
තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි.
වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම තරමක් බරපතල වැඩක්. මේ සඳහා වැය වුනු මුළු මුදල කොපමණද කියා වාර්තා කර නැතත් එය විශාල වියදමක් බව පැහැදිලියි. ගැමුණු රජු විසින්ම හදපු ලෝවාමහාපාය වෙනුවෙන් කෝටි 30ක මුදලක් සහ මිරිසවැටිය වෙනුවෙන් කෝටි 119ක මුදලක් වැය වී තිබෙනවා. අද භාවිතා වන වචන වලින්නම් පිළිවෙලින් මිලියන 300ක් සහ මිලියන 1,190ක්. මේ ගණන් මහා වංශයේ තියෙනවා. මහ සෑය හදන්නත් ඔය කිට්ටුව වියදමක් යන්න ඇති.
මේ ගණන් සඳහන් කර තිබෙන්නේ කවර මුදල් වර්ගයෙන්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. වටිනාකම් ගැන කතා කරද්දී මුදල් ඒකකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. එවැන්නක් අවශ්‍ය වන්නේ විවිධ මුදල් ඒකක වල වටිනාකම් සංසන්දනය කිරීමක් කරද්දීයි.
ලංකාවේ මුලින්ම ප්‍රචලිතව තිබෙන මුදල් වර්ගය කහවණු. කහවණු ඉන්දියානු මුදල් වර්ගයක්. මම සෑහෙන කාලයකට පෙර හිතාගෙන හිටියේ කහවණු කියන වචනයේ කහවර්ණ වැනි තේරුමක් තියෙනවා කියලයි. ඒ වගේ නමක් රන් කාසියකට ගැලපෙනවා. නමුත් කහවණුව රන් කාසියක් නෙමෙයි. එය රිදී කාසියක්. කහවණු වෙන්නේ කර්ෂපාණ කියන වචනය. පාණ යන්නෙහි මුදල් යන අර්ථය තිබෙනවා. කර්ෂ කියන්නේ බර මනින ඒකකයක්. ඒ අනුව, කහවණුවක වටිනාකම වන්නේ කර්ෂ එකක් බර රිදී වල වටිනාකම.
ලංකාවේ වත්මන් රුපියල ඉන්දියානු රුපියලේ ව්‍යුත්පන්නයක් වන්නා සේම කහවණු ලංකාවට පැමිණ තිබෙන්නේත් ඉන්දියාවෙන්. නමුත් මේ රිදී කාසි එක්කම තඹ කාසිත් ලංකාවේ භාවිතා වී තිබෙනවා. ඒවා ලංකාවේ හදාගත් ඒවා වෙන්න ඇති. මේ කාසි වර්ග වලට එකිනෙකට සාපේක්ෂ වටිනාකම් තියෙන්නත් ඇති. ඒ නිසා, මිලියන 300ක් කියා කියන්නේ කහවණු හෝ වෙනත් කාසි මිලියන 300ක්ම නෙමෙයි. එපමණ වටිනා සේ සැලකුණු කාසි යම් ප්‍රමාණයක්.
ඒ කාලයේ මිලියන 300ක් හෝ මිලියන 1,190ක් කියා කියන්නේ කොපමණ වටිනාකමක්ද කියලා අපි අද තේරුම් ගන්නේ කොහොමද? මහ සෑය සහ ථූපාරාමය අතර බිම ගොඩ කර මට්ටම් කරන්න ලක්ෂයක් වියදම් වී තිබෙනවා. මීටර් 600-700ක වගේ දුරක්නේ. මහ සෑයේ සෙල්මුවා මල් අසුන් තුනක් හදන්න ලක්ෂ තුනක් වැය වී තිබෙනවා. මේ ගණන් එක්ක සංසන්දනය කරද්දී කෝටි 30ක් හෝ කෝටි 119ක් කියා කියන්නේ කොපමණ මුදලක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. අනුපාතිකව බැලූ විට මේ ගණන් වල ගැලපීමක් තිබෙනවා. නමුත් කෝටි 30ක් කියන්නේ කහවණු කාසි කෝටි 30ක් ලෙස සැලකුවොත් මේ ගණන් පෙනෙන්නේ අතිශයෝක්ති ලෙසයි.
මේ කාලයේ මුදල් වල වටිනාකම් නිර්ණය වුනේ ලෝහ බර අනුවමද? එහෙම නැත්නම් ලක්ෂයේ, කෝටියේ කාසි හෝ ලෝහ නොවන වෙනත් මුදල් වර්ග භාවිතයේ තිබුණාද? ලක්ෂ හා කෝටි ගණන් වලින් වටිනාකම් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ නිසාද?
