ගැරඩිඇල්ල බස් අනතුර – 22කට දිවි අහිමිවෙයි.තවත් කිහිප දෙනෙකුට බරපතලයි.මියගිය  අයෙකුට ලක්ෂ 10ක වන්දියක්.

කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවී ඇති දරුණු බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් පසුගිය (11) වැනිදා සවස් වරුවේ සිට ඔවුන්ගේ ඥාතීන්ට භාර දීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබිණි.

පොලිසිය විසින් තහවුරු කර ඇති පරිදි, අනතුරට ලක්වූ පුද්ගලයින් අතරින් හඳුනා නොගත් එක් මෘත දේහයක් තවමත් ගම්පොළ රෝහලේ රඳවා තබා ඇත. මෙම හඳුනා නොගත් පුද්ගලයා කවුරුන්ද යන්න දැනට තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර, ඥාතීන් විසින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

නාවලපිටිය, පේරාදෙණිය, නුවරඑළිය සහ ගම්පොළ යන රෝහල්වල පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව බොහෝ මෘත දේහයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට භාර දී ඇති අතර, අද දිනයේදීත් ඉතිරි මෘත දේහයන් ඥාතීන්ට භාර දීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයින් සඳහන් කරයි.

අනතුරේ බරපතල තත්ත්වය හේතුවෙන් තවමත් පුද්ගලයින් 46 දෙනෙකු විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. මෙම රෝගීන්ගෙන් සමහරෙකුගේ තත්ත්වය තවමත් බරපතල අතර, වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් ඔවුන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව දැනගන්නට ලැබේ.

මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවූයේ මැයි 11 වන දින අලුයම 4.00 ට පමණ වන අතර, කතරගම සිට මහනුවර හරහා කුරුණෑගල බලා ගමන් කරමින් තිබූ කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේදී පාලනය නැති වී අඩි 100 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 80 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිටි බව තහවුරු වී ඇත. අනතුරේ භයානක බව පෙන්නුම් කරමින්, පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, තවත් තිස් දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

මේ අතර අනතුරට පත් බස් රථය අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර, තුසිත චමින්ද මහතා අනතුර සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

"බස් රථය නියමිත ආකාරයෙන් හදලා සෑම දිනකම දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කරලා තමයි ධාවනය කරවන්නේ. ඒවගේම හොඳ පළපුරුදු රියදුරු මහත්තයෙක් මේ ගමන්වාරයට යොදවලා තිබුණේ. එයා නියමිත කාලයට පස්වරු 4ට සේවයට ඇවිත් රාත්‍රී 10ට තමයි කතරගමින් ආරම්භ කරන්නේ. දිවා කාලයේ සේවා කරලා නෑ."

මේ අතර කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *