

ගංගා ද්‍රෝණි රැසක අධී ගංවතුර අවධානමක්.
ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගල මරණ 37ක්, නොවැම්බර් 17 වැනිදා සිට මේ දක්වා මිය ගිය එම ගණන 47ක්ය.
21ක් අතුරුදන්: 10කට තුවාල
ගංගා ද්‍රෝණි රැසක පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 20ක ප්‍රා. ලේකම් කොට්ඨාස 93කට බලපෑම්
පවුල් 1158ක 4008ක් පීඩාවට
දිස්ත්‍රික්ක 7ක ප්‍රා. ලේකම් කොට්ඨාස 41කට ඉවත් වීමේ රතු නිවේදන
දිස්ත්‍රික්ක 10කට නාය අවදානම් නිවේදන
උසස් පෙල කල් යයි.
රඡයේ සේවකයන්ට නිවාඩු.
අයවැය විවාදයත් කල්යයි.
වාරි ජලාශ 42ක් වාන් දමයි – සියයට 85ක් පිරිලා
රේල් පාර යට වී දුම්රිය ගමන් වාර 6ක් නවතී
තැපැල් දුම්රිය නාවලපිටියට – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි
සයින්දුමර්දු ජල පහරකට හසුවූ මෝටර් රථයේ සිටි පියා – මව දරුවා මරුට
මගීන් සමග ජල පහරේ ගසාගෙන ගිය බස් රිය මුදා ගනී
බෙන්තර පැරණි පාලම කඩා වැටේ
දිත්වා සුළිකුණාටුවේ බලපෑම දිගටට – ප්‍රවේශම් වන්න කල්පනාවෙන් ඉන්න උපදෙස්.
දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය (28දා) වනවිට පුද්ගලයන් 47 දෙනකු මියගොස් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන් වී තවත් පුද්ගලයන් 10ක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල, වැලිමඩ, ලුණුගල, පස්සර, කන්දකැටිය, ඌව පරණගම, සොරණාතොට හා ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල 21 දෙනකු මියගොස් ඇත. ගාල්ල මරණ 1ක් කෑගල්ල මරණ 07ක්, හම්බන්තොට 01ක්, කුරුණෑගල 01ක් සහ නුවරඑළිය, වලපනේ 04ක්, මඩකළපුව සයිනමර්දු 03ක් අම්පාර 5ක් ලෙස මරණ 40ක් වාර්තා වී ඇත. මෙම මරණ පසුගිය 17 වැනිදා සිට ඊයේ (28දා) දක්වා වාර්තා වී තිබේ.
නුවරඑළිය, වලපනේ පුද්ගලයන් 11ක්, මහනුවර 3ක් ලෙස අතුරුදන්වීම් වාර්තා වී තිබේ. මෙම ආපදා තත්ත්වය නොවැම්බර් 17 සිට නොවැම්බර් 27 දක්වා ගණනය කර ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1158ක පුද්ගලයන් 4008ක් පීඩාවට පත්ව ඇත.
නිවාස පූර්ණ හානි 03ක්, නිවාස අර්ධ හානි 381ක්, පවුල් 41ක පුද්ගලයන් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 05කුත් පවුල් 136කට අයත් පුද්ගලයන් 472ක් ඥාති නිවාසවලත් සිටින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.
බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 10 සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් නිවේදන නිකුත් කර තිබුණි.
දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක ජනතාවට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබිණි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇළ, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, උඩපළාත, ගඟවට කෝරළේ, මැදදුම්බර, දෙල්තොට, දොළුවාව, අකුරණ, උඩුදුම්බර, මිනිපෙ, ගඟඉහළ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, අරණායක, මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මල්ලවපිටිය, මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, නාවුල, වැලිගමුව, අඹන්ගඟ කෝරළේ, පල්ලෙපොල, ලග්ගල, මාතලේ, මොනරාගල මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ දකුණ, කොත්මලේ උතුර, නුවරඑළිය, වලපනේ, මතුරට, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබුණි. අනෙකුත් දිස්ත්‍රික්ක 03 සඳහා ද විමසිලිමත් සහ අවධානයෙන් සිටින නිවේදන නිකුත් කර තිබුණි.