පුරාවිද්‍යා කැණීම් වලදී හමු වී තිබෙන කාසි වල විවිධ සංකේත තිබෙනවා. පොදු පිළිගැනීම ඒ සංකේත අයිතිය හඟවන සංකේත බවයි. එහෙම නැතුව මේ සංකේත වලින් දැන් වගේම වටිනාකම් අදහස් වුනාද? යම් ආකාරයකින් එය එසේ වීනම් එය වඩා දියුණු මුදල් ක්‍රමයක්.
වියදම කොපමණ වුණත් මහ සෑය හැදීමේ වියදම විශාල වියදමක් විය යුතුයිනේ. මේ වැඩේ කරන්නේ රටේ ලොකු සිවිල් යුද්ධයක් කිරීමෙන් පසුවයි. යුද්ධයක් කියා කියන්නේ වැය අධික කටයුත්තක්. යුද්ධයකින් පසුව රාජ්‍ය භාණ්ඩාගාර හිස් වෙනවා. ඒ වගේම, සාමාන්‍ය මිනිස්සු වුනත් ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඔය වගේ මිනිස්සුන්ට අමාරු වෙලාවක මහ සෑය හදන එකේ වියදම බදු ගහලා මිනිස්සුන්ගෙන් අය කරගන්න බැහැ.
"දෙමළුන් මඩනා මා විසින් මේ ජනයා පෙළන ලද්දේය. (එහෙයින්) ජනයාගෙන් අය උපයනු නොහැක්කේය. ඒ අය ගැනීම හැර සෑය කරවන්නා වූ මම කෙසේ දැහැමෙන් ගඩොල් උපයමි".

ගැමුණු රජු ඔන්න ඔය ප්‍රශ්නයට මුහුණ දෙනවා. මහ සෑය හදන්නත් ඕනෑ. එය පොරොන්දුවක්. සල්ලිත් නැහැ. සල්ලි හොයා ගන්න බදු ගහන්නත් බැහැ. එහෙමනම් අන්තිමට මහ සෑය හදන්න සල්ලි හොයා ගත්තේ කොහොමද?
ඔන්න ඔය අවස්ථාවේදී ලංකාවෙන් රත්තරන් හමු වෙනවා. මම දන්නා තරමෙන් මෙය ලංකාවෙන් රත්තරන් හමු වූ බවට තිබෙන එකම වාර්තාව. හමු වූ තැන ඇතුළු අනෙකුත් විස්තර මහා වංශයේ නිශ්චිතව සඳහන් කර තිබෙනවා.
"පුරයෙන් ඊසානදිග තුන් යොදුනක් මත්තෙහි ආචාර වීදි නම් වූ ගම සොළොස් කිරියක් පමණ වූ භූමි ප්‍රදේශයෙහි ප්‍රමාණයෙන් නා නා ප්‍රකාර වූ ස්වර්ණ බීජයෝ උපන්හ. උඩත් පිරිසෙයින් වියත් පමණද යටත් පිරිසෙයින් අඟුල් පමණද වූහ. ස්වර්ණයෙන් පිරුණා වූ ඒ භූමිය ඒ ගම් වැස්සෝ දැක තලියක් පිරූ රන් ගෙන ගොස් රජ හට සැල කළහ."
මේ කාලයට සාපේක්ෂව ගොඩක් මෑත කාලයක් වන 1799දී ඇමරිකාවේ නෝත් කැරොලීනා ප්‍රාන්තයේ ගමක ගොවිපොළක සෙල්ලම් කරන අවුරුදු දොළහක පිරිමි ළමයෙකු වන කොනාඩ් රීඩ්ට බිම තිබිලා රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටියක් හමු වෙනවා. ඊටත් පස්සේ 1848දී කැලිෆෝර්නියාවෙන් රත්තරන් හමු වෙනවා. ඊට පස්සේ තමයි කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක පටන් ගන්නේ. මේ ගැන පෙර ලිපියක විස්තර තිබෙනවා. මේ වාර්තා සහ මහා වංශ වාර්තාව අතර වෙනසක් තියෙනවද?
ඉතිහාසයේ වැඩි කාලයක් රත්තරන් හමු වුනේ ඔය විදිහට තමයි. කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක සිදු වන කාලය දක්වා වගේම. එහෙම නැතුව භූ විද්‍යා සමීක්ෂණ කරලා රත්තරන් හොයා ගත්තේ නැහැ. ඒ වගේ දේවල් සිදු වුනේ පසු කාලයකදීයි. මහා වංශ වාර්තාව අනුව, ආචාර වීදියෙන් අඟලක සිට වියතක් පමණ දක්වා වූ රත්තරන් හමු වෙනවා. සාමාන්‍යයෙන් රත්තරන් ඔය විදිහට හමු වෙද්දී ඔය ප්‍රමාණයේ කුට්ටි හමු වෙනවා.
වැදගත්ම කාරණයක් වන්නේ මේ විදිහට හමුවෙන රත්තරන් රත්තරන් බව ගම් වැසියන් විසින් හඳුනාගෙන රජුට දැනුම් දීම. පොළොවෙන් ඔය විදිහට හමු වෙන රත්තරන් රත්තරන් කියා හඳුනා ගන්න අමාරුයි. කොනාඩ් රීඩ්ට බිම තිබිලා හමු වූ රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටිය ඔහු හෝ වෙනත් අයෙක් රත්තරන් කියලා හඳුනා ගත්තේ නැහැ. එය රැගෙන ගොස් කාලයක්ම දොරට අඩයට තියපු එකයි සිදු වුනේ. නමුත් ගැමුණු රජුගේ කාලයේදී ආචාර වීදියේ ගම් වැසියන්ට මේ දැනුම තිබී ඇති බව පේනවා.
ඔය කාලයේ මුදල් විදිහට වැඩිපුරම භාවිතා වුනේ රන් නෙමෙයි, රිදී. මහ සෑය හදන විදිහ ගැන ගැමුණු රජු සිතමින් සිටිද්දී ලංකාවෙන් රන් වගේම රිදීත් හමු වෙනවා. රිදී හමු වෙන්නේ නුවරින් දකුණු පස අට යොදුන් මත්තෙහි අම්බට්ඨකොළ නම් දනවුවක පිහිටි ලෙණකයි. මේ රිදී හමු වුනු ආකාරයත් මහා වංශයේ ඉතා විස්තරාත්මක ලෙස සටහන් කර තිබෙනවා.
මලය රටෙන් හිඟුරු ආදිය ගෙන ඒම සඳහා වෙළෙන්දෙක් බොහෝ ගැල් ගෙන ඒ රට බලා යනවා. ඔහොම යන අතරේ ගැල් පංතිය ඔය ලෙණ තිබෙන කිට්ටුව නවත්තලා කෑමට දෙයක් හොයනවා. එහිදී ඔවුන්ට ගෙඩි පිරුණු කොස් ගහක් හමු වෙනවා. ඔය වෙලාවේ ඔය කිට්ටුව භික්ෂුන් වහන්සේලා (රහතන් වහන්සේලා) හතර දෙනෙක් ඉන්නවා. මේ වෙළෙන්දා ඔවුන්ට වරකා මදුළු පිළිගන්වනවා. වෙළෙන්දන් විසින්ද වරකා ආහාරයට ගන්නවා.
ඔය ස්වාමීන් වහන්සේලා හතර දෙනාගෙන් තිදෙනෙක් දානය පිළිගෙන පිටව යද්දී එක් හිමිනමක් ඒ ස්ථානයේම සිට දානය වළඳනවා. ඉන් පසුව, අර රිදී තිබෙන ලෙන් ප්‍රදේශය හරහා ආපසු ගැල් වෙත යා හැකි විකල්ප මාර්ගයක් වෙළෙන්දාට පෙන්වනවා. මහා වංශයට අනුව මෙසේ කරන්නේ ඔහුට රිදී නිධිය දකින්නට සැලැස්වීමේ අරමුණින්. වෙළෙන්දා රිදී හඳුනාගෙන වහාම අනුරාධපුරයට ගොස් මේ බව රජුට දැනුම් දෙනවා.
ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බෞද්ධ භික්ෂූන්ට සාමාන්‍ය ගම් වැසියෙකුට කලින් ස්වභාවිකව තිබෙන රන්, රිදී හමුවෙන්න ඉඩකඩ වැඩියි. නමුත් බෞද්ධ භික්ෂුවකට මේ වගේ දේවල් වලින් වැඩක් නැහැ. ඒ තියා, ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ මුලින් ජීවත් වූ ස්වදේශිකයින්ට පවා රිදී රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. මේ ප්‍රදේශ වලට පැමිණි යුරෝපීයයන්ට පහසුවෙන් එකතු කර ගත හැකි පරිදි රිදී රත්තරන් ඉතිරි වී තිබුණේ ඒ නිසා. ගැමුණු රජු මහ සෑය හදන විදිහ ගැන කල්පනා කර කර ඉන්න බව දැන සිටි අදාළ භික්ෂුව තමන් දැන සිටි රිදී සංචිතය ගැන වෙළෙන්දා හරහා රජුට දැනගන්න සැලැස්සුවා වෙන්න පුළුවන්.
මහා වංශයේ විස්තරය මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. මම ගත්තේ තෝරා ගත් කොටසක් පමණයි. ඔය විදිහට හමු වූ රිදී හා රත්තරන් වලින් පමණක් මහ සෑය හැදීමේ වියදම සම්පූර්ණයෙන්ම ආවරණය වුනා කියලා මහා වංශය කියන්නේ නැහැ. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ මුදල් හා ශ්‍රම පරිත්‍යාග උපයෝහී කරගෙන තිබෙනවා. මෑත කාලයේදී රුවන්වැලි සෑය පිළිසකර කිරීම සිදු වුනෙත් බොහෝ දුරට පෞද්ගලික ධන පරිත්‍යාග වලින්. හැබැයි බදු ගැහුවේ නැති බවනම් මහා වංශය පැහැදිලිව කියනවා.
රිදී රත්තරන් වගේම මුතු මැණික් ඇතුළු තවත් දේවල් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වී ඇතත් ඒවායින් රුවන්වැලි සෑය හදන්න බැහැ. ඒ සඳහා මෙවැනි වත්කම් වලින් ගෙවීම් කළ හැකි ආකාරයේ දියුණු ගනුදෙනු ආර්ථිකයක්ද තිබිය යුතුයි.
රන්පත්විල රන් සහ රිදීගම රිදී
බදු නොගසා මහ සෑය හදන්න අරමුදල් සොයා ගත් ආකාරය ගැන කලින් ලිපියේ කතා කළානේ. ඒ ලිපියේ විස්තර කර තිබෙන පරිදී, මහා වංශයට අනුව, රත්තරන් හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් තුනක් ඊසාන දිගින් පිහිටි ආචාර විදියෙන්. රිදී හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි අම්බට්ඨකොළ දනවුවෙන්.
වෙනත් සම්මතයන්ද තිබුණත්, යොදුනක් කියන්නේ අද සම්මතය අනුව කිලෝමීටර දහතුනකට ආසන්න දුරක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව, අනුරාධපුර සිට ඊසාන දිගට ඔය යොදුන් තුන යද්දී රන්පත්විල කියන ගම හමු වෙනවා. ගැමුණු රජ සමයේ ආචාර විදිය ඔය රන්පත්විල වෙන්න පුළුවන්. ඒ වගේම දකුණට හරියටම යොදුන් අටක් යද්දී තමයි රිදීගම හමුවෙන්නේ. අනුරාධපුර සිට රිදීගම පසු කර දිගටම යන ගැලකට මලය රටට යන්නත් පුළුවන්. ඒ අනුව, රිදීගම කියන්නේ ගැමුණු රජ සමයේ අම්බට්ඨකොළ දනවුව වෙන්න පුළුවන්. (පාඨක ප්‍රතිචාරයකට අනුව පුරා විද්‍යා සාධක වලින් මෙවැන්නක් තහවුරු වී තිබෙනවා.)
මහ සෑය හදන්න සල්ලි හොයන විදිහ ගැන ගැමුණු රජු දහ අතේ කල්පනා කර කර ඉඳිද්දී රටෙන් හමු වුනේ රන් හා රිදී පමණක් නෙමෙයි. තඹවිට ප්‍රදේශයෙන් විශාල තඹ නිධියකුත් හමු වෙනවා. ඔය කාලයේ තඹ කියන්නෙත් සල්ලි.
දැනටත් ලංකාවේ තඹවිට කියා ගමක් තිබෙනවා. එය තියෙන්නේ සබරගමු පළාතේ මාවනැල්ල පැත්තට වෙන්න. අනුරාධපුරයේ සිට යොදුන් දොළහක් පමණ දකුණට වෙන්න. මහා වංශයේ සඳහන් තඹවිට මේ තඹවිට වෙන්න බැහැ. එය පිහිටා තිබී ඇත්තේ අනුරාධපුර සිට යොදුන් හතක් නැගෙනහිර පැත්තට වෙන්නයි. සමහර විට මුල් තඹවිට සිට සපරගමුවට සංක්‍රමණය වූ අය දැන් තිබෙන තඹවිට පදිංචි වුනා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ඒ ප්‍රදේශයෙනුත් තඹ හමු වුනා වෙන්න පුළුවන්.
රන් රිදී හා තඹ පමණක් නෙමෙයි. නුවරින් සතර යොදුනක් ගිනිකොණ පිහිටි සමන් වැව් ගමෙන් මැණික් හමු වෙනවා. සත් යොදුනක් උතුරින් පිහිටි පෙල වැව්ව ගමෙනුත් මැණික් ලැබෙනවා. පස් යොදුනක් බටහිරෙන් පිහිටි උරුවෙල් පටුනෙන් මුතු හා පබළු ලැබෙනවා. මේ විදිහට රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී හැම දෙයක්ම එක වර ලැබෙන්න පුළුවන්ද? පිනට පහළ වුනා වගේ කතාවක් මෙය කියවන ගොඩක් අය පිළිගන්න එකක් නැහැ. මෙහෙම දෙයක් වුනා කියා පිළිගන්නනම් වඩා හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා.
ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා එකවරම මේ දේවල් වලට ඉල්ලුමක් ඇති වූ විටයි.
කලින් ලිපියක අපි වාලම්පුරි ගැන කතා කරලා තියෙනවා. දකුණට කැරකුණු හක් බෙලි කටුවක තිබෙන විශේෂ ප්‍රයෝජනය කුමක්ද? එහෙම කිසිම විශේෂ ප්‍රයෝජනයක් නැහැ. නමුත් වාලම්පුරියක් විශාල මුදලක් වටිනවා. ඒ අපි වාලම්පුරියකට ලොකු වටිනාකමක් තිබෙනවා කියලා හිතන නිසා.
ටිකක් හිතලා බැලුවොත් රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී ගොඩක් දේවල් වලින් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඔය දේවල් ඔය තරම් වටින්නේ අපි එහෙම හිතන නිසා. රත්තරන් වටිනා දෙයක් බව "නොදන්නා" සංස්කෘතියකට රත්තරන් වල කිසිම වටිනාකමක් නැහැ. යුරෝපීයයන් ඇමරිකාවට එන තුරු ඇමරිකාවේ ස්වදේශිකයින් සියවස් ගණනක් රත්තරන් උඩ ඇවිද්දා. ඔවුන්ට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ.
ගැමුණු රජ සමයේ ලංකාවේ ජීවත් වූ ගැමියෙකුට රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දෙයකින් තිබෙන ප්‍රයෝජනය කුමක්ද? එවැනි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා කවුරුවත් ඕවා හොයන්න මහන්සි වෙන්නේ නැහැ. මේ දේවල් වලට වටිනාකමක් ලැබෙන්නේ හුවමාරු වටිනාකමක් විදිහටයි. එය සිදු වෙන්නේ ගනුදෙනු සංස්කෘතියක් ඇතුළේ.
නමුත් හදිසියේ එකවරම ගැමුණු රජු මහ සෑය හදන්න පටන් ගන්නවා. රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් එකතු කර දීමෙන් රජුට ඒ සඳහා උදවුවක් වෙන බව මිනිස්සු දැනගන්නවා. මෙය යුද්ධයක් දිනලා ජාතික ප්‍රබෝධයක් ඇති වී තිබෙන කාලයක්. මහ සෑය කියන්නේ මිනිස්සුන්ගෙත් කැමැත්තක් තිබෙන දෙයක්. ඒ නිසා මිනිස්සු තමන්ට හමු වෙන රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් රජ ගෙදරට ගිහින් දෙනවා. මෙය තවත් අය දැන ගන්නවා. මිනිස්සු මේ දේවල් හොයනවා. වැඩේ රැල්ලක් වෙනවා. රැල්ලට වැඩ කරන එක දැන් වගේම ඒ දවස් වලත් නොවෙන්න හේතුවක් නැහැනේ. ඔය හේතුව නිසා කෙටි කාලයක් ඇතුළත රට හැම තැනින්ම රජ මාලිගයට වස්තු සම්පත් එකතු වෙනවා.
https://economatta.blogspot.com, ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙබ් අඩවියෙන්
* අවසර ඇතිව උපුටා ගත්තකි .


