසුගිය (2 වැනිදා) සවස අවසන් විය.ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා 4 වැනිදා පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළේය.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.