ගෙවීගිය පැය 24 තුළ මඩකළපුව රූගම් ප්‍රදේශයට මිලිමීටර් 300.1ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත. හෙට්ටිපොල මිලිමීටර් 266ක්, මහදෝව මිලිමීටර් 262ක්, කන්දකැටිය මිලිමීටර් 259.1ක්, හබරණ මිලිමීටර් 257.3ක්, උල්හිටිය මිලිමීටර් 224.4ක්, යකාවැව මිලිමීටර් 214.8ක්, මඩුකැලේ මිලිමීටර් 206.5ක්, ලෙල්කඳුර මිලිමීටර් 203.8ක්, වේවැස්ස මිලිමීටර් 206.2ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය වාර්තා වී ඇත. පවතින ආපදා තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස ද ඉල්ලා සිටී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 42ක් වාන් දමන බවත් මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 50ක් වාන් දමන බවත්ය. සමස්තයක් ලෙස ජලාශවල ජල ධාරිතාව සියයට 85ක් පමණ පිරී ඇත.
ජලාශ පිරී තිබීම සහ තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින නිසා එම ජලාශවල වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශවලට ළඟාවීමෙන් වළකින ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය ජලයෙන් යටව තිබූ බවට වාර්තා විය. නැඟෙනහිර දුම්රිය මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබීම නිසා ඊයේ ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර සහ තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කර තිබුණි. උඩරට කොළඹ සිට හැටන් දක්වා රාත්‍රි තැපැල් දුම්රිය ද නාවලපිටියට සීමාකර තිබුණි. උඩරට දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමාකිරීමට ද කටයුතු කර තිබුණි. කැලණි වැලි දුම්රිය මාර්ගයට ද ගස් කඩාවැටීම නිසා දුම්රිය ධාවනයට පසුගිය (28දා) බාධා එල්ලවී තිබූ අතර එම ගස් කපා ඉවත්කර දුම්රිය ධාවනයට පහසුකම් සලසා තිබුණි.
1902 වසරේ ඉදිකර තිබූ බෙන්තර පැරණි පාලම කඩා වැටීම, අනුරාධපුර සාලියපුර පානියන්කඩවල හතර ඇළ මාර්ගයේ ගසක් කඩාවැටීමෙන් ජීවන්ත ප්‍රසාද කුමාර වීරසිංහ (34) නමැති කොස්තාපල්වරයකු මියයෑම, බදුල්ල පට්ටිපොළ ප්‍රදේශයේ පස් කණ්ඩියක් දුම්රිය ඉදිරිපිටට පතිතවීම, මොනරාගල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේදී මගීන් 23 දෙනකු රැගත් බස් රථයක් ප්‍රදේශවාසීන් සැඩපහරින් බේරාගැනීම වාර්තා වී තිබිණි. අම්පාර සයිනමර්දු ප්‍රදේශයේ ඇළකට මෝටර් රථයක් වැටී එහි ගමන්ගත් එකම පවුලේ මව, පියා හා පුත්‍රයා මියගොස් ඇති බවට වාර්තා විය.
ගාල්ල, මාතර හා මඩකළපුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.
කැලණි ගඟ, කෙහෙල්ගමු ඔය, නිල්වලා ගඟ, කිරිඳි ඔය, මැණික් ගඟ, හැඩ ඔය, මාදුර ඔය, මහවැලි ගඟ, බදුලු ඔය, මුකුණු ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය යන ගංගා සහ ඔයවල් ජලය පිරී පැවතීම සහ ඇතැම් ස්ථානවල මාර්ග සහ පහත්බිම් ජලයෙන් යටවී පවතී. තවදුරටත් වර්ෂාව පැවතිය හොත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ජනතාව අවධානයෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. යම් ආපදා තත්ත්වයක් පැවතිය හොත් ‘117’ හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබුණි.
හදිසි ආපදා තත්ත්වයට මුහුණදී සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගිය (27දා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර තිබුණි. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිසාපති, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමනිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ප්‍රදේශවාසීන් මැදිහත්ව කටයුතු ආරම්භ කර තිබුණි. ගුවන් හමුදා හෙලිකොප්ටර් 06ක් ආපදාවට පත් අය බේරාගැනීම සඳහා යොදවා තිබෙන අතර මහව ප්‍රදේශයේ තිදෙනෙක් හෙලිකොප්ටරයකින් මුදාගෙන තිබුණි.
මල්වතු ඔය ද්‍රෝණිය
මල්වතු ඔය ද්‍රෝණියට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂාපතනය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජලමාපකවල කියවීම් අනුව මල්වතු ඔයෙහි ජල මට්ටම සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතින අතර ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව නිවේදනය කර තිබේ.
දැදුරු ඔය ද්‍රෝණිය
පසුගිය පැය 24 තුළ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු 08ක් අඩි 17 බැගින් විවෘත කර ඝන අඩි 94,200ක් තරම් ශීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පැවතිණි. එම තත්ත්වය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලමාපකවල කියවීම් අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවට අනතුරු අඟවනු ලැබ තිබේ.
කැලණි ගඟ ද්‍රෝණිය
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 24ක කාලය තුළ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.
මහ ඔය ද්‍රෝණිය
මහ ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය 48 තුළ ඇතිවිය හැකි බවට මෙයින් අනතුරු අඟවනු ලැබේ. එම කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල (මරඳගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය) සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව නිවේදනය කර තිබේ.
මහවැලි ද්‍රෝණිය
පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් රන්ටැඹේ හා මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය වැඩිවන බැවින් හා ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජලධාරිතාව හා බදුලු ඔය ජල ධාරිතාව ද ඍජුවම මහවැලි ගඟට එකතු වන බවද මහවැලි ගඟේ පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරන ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව, දඹුලුඔය හා බෝවතැන්න ජලාශ වාන් දැමීම ආරම්භ වී ඇති අතර ඉදිරි කාලසීමාව තුළ මොරගහකන්ද කළුගඟ ජලාශ ද වාන් දැමීමේ ප්‍රවණතාවයක් ඇති බවත් වලව ද්‍රෝණියේ උඩවලව ජලාශය ද ඉදිරි පැය කිහිපය තුළ වාන් දැමීම ආරම්භ විය හැකි බව නිවේදනය කර තිබේ.
ප්‍රධාන මාර්ග 75කට දැඩි හානි
මේ අතර නායයෑම් සහ ගංවතුර හේතුවෙන් දිවයිනේ ප්‍රධාන මාර්ග 75කට දැඩි හානි සිදුවී ඇති අතර එම මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට ලබාදී ඇති බවත් වර්ෂා තත්ත්වය අඩුවීමත් සමග මහාමාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසීය.
මධ්‍යම, ඌව සහ නැඟෙනහිර පළාත්වල මාර්ග රැසකට මේ මොහොත වනවිට දැඩි හානි සිදුවී ඇති බවත් උතුරු මැද, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වලට සුළු හානි සිදුවී ඇති කඳුකර ප්‍රදේශවල නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බවද හෙතෙම කීය. එම මාර්ග යථා තත්ත්වයට පත්කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීන් පැය 24 පුරා අඛණ්ඩව සේවය කරන බවත් ඒ මහතා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන මේ වනවිට නිකුත්කර තිබේ.
ප්රචණ්ඩ ස්වරූපයක් ගත් ‘දිට්වා’ මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලූර් සහ විල්ලුපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.පසුගිය (27) පස්වරුව වනවිට ‘දිට්වා’ සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන්කරමින් තිබුණි.
ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
මේ වනවිට දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 58කට නායයෑම් සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය ‘දිට්වා’ සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව තිබේ.මේ සම්බන්ධයෙන් පසුගිය (28) වැනිදා පෙ.ව. 5ට නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මෙම පද්ධතිය උතුර බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.


