පවිත්‍රාගේ  දෙවන කෙටිකථා සංග්‍රහය Leave No Trace කියවමුද ?  

අද කතාබහට එකතු වෙන්නේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ වාසය කරන ලාංකික ලේඛිකාවක් වන  පවිත්‍රා අභයවර්ධන. මුහුණු පොතේ සිතුවිලි by Pavithra Abhayawardana “ නමින් සටහන් වලින් රස බෙදන ඇය තමන්ගේ දෙවනි කෙටි කතා සංග්‍රහය Leave No Trace  පසුගියදා එළිදැක්වූවා. දිනමිණ සහ තරුණි පුවත්පත් තුලින් තම නිර්මාණ බෙදා ගත් ඇය කලක් "අද "  පුවත් පතේ සේවය කල අයෙක්. කෙටි කතා තූලින් ජීවිත විනිවිද දකින්නට උත්සාහ කරන ඇය තම පළවෙනි කෙටි කතා සංග්‍රහය “කුරු හා වෙනත් කතා” නමින් නිකුත් කර තිබෙනවා .  මේ පවිත්‍රා අභයවර්ධන ගේ  පොතින් උපුටා ගත් කොටස් කිහිපයක් . Leave No Trace වෙනස් තේමාවන් යටතේ ලියැවුනු කථා 16 ක එකතුවක් 

“අලුත් මනමාලි උදේම නැගිටලා ඉව්වද?” තමන්‌ වෙනම පෙට්ටියක දාලා කට්ටියට කන්න ගෙනාව කිරි කොස් ව්‍යාංජනේයි හැන්දකුයි හසිතට කිට්ටු කරන ගමන් අමිතා ඇහුවා. 

“තූර්යාට උයන්න බෑ අක්කා. අපි උදේට ඇවිත් දවසටම උයලා යන්න ළඟ ගෙදරක ගෑණු කෙනෙක් සෙට් කරගත්තා කලින්ම. ඒ ඇන්ටි හයට ඇවිත් උයලා, ගෙවල් අස්කරලා අතුගාලා යනවා දහයට එකොළහට. කෑමත් රසයි”

කට්ටිය මූණෙන් මූණ බලාගත්තා. 

“තූර්යා තාම ගෙදර නේද?”

“ඔව්. එයා ගෙදර ඉඳන්නේ වැඩ”

“උයන එක ලොකු දෙයක් නෙවෙයිනේ මල්ලි. අපි හැමෝම මුලදි ඔහොමයි. ටක් ගාලා පුරුදු වෙනවා. මම ලේසි රෙසිපි දෙක තුනක් දෙන්නද?”

අමිතා ඇහුවේ ඇත්තටම සුහද හිතින්. තමනුයි ස්වාමියයි බැඳලා සෑහෙන කලක් බත් එක වත් බෙරි කරගන්නේ නැතුව උයන්න බැරි උන හැටි මතක් වෙලා.

හසිතගේ  වයිෆ්ට උයන්න  බෑ කෙටිකථාවෙන් ……

“කාගෙන්ද ට්‍රීට් එක අමිල?” ඇය ඇසුවේ ඇගේ වීදුරු බෝතලයට උණුවතුර පුරවා රැගෙන ආ කාර්යාල සහායකයාගෙනි.

“රුචිණි මිස් දීලා ගියේ මිස් උදේම බෙදන්න කියලා” වෙලාව බලා කාර්යාලය නිල වශයෙන් ආරම්භ වීමට තව පැය කාලක් ඇති බව තහවුරු කරගත් චන්දි වහා නැගිට රුචිණිගේ කුටිය වෙත ගියාය. ෆයිල් කවරයකට එබී සිටිනා රුචිණිගේ මුහුණේ වෙන කවදාවත් නැති තරමේ එළියක් දක්නට ලැබේ.

“රුචී, හරිද වැ‌ඩේ?” චන්දි ඇසුවේ ඇතුළු වද්දීමය.

ඇය දෙස බැලූ රුචිණිගේ නටන කම්මුලින්ද, ඇස් දෙකන් පවා පිටතට පනින්නට නළියන සතුටෙන්ද චන්දිට ඇය මුවින් නොකියූ පිළිතුර වැටහිණි.

“අම්මෝ, කෙල්ලේ මට මාරම සතුටුයි.” චන්දි වහා පැන මිතුරියව වැළඳ ගත්තාය. “ඊයෙද ආවේ?”

“ඔව් අක්කා. ඊයෙ  රෑ ඊමේල් එක ආවේ. අම්මෝ පුදුම සහනයක්. මිගාරට පිස්සු වගේ. අම්මලටයි අක්කලටයි ඔක්කොටම කතා කරලා කියනවා.”

“අහන්න දෙයක්යැ. කොච්චර බලා හිටියද?”

“ඔව් අක්කා. දැන් ඉතින් ඉතුරු වැඩ ටිකට ලෑස්ති වෙන්න ඔ්න. බර්ත් කන්ට්‍රෝල් එක අයින් කරන්න ලබන සතියේ යන්න තියෙන්නේ. මම ඊයෙම අපොයින්ට්මන්ට් එක දැම්මා.”

බේබි වීසා කෙටිකතාවෙන් ……

“අර පට්ට ගෑණි අදත් අර පොඩි එකාව සීතලේ එක්ක යනවනේ අනේ”

චීන පටස් එකක් පුපුරවනවා වගේ ජනේලෙන් එළිය බලපු තේජා කියද්දි අමිල හිටියේ ෆෝන් එකට එබිලා මැක්ස් අමිනඅමිනිගේ කොමඩි වීඩියෝ එකක් බල බලා. තේජාගෙ කතාවට අමිලගේ ඇඟත් එක්ක හිරි වැටිලා ගියා.

දැන් “පට්ට” කියන එක බොහොම ප්‍රචලිත විශේෂණ පදයක් උනාට අමිලලා පොඩි කාලෙ පට්ට බැල්ලි, පට්ට වේසි කියන පද එකට එකතු වෙලා ගමේ කියවෙනවා ඇහිච්ච නිසාද මන්දා අමිලට ඔය “පට්ට” කියලා කියද්දි දැනෙන්නේ මහ අපුලක්. විශේෂයෙන්ම ගෑණු එහෙම කියද්දි තේජා රෝස මල වගේ හිටියට කට ඇරියම අමු රස්තියාලු විදියට තමයි කතාව.

කැම්පස් එකේදි ඉතින් බොරු සෝබන නැතිව, කෙලින් කතා කරන, කොල්ලන්ටත් උඹ බං කියලා ෆිට් එකේ ඉන්න, “පට්ට” කෙල්ලෙක් විදියටනේ ඇත්තටම තමන්ටත් අනිත් කොල්ලන්ටත් තේජාව පෙනුණේ. ටිකක් කල් ගිහින් තමයි පොල්ලෙන් ගහනවා වගේ කතා කරනවා කියන එක අමිලටත් පෙනුණේ.

දරු දුක කෙටිකතාවෙන් ……

“තාත්තා ඒ ළමයගේ ස්ටේජ් එකේ ඉන්න ෆොටෝ එකක් දාලා තිබුණනෙ අම්මවත් ටැග් කරලා හෙණ හෑල්ලක් එක්ක. මේ බලන්නකො”

ගංගා ශාලිකා ඇය වෙතට පෑ දුරකථනය අතට ගත්තාය.

“ඉවසා ගන්න බැරි සතුටට කඳුළු වැටුණ මොහොතක්” යන ශීර්ෂයෙන් ඡේදයක් ලියා වේදිකාවේ සිටින දැරියන්ගේ ඡායාරූපයක පෝස්ටුවක් එහි විය. දැල්වූ මැටි පහනක් අත තබාගෙන දෙවනි පේළියේ සිටිනා අමන්දී පමණක් පෙනෙන ලෙස අනෙක් දැරියන් බොඳ කර එහි දමා තිබුණත් දැරියන් සෑහෙන ප්‍රමාණයක් එහි සිටින බව ඕනෑම කෙනෙකුට පෙනේ. 

“මගේ රත්තරන් දූ, අද ඔයා මෙහෙම ස්ටේජ් එකක නැගලා ඉන්නවා බලන්න මගේ ඇස් දෙක වාසනාවන්ත උනා. ඒත් ඒ මුළු කාලෙම මට ඔයාට පෙනුණේ බොඳ වෙලා මගේ පුතේ. මගේ ඇස්වලින් කඳුළු එන එක නවත්තගන්න බැරි උනා මට. ඒ වෙනුවෙන් ඔයාගේ අම්මා කරපු මහමෙරක් වගේ කැපකිරීම් ඔක්කොම ඒ වෙලාවේ මට මැවිලා පෙනුණා පුතේ”  කියා ඉරන්ති රණවීරව ටැග් කර තිබූ පෝස්ටුව ගංගා හඬ නඟා කියවූයේ සිනාසෙමිනි. 

