
ආසියාවේ රටවල් 4කට සුළි කුණාටු ගෙන ආ ධාරානිපාත වැසි හේතුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයන් 1,400 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් වාර්තා අනාවරණය කරනවා. ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව මෙම ආපදාවට ලක්වුණා.
මෙම ව්‍යසන හේතුවෙන් කලාපයේ පවතින ආර්ථික විෂමතා ද මතු කර ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ව්‍යසනයෙන් දැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉන්දුනීසියාවයි. මේ වනවිට එරටින් අවම වශයෙන් මරණ 753 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවෙන් මරණ 474 ක් වාර්තා වී ඇති නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ මෙරට මියගිය සංඛ්‍යාව නිශ්චිතව තීරණය කිරීමට කල් වැඩි බවයි. තවත් 356 දෙනෙකු අතුරුදන්. තායිලන්තයේ පුද්ගලයන් 185 දෙනෙකු සහ මැලේසියාවේ තිදෙනෙකු මියගිය බව තහවුරු වී තිබුණා.
ගලවා ගැනීමේ කණ්ඩායම් හුදකලා වූ ප්‍රජාවන් වෙත ළඟා වීමට කාලය සමඟ පොරබදමින් සිටිනවා. තවමත් 1,000 කට වැඩි පිරිසක් අතුරුදන්.
අඛණ්ඩ විදුලි හා විදුලි සංදේශ බිඳවැටීම් මධ්‍යයේ ගම්මාන මඩ හා සුන්බුන් යට තැන්පත් වී තිබෙනවා.
දින ගණනාවක් පුරා නොනවතින වර්ෂාව සහ සුමාත්‍රා දූපතට බලපෑ දුර්ලභ නිවර්තන කුණාටුවකින් සිදු වූ විනාශය, 2018 සුලවේසි භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් (මරණ 4,300 කට වඩා සිදු වූ) පසු සිදු වූ වඩාත්ම මාරාන්තික ව්‍යසනය බව ඉන්දුනීසියානු බලධාරීහු පවසනවා. ව්‍යසනය අතරතුර මිලියන 1.5 කට වැඩි පිරිසක් අවතැන් වුණා. දසදහස් ගණනක් නිවාස සහ පොදු පහසුකම්වලට හානි සිදුවී තිබෙනවා. පුද්ගලයන් 2,600 ක් පමණ තුවාල ලබා තිබුණා.
ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, උතුරු සුමාත්‍රා, බටහිර සුමාත්‍රා සහ ආචේ පළාත්වල 650 ක් පමණ තවමත් අතුරුදහන්. ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝ ආපදා කලාපයකට ගොස් ආධාර සහ නැවත ගොඩනගන බවට පොරොන්දු වූ නමුත්, ගංවතුරෙන් පීඩාවට පත් ශ්‍රීලංකාව මෙන් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හෝ ජාත්‍යන්තර සහාය ඉල්ලා නැහැ.
ඉන්දුනීසියාව සහ තායිලන්තය සාපේක්ෂව ශක්තිමත් මූල්‍ය ධාරිතාවක් සහිත මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන් බව විදෙස් වාර්තා පවසනවා. ඔවුන්ට පුළුල් ගලවා ගැනීමේ මෙහෙයුම් සහ හදිසි අරමුදල් යෙදවීමට හැකියාව ඇති බව ද සඳහන්.
නමුත් ශ්‍රී ලංකාව මෙම ව්‍යසනකාරී තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ දැඩි ආර්ථික පීඩනයක් යටතේයි. හානියේ සම්පූර්ණ පරාසය තවමත් තක්සේරු කරමින් පවතිනවා.
යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපාය ප්‍රතිස්ථාපනය කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් පුනර්ජීවනය කිරීමේ පිරිවැය භාණ්ඩාගාරය මත දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවට අනුමාන කෙරෙනවා.
වී වගා කරන විශාල ප්‍රදේශ සහ එළවළු ප්‍රධාන සැපයුම්කරුවන් වන කඳුකර ප්‍රදේශ ව්‍යසනයෙන් විනාශ වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇති සීමිත විදේශ විනිමය සංචිත ක්ෂය කිරීමට බල කෙරෙනවා.
ඉන්දියාව, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් දැනටමත් සහන සැපයීම සිදුකරමින් සිටිනවා.
තායිලන්තයේ, රජයේ ප්‍රකාශිකා රචඩා ධ්නාඩිර්ක් බදාදා නිවේදනය කළේ දකුණු තායිලන්තයේ යථා තත්ත්වයට පත්වීමේ ප්‍රයත්න සාර්ථකව සිදු වෙමින් පවතින බවයි. බලපෑමට ලක් වූ සියලුම ප්‍රදේශවල පාහේ ජලය සහ විදුලිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ගංවතුරෙන් පීඩාවට පත් නිවාස 120,000 කට අධික සංඛ්‍යාවකට රජය විසින් බිලියන 1 කට අධික තායි බාට් (ඇමෙරිකානු ඩොලර් මිලියන 31.3) වන්දි මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ගංවතුරෙන් පීඩාවට පත් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා, බටහිර සුමාත්‍රා සහ ආචේ පළාත්වල ගංවතුරට හසු වූ දහස් ගණනක් දෙනා පසුගිය දිනවල වහලවල්වලට සහ ගස් මුදුන්වලට නැඟී ගලවා ගැනීම අපේක්ෂාවෙන් සිටියා.
ගිලා බැස ගොස් තිබූ මාර්ග, කඩා වැටුණු පාලම් සහ අඛණ්ඩ නායයෑම් හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි ලෙස පීඩාවට පත් සමහර ප්‍රදේශවලට ළඟා වීමට වෙහෙසෙනවා.