“පිස්සුද අනේ මේ මිනිස්සුන්ට?”

උදම් වීම කෙටිකතාවෙන් ……

මල්ලියි නංගියි යන්න පිටත් උනේ එකම වෙලාවෙ. පුතා උදේ ඉඳන් කණු කුණු ගගා හිටියේ කාර් දෙකම යනවා කියලා. පොඩි උනත් කොල්ලෙක්නෙ. කාර් අත ගගා, බල බල ඉන්න ආස නැතුවයැ.

“මල්ලියෙ, දානෙට එනව නේද? විසි පහ ඉරිදා”

“අනේ ඉරිදා නං බෑ අක්කෙ. මෙයාට ස්විමිං තියෙනවා උදේ අටේ ඉඳලා.”

“අනේ මං එන්නෙත් නෑ දවසක් පාඩු කරගෙන තෙල් ගහගෙන එන්නම වැඩේ” ඒ නංගි.

“අර ගෙදරටම ඇවිත් කියපු එකේ හොද නෑනෙ මල්ලියෙ” ඒ සුමනා. නංගි නං කිව්වොත් කිව්වා. මලයා තමයි ටිකක් හරි අඩංගු.

“අක්කායි අයියයි යනවනෙ. ඒ මදෑ. කියන්නකො අපි එන්නම හිටියෙ මොකක් හරි ලොකු වැඩක් වැටුණා කියල”

කාර් දෙක එකා පස්සේ එකා දෙවටෙන් යනවා බලාගෙන ඉදලා සුමනා ගේ පැත්තට හැරුණා.

“මට නං මහ මොකද්ද වගේ, ගෙදරටම ඇවිත් අර වයසක උන්දැ කියල ගිය එකේ. අපේ තාත්තගෙ තද හිතමයි මේ දෙන්නටම තියෙන්නේ”

පහත් තැනින් යයි ගලා ජලේ කෙටිකතාවෙන්….

ඇය පොත ගැනත් ඇය ගැනත් කතා කරන්න අපිත් එක්ක එකතු වූනා.

පවිත්‍රා අභයවර්ධන ගැන කෙටියෙන් කිව්වොත් 

මම කැනඩාවට ආවේ 2022 වසරේදී. මම ලංකාවේදී වෘත්තියෙන් සිවිල් ඉන්ජිනේරුවරියක් විදිහට සේවය කළා. ආයතන කිහිපයක වැඩ කරලා අවසානයේ ලංකාවෙන් පිට වෙද්දී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ සිවිල් ඉන්ජිනේරුවරියක් විදිහට කටයුතු කළා. දැනට වැන්කුවර් නුවර මෙට්‍රො වැන්කුවර් ආයතනයේ ජල සේවා අංශයේ තාක්ෂණ සහකාරවරියක් විදිහට කටයුතු කරනවා. මගේ සැමියාත් දුවත් පුතාත් සමඟ සරේ නුවර ජීවත් වෙනවා.

ඔබ ලියන්න පටන් ගත්තේ කොහොමද?

මම කුඩා කාලයේ පටන් පොත් කියවන්න බොහොම කැමතියි. නමුත් කතා ලියන්න කිසිම අදහසක් තිබුණේ නෑ. අහම්බෙන් විජය පුවත් පත් ආයතනයේ “අද” පුවත් පත ආරම්භ කරන විට එහි අන්තර්ජාතික අංශයේ භාෂා පරිවර්තිකාවක් විදිහට අවුරුදු දෙකක් පමණ කටයුතු කරන්න ලැබුණා.

ඉන්පසු මම විවේක වෙලාවට ලියන කෙටි කතා කිහිපයක් දාලා මගේ සැමියා “සිතුවිලි by Pavithra Abhayawardana “ නමින් ෆේස්බුක් පිටුවක් සකස් කර දුන්නා. ඒ තුළින් සමාජ මාධ්‍ය ඔස්සේ මගේ කෙටි කතා වලට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා.

දිනමිණ පත්‍රයේ “කෙටිම කෙටි” හා “වසත් සුළඟ” අතිරේකවලත් “තරුණී” කාන්තා පුවත් පතේත් මගේ කෙටි කතා, කවි  රාශියක් පළ වී තිබෙනවා.මම ලියා දිනමිණ පුවත්පතේ පළ වූ “ආදර‌ේ වර්ග දෙකක්” කියන කවිය ඉතාම ජනප්‍රිය උනා. බොහෝ දෙනා මගේ කතා, කවි කියවන්න ගත්තේ එයින් පසුවයි. 

2023 වසරේදී මගේ පළවෙනි කෙටි කතා සංග්‍රහය “කුරු හා වෙනත් කතා”  කෙටි කතා සංග්‍රහය විදර්ශන ප්‍රකාශයක් විදිහට ප්‍රකාශයට පත් කළා. 

මොකද්ද මේ Leave No Trace?

Leave No Trace  කියන්නේ මගේ දෙවනි කෙටි කතා සංග්‍රහය. සිංහල කෙටි කතා 16 කින් සමන්විත එය Storyflix ප්‍රකාශනයක් විදිහට තමයි එළි දැක්වුණේ. මේ පොතේ ආදරය, විරහව, මව්පියන් දරුවන් අතර ඇති බැඳීම, කාර්යාල වල සිදුවන දේවල් වගේ විවිධ මාතෘකා වලට අයිති කෙටි කතා තිබෙනවා.

ඔබ ලියන්නේ කොහොමද? මොනවද?

මම වැඩි වශයෙන් ලියන්නේ කෙටි කතා. 

මම හරිම කැමතියි මිනිස්සු විවිධ අවස්ථාවල හැසිරෙන විදිහ, කතාබහ කරන විදිහ, අනුන්ට ප්‍රශ්නයක් උන වෙලාවට, තමන් ළඟ ඉන්න කෙනෙක් ජයග්‍රහණයක් ලබපු වෙලාවට වගේ මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහ නිරීක්ෂණය කරන්න. මගේ කතා කියවන බොහෝ දෙනා කියන දෙයක් තමයි මගේ කතාවල ඉන්නේ එදිනෙදා පාර තොටේ හමුවන බොහොම තාත්වික, සාමාන්‍ය මිනිස්සු බව. මම හිතන්නේ මම අහන දකින දේවල් ඇසුරෙන් ලියන නිසා එහෙම වෙනවා ඇති. 

ඒ වගේම මම සෑහෙන්න මනෝ ලෝකයේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් බොහෝ කතාවල චරිත මගේ ඔලුවේ එහා මෙහා ගිහින් ලියන්න වාඩි වුණ ගමන් මගේ කතාවල චරිත බවට පත්වෙලා එළියට එනවා. 

ඔබේ ප්‍රියතම ලේඛකයෝ ලේඛිකාවෝ කවුද?

මගේ කුඩා කාලයේ පටන් මේ දක්වා ඉතාම ප්‍රිය කරන ලේඛිකාව සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය. ඇයගේ ලස්සන වචන, පරිසරය විස්තර කරන ආකාරය, ගැමියන්ගේ සිතුම් පැතුම් කතා බහ ඉදිරිපත් කරන ආකාරය, එතුමියට ලෝකයේ විවිධ දේශපාලන මත, ආගම් ගැන ඇති අප්‍රමාණ දැනුම ආදි සියල්ලම එකට කැටි කරලා ලියන නව කතා කෙටි කතා වලට මම බොහොම කැමතියි. තව මංජුල සේනාරත්න, චූලාභය ශාන්ත කුමාර වැනි ප්‍රවීණයන් වගේම බුද්ධිකා අබේසුන්දර, නිලූකා බ්‍රැන්ඩන් ආදි නව පරපුරේ දක්ෂ ලියන්නියන්නේ කතා වලටත් මම හරිම ප්‍රියයි.

මේ පොත කියවන්න කැමති කෙනෙක් ඒක ලබාගන්නේ කොහොමද?

ලංකාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී කුටියෙන් මේ පොත ලබාගන්න පුලුවන්. ඊට අමතරව ලංකාවේ ඉන්නා අයට  +94773549230 / +94706995585 වට්සැප් අංකයන්ගෙන් ඇණවුම් කිරීම හෝ Storyflix ඇප්ලිකේෂනයෙන් ඇණවුම් ලබාදෙන්න පුලුවන්.

දැන් සිංහල පොත් කියවන බොහෝ පිරිසක් පිටරටවල සිටින නිසා ඔක්තෝම්බර් මාසයෙන් පසු Ebook එකක් ලෙස පොත පළ කරන්න සැළසුම් කරගෙන තිබෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම ලේඛනයට ඉතාම ආධුනික කෙනෙක්. තත්වයෙන් හොද කතා ලිවීමටත් නවකතාකරණයට යොමු  බලාපොරොත්තු වෙනවා. 

සංවාද සටහන 

සකුන්තලා ඉදුවර 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *