සිංහල කෙටිකතාව – වීදුරු බුජම, ජීවන කතන්දර – ඔයිල් නැතිව ධාවනයේ, පරිවර්තිත කෙටිකතාව- යුදට ගිය පුතු

සිංහල කෙටිකතාව

වීදුරු බුජම

සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත දැල්වෙන රතු මහත ඉටිපහන් යුග්මයේ මන්දාලෝකය වැදීමෙන්, හිම පියලි මොහොතකට රන් පියලි වෙස් ගෙන ඇස් රවටයි.

ස්ටෙෆනි අවසන් දොඩම් පෙත්ත ආයාසයෙන් සොයාගත් නිදහස් රිකිල්ලක් අග රඳවා දෑත් පිස දැමීය. ඈ අසල වැතිරගත් රන් පැහැ වල්ගාතරුවකි. තැනින් තැන දුර්වර්ණව ගිය ඒ රන් තරුව ස්ටෙෆනිට තෑගි ලැබුණේ අත්තම්මාගෙනි.

“ඇටිකිති කෙල්ල, විස්වාස කරන අයට වඩා ප්‍රස්ණ කරන්නයි, අවිස්වාස කරන්නයි ඉපදිච්ච එව්වො එන්න එන්නම වැඩිවෙන බව ඇත්ත. ඒත් නත්තලට කලින් දවසේ රාත්‍රිය කියන්නේ ඉන්ද්‍රජාලික රාත්‍රියක්.” අත්තම්මා එහෙම කීවේ මීට අවුරුදු දහයකට ඉහතදීය. එකල කෝටු කකුල් සහ කෙටි කෙස්සකින් යුත් කුඩා කෙල්ලක් වුවද ස්ටෙෆනිට අත්තම්මාගේ වචන කිකලකවත් මතකයෙන් බැහැරලන්නට හැකිවූවේ නැති. සමහරවිට ඉන්ද්‍රජාල කියන්නේ එහෙම දේවල් වෙන්නටත් පුළුවන.

“මේ තරුව එල්ලන්න ඕනේ නත්තල් ගහේ මුදුන් රිකිල්ලේ. නත්තලේ මායා බලයට අතවනන්න පුලුවන් තරුවක් ඒක. පේනවද මේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය?” ඇගේ වයස්ගත දෑස දිදුලන්නට විය. “ඒක තමයි ජනාවාසේ. මායා මිතුරන්ගේ ජනාවාසේ.” ඉනික්බිති ඈ නත්තල් ගම්මානයේ කුරුමිටි මිනිසුන්ගේ සෙල්ලම්බඩු ෆැක්ටේරි ගැනත්, තෑගි රැගෙන දුම් කවුළුවෙන් පහල බසින නත්තල් සීයා ගැනත් කතන්දරය ස්ටෙෆනිට කියා දුන්නාය. 

දැන් ඈ අත තියෙන්නේ, ගිය මාසයේ ආත්තම්මාගේ කුරුමිණි අඬු අත් අකුරෙන් ලියූ ලිපිනය ඔස්සේ පාර්සල් තැපෑලෙන් ලද ඒ ඒ ඉපැරණි වල්ගා තරුවයි.

ස්ටෙෆනි ඉතා අරපරෙස්සමට රන් වල්ගා තරුව නත්තල් ගහේ මුදුන් රිකිල්ල මත නැංවූවාය. දැන් එහි වූයේ පරිගණක තාක්ෂණය හදාරන තරුණියක මිස ඉන්ද්‍රජාල විශ්වාස කරන අටහැවිරිදි දැරිය නොවෙයි. ඇරත් ඈ නිරාගමිකය. නත්තල් ගසත්, ගවලෙනත් තවදුරටත් ගෙනාවේ උණුසුම පිරුණු රාත්‍රීන් පිළිබඳ මතක මාත්‍රයන් පමණකි.

දුම් කවුළුවෙන් සිහිනි සරසර හඬක් නැගෙන මොහොතේ ස්ටෙෆනි උන්නේ සෝෆාව මත ගුලිවී පොරෝණා ප්‍රාවරණය තුල සැඟව නින්දත් නොනින්දත් අතරය. රත්දුඹුරු කලාලය මත වැතිරගත් ජංගම දුරකතනයේ නෙට්ෆ්ලික්ස් සිනමාපටයක් නිහඬවම වාදනය වෙමින් පැවතිණි. දුරකතනයට මදක් ඔබ්බෙන් වූ හෙඩ්ෆෝනයෙන් ඉඳහිට සිහින් ගුරුගුරුවක් ඇසී නෑසී යන්නට විය. 

මෙවර සරසරය ඇසුනේ වඩාත් පහතින්, වඩවඩාත් පැහැදිලිවය. ඉනික්බිති කොල පැහැ කෙසඟයෙක් ගිනි උඳුනෙන් මෙපිටට නුහුරු පිම්මක් පැන්නේය.

“හෝ හෝ හෝ! අන්තිමේදී නත්තල් තරුවක්! අංගසම්පූර්ණ ගවලෙනකුත් එක්ක!!” ඔහු සිය හීන්දෑරි අත් පා විසුළු තාලයකට පද්දමින් නත්තල් ගස වටා රවුම් කරකැවෙන්නට විය. සරසරය නැඟෙන්නේ ඔහු කර එල්ලාගෙන සිටි ඔලොගුවෙනි.

ස්ටෙෆනි ඇහැ ඇරියේ හරියටම අන්න ඒ වෙලාවේදීය.

ඉනික්බිති ඈ, එවැනි අවස්තාවක ඕනෑම තරුණියක කරන්නට ඉඩ ඇති දැය ක්‍රියාවට නැංවූවාය. 999 අමතා පොලීසිය ගෙන්වීම වෙනුවට, සිය ජංගම දුරකතනයෙන් හැකි වැර යොදා කෙසඟයාට දමා ගැසුවාය.

“හෝ හෝ හෝ! නත්තල් තෑගි ගෙනාවාට සලකන්නෙ මෙහෙමද?” 

“කවුද තමුසේ?” ස්ටෙෆනි කඩිමුඩියේ සෝෆාවෙන් බිමට බසින්නට තනන්නී, පොරෝණාවේ පැටලී අලගෙඩියක් මෙන් කළාලය මත පෙරැලුනාය.

“කෝ මස් පස්තෑල? අඩුම තරමේ කුකී එකක්, කිරි වීදුරුවක්? ඒ මදිවාට දමා ගහන්නේ වයර් එල්ලෙන කතා පෙට්ටියකින්.” කෙසඟයා ඉනට අත තියාගෙන දබරැඟිල්ල ලෙලවන්නට විය. ඔහුගේ නහය ජම්බුවක රත් පැහැයට හැරෙමින් තිබිණි. 

“කවුද තමුසේ?” ස්ටෙෆනි පුනරුච්චාරණය කලේ වඩා දුබල, වෙවුලනසුළු හඬකිනි.

“මම තමයි නිකුලස්. සෙන්ට් නිකුලස්. සැන්ටා ක්ලෝස්.” කෙසඟයා කළාලය මත බට්ටා පනිමින් කීය.

“නත්තල් සීයා කියන්නේ අන්න අරයට” දුරකතන තිරයේ වාදනය වෙමින් තිබූ කැරොල් වීඩියෝවක නත්තල් සීයා ළමා ලපටින් පිරිවරාගෙන, සිය රත් පැහැ ලෝගුවද, සුවිසල් උදරයද, පුළුන් රැවුලද නටවමින් උන්නේය.

“ඈ බොල මෝඩ ඇටගෙම්බියේ!” කොල කෙසඟයා අපුල දනවන හඬක් නැංවීය. “අර නාකි බඩතඩියා දුම් කවුළුව අස්සෙන් රිංගනවා කියන එක උඹත් විස්සාස කරනවද? පිණිමුවෝ බැඳපු කරත්තෙයි, උන්දෑ තප්පරේට ගෙවල් දාහකට තෑගි බෙදන කතන්දරෙයි සේරෝම?”

“නත්තල් සීයා කියන්නෙ මිත්‍යා විස්වාසයක්.” ස්ටෙෆනි නහයෙන් පිඹිමින් කීවාය. “මම නිරාගමිකයෙක්. මම කියන්නේ, නත්තල් සීයා නමින් හඳුන්වන කෙනාගේ හැඩරුව ඔහේට වඩා ඉන්තේරුවෙන්ම වෙනස් කියන එකයි.”

“හෝ හෝ හෝ! ආං කියවනවා ඉටිගෙඩියක්!” එවර කෙසඟයා සන්සුන්ව කලාලය මත එරමිණිය ගොතා වාඩිගත්තේය. “නත්තල් සීයා ඉස්සර, මං මේ කියන්නේ ඉස්සරෝම ඉස්සර, දුම් කවුළු දිගේ බඩගෑවේ කොල පාට ඇඳුමක් ඇඳගෙන. සැන්ටා ක්ලෝස් මිටියි, කෙසඟයි, මීමැස්සෙක් වගේ කඩිසරයි.”

“හැබැයි වැදගත්ම දේ!” කෙසඟයා උගුරේ රුල් බුරුල් හැර මදක් එකෙල මෙකෙල වූවේය. “සැන්ටා ක්ලෝස් කියන්නේ තනි මනුස්සයෙක් නෙමෙයි. සැන්ටා ක්ලෝස්ලා ඉන්නවා සියක්දහස් ගානක්!”

ස්ටෙෆනි ආයාසයෙන් කෙල ගුලියක් ගිල්ලාය. තොල කට වියලී ඇති බැව් හැඟුනෙන්, ඈ අඩක් හමාර කර ටීපෝව මත දමා ගිය කෝලා බෝතලයේ පියන හැර, ග්ලග්ග්ලග් හඬින් කෝලා දියර උගුරට වත්කර ගත්තේ කෙසඟයා දෙස යටැසින් බලමිනි.

“ඔන්න ඔය සෝඩා බුබුළු වතුර තමයි මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලේ. කොල පාට නත්තල රතු පාට කලේ” කෙසඟයා කීවේ බැරෑරුම් හඬිනි.

“ඒ කාලේ හැම ගෙදරකම තිබුනා නත්තල් තරුව. ඒකෙන් නිකුත්වෙන සංඥා කිරණ දිගේ අපිට පහසු වුනා නත්තල් ගෙවල් හඳුනාගන්න. පෘතුවිවාසීන් අපිව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා. මස් පස්තෑල, කුකීස්, කිරි විතරක් නෙමෙයි, කැරට් අලත් උඳුන් පඩිය උඩ පෙළගස්සලා තිබුණා අපූරුවට. මොකද, ඒ අය දැනගෙන හිටියා මේක වෙහෙසකර ගමනක් විත්තිය.”

කෙසඟයා නත්තල් ගහේ රිකිල්ලක එල්ලී උඩ පිම්මක් පැන්නේය. ස්ටෙෆනිට අත්තම්මාගෙන් තෑගි ලැබුණු රන් තරුව දකුණතින් නෙලාගත් ඔහු වට දෙකක් කැරකී බිම පතිත විය.

“මේ බලන්න මෝඩ කෙල්ල. මේ තියෙන්නේ අපේ ජනාවාසය. ඔහු රන් තරුවේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය සෙමින් වමතින් වරක් පිරිමැද්දේය. තාරකා, එල්.ඊ.ඩී. බල්බ රැසක් මෙන් නිවි නිවී දැල්වෙන්නට විය.

දැන් බලන්න කවුළුවෙන් එපිට පේන්නේ මොනවාද කියලා.

කවුළු තිරය සරස් හඬ නංවමින් මෑත් විය. ස්ටෙෆනි, කෙසඟයා අනුව යමින් තද දම්පැහැ ආකාශය වෙත නෙත් යොමු කලාය. රන් තරුවේ සටහන්ව තිබූ තාරුකා රාශිය ආකාශය මත පොබයමින් තිබිණි.

“තෑගි හදන්නෙත්, තෑගි බෙදන්නෙත් අපිමයි.” කෙසඟයා කවුළුවෙන් පිටත ගෙමිදුල වසාගත් හිම කැටිවලට මිමිණීය. “අපි එන්නේ දුම් කවුළු දිගේ, මැදියමේ. එන්න එන්නම රන් තාරුකා අත ඇති මිනිස්සු අඩුවෙන එකයි හිතට අමාරු. අන්තිමේ අපි අපේ ජනාවාසයට වෙලා බලාගත් අත බලාගෙන ගෙවාදාන නත්තලක් උදාවේවි. හීතලේ, තනිපංගලේ!”

“සැන්ටා ක්ලෝස්!” ස්ටෙෆනි කෙසඟයාව තමා වෙතට ඇදගෙන, හැකි වැරෙන් තුරුළු කරගත්තීය.

“කොල පාට පිටසක්වල ජීවියෝ එන්නේ පෘතුවිය ආක්‍රමණය කරන්න නෙමෙයි දරුවෝ. එයාල එන්නෙ ආදරයත්, උණුසුමත් බෙදාහදාගන්න.” කෙසඟයා ස්ටෙෆනිගේ හිස මෘදුව පිරිමදිමින් කීය. “සුභ නත්තලක්!” ඊළඟ මොහොතේ ඔහු දුම් කවුළුව තුළින් අතුරුදන් විය.

නත්තල් ගස පාමුළ රිදී පැහැ කරදාසියකින් එතූ තෑගි පෙට්ටියක් එක්වනම ස්ටෙෆනිගේ නෙත ගැටුණි. ඈ තෑගි පෙට්ටිය විවර කලේ වෙව්ලන අතැඟිලිවලිනි.

එතුල වූයේ උස් වීදුරු බුජමකි. එහි මුවවිට දක්වා පිරී තිබුණේ අලුත් රන් පැහැ වල්ගාතරුවලිනි.

“සාමයේ පණිවුඩය බෙදාගන්නට ඔබටත් පුළුවනි.” වීදුරු බුජම මත ඇල අකුරෙන් ලියැවී තිබුණි.

යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) 

බස්සීගේ නවාතැන https://bassigenawathana.blogspot.com/ බ්ලොග් අඩවිය  * අවසර ඇතිව උපුටා ගත්තකි .

ජීවන කතන්දර

ඔයිල් නැතිව ධාවනයේ

මම යුනයිටඩ් මෝටර්ස් එකට ගිහින් පොඩි කාලයයි. රජයේ නිළධාරීන් හට දෙන වාහන බලපත්‍රයට දෙන්න අපි ගෙනාවා Mitsubishi Lancer එකයි Montero Sport SUV එකයි!

මේ මොන්ටෙරෝ ස්පොර්ට්ස් එක කෙලින්ම ආවේ ජපානයෙන්. ඒකට තිබුනේ 4D56 ටර්බෝ ඩීසල් එන්ජිමක්. මැනුවල් ගියර් පෙට්ටියක්.

සාමාන්‍යයෙන් මිට්සුබිෂි වාහනවල පලමු සේවාව සිදුකරණ්නේ කිලෝමීටර 1000න්. එතැනදී එන්ජිමේ තෙලුයි ෆිල්ටරෙයි මාරු කරණවා. ආයෙත් එන්නේ 5000න්. එතැනදී මාරු කරණ්නේ තෙල් විතරයි. ආයෙත් 10,000න්. එතැනදී ආයෙත් තෙල් සමග ෆිල්ටරේ දෙකම මාරු කරණවා. මේ සර්විස් තුනට කිව්වේ Free services කියලා. ඒ සර්විස් වලදී ශ්‍රමයට අයකිරීමක් කලේ නෑ. අය කලේ තෙල් වලට හා ෆිල්ටර් ග්‍රීස් යනාදියට විතරයි. මේ සර්විස් තුන ආයතනයෙන් කර ගැනීම අනිවාර්ය අංගයක් උනා. වහනයේ පැවැත්ම පිළිබඳව දී ඇති සහතිකය පොරොන්දුව හෙවත් Warrantyය රඳා පවතින්නේ මේ සර්විස් තුනම ආයතනයෙන් සිදුකර ඇත්නම් පමණයි.

ඔය කියන කාලේ මිට්සුබිෂි වාහන බොහෝ සෙයින් බලපත්‍ර සඳහා අලෙවි උනාද කියනවා නම් අපට; එම වාහන සඳහා සේවවන් නියමිත දිනට කර ගෙන යන්නට නොහැකි තත්වයක් පැන නැග්ගා.ඉතින් මේ නිසාම අවම වශයෙන් දවසට එක් පාරිභෝගික බවතෙක් හරි අපට බනින එක අනිවාර්‍ය අංගයක් උනා.

දවසක්; ඔව් එදා සෙනසුරාදා දවසක උදේ මොන්ටෙරෝ ස්පොර්ට්ස්  දෙක තුනකුත් ලාන්සර් ඇතුළු තවත් රථ වාහන කිහිපයකුත් ලිහිසන සේවාව (Lubrication Service) සඳහා යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ හයිඩ්පාර්ක් ඒ කියන්නේ ප්‍රධාන ශාඛාවේ සේවා ස්ථානයට ඇවිත් තිබුනා.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයින් විවිධාකාරයි. ගෝලාකාර ලෝකේ මිනිස්සු කොහොමත් එහෙමයිනේ? ඒ අතර “අති  පණ්ඩිත” අය එහෙන් මෙහෙන් ඉඳීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ විශෙෂත්වය වන්නේ වටාපිටා ඉන්නා අනෙකුත් පාරිභෝගිකයින්ද ලං කරගෙන තෙල බෙදීම.

මම මේ කියන දවසේත් ඇඟ පුරා මොළේ තියෙන “මහත්තයෙකු” පැමිණ සිටියා. ඔහු පැමිණි වෙලාවේ ඉඳන්ම අපි සමග පොඩි ඇරියස් එකකින් ඉන්න බවක් තමයි පෙනුනේ. මෙම උන්නැහැ සේවාවට ආ සැනින් “ඔයාලගෙ තෙල් දාන්න එපා! මම මගේ වාහන වලට මම දාන්නේ “කැස්ට්‍රොල්” විතරයි! මම ගෙනල්ලා තියෙන්නේ පහේ කෑන් දෙකක්!” යැයි කියාගෙන කියාගෙන ගියා!

එසේම බොහෝ විට ඒවායේ තත්වය අතර මහා වෙනස් කමක් නෑ! ඒවන් මහා වෙනස් කමක් සහිතව තෙල් නිපදවූවහොත් ජාත්‍යන්තර වෙළෙඳපොල තුල පැවැත්මක්ද නෑ!

මේකට වඩාත් කිට්ටුම ගැලපෙන කථාවක් වරක් ළමා රෝග විශේෂඥ මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා මහතා රූපවාහිනී වැඩ සටහනකදී පැවසුවා. එදින එම වැඩසටහන ප්‍රචාරය වෙන වෙලාවේ කොයි ලෝකෙද මන්දා හිටපු අම්මා කෙනෙක් මේ දොස්තර මඬුල්ලෙන් අහපි “ඩොක්ටර් ඔය ඇන්කර් බිව්වාම සෙම වැඩියි නෙස්ප්‍රේ ලක්ස්ප්‍රේ බිව්වාම සෙම වැඩියි වගේ ඒවා වෙන්නේ කොහොමද කියලා?”

එතකොට මහාචාර්‍ය හරේන්ද්‍ර කිව්වේ “ඔය කොයි ගොං කිරත් ගන්නේ අං දෙකක් තියෙන කුර  හතරක් තියෙන වලිගයක් තියෙන හරකෙක්ගෙන් නම් ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද?” කියාය!

මේ ලෝකේ තියෙන බොහෝ එන්ජින් ලිහිසන තෙල් සඳහා මූලික තෙල්  Base oil  සැපයෙනේ සමාගම් කිහිපයකින්.

“සීයට සීයක්ම සියළු එන්ජින් තෙල් වර්ග සමානය!” කියන එක නම් නොවේ මේ කියන්නේ. 

කතාව ටිකක් එහේ මෙහේ උනානේ!

ඉතින් මේ මනුස්සයා / පාරිභෝගිකයා නැතහොත්  “මහත්තයා” එයා ගෙනාපු තෙල් ලීටර පහේ කෑන් දෙකත් අපිට උජාරුවෙන් පෙන්නලා; ඒ දෙක පැසෙන්ජර් පැත්තේ (ඉදිරිපස වම් පැත්තේ) බිමින් තියලා වාහනේ අපට භාර දුන්නා.

වාහනේ මට යතුර දුන්නේ වාහනේ ළඟදි! ඒකත් පොඩි පඬිවදනක් එක්ක!

“ඔයාලා මේකට දාලා නෑ! ඒත් මම හයි කරලා තියෙනවා ටර්බෝ ටයිමර් එකක්! ඩිලේ ෂට් ඩවුන් එකට!”

ටර්බෝ ටයිමරයක් යනු විශෙෂයෙන් වාහනයේ එන්ජිමට පිටතින් සවිකරණ කුඩා ඉලෙක්ට්‍රොනික් මෙවලමක්. මෙයින් කරණ්නේ දීර්ඝ ධාවනයකින් පසු එන්ජිම එකවර නවතා දැමීම වෙනුවන අකම් දිවුමේ Idle speed විනාඩි දෙකක් (වෙනස් විය හැක) පමණ කාලයක් පවත්වාගෙන ගොස් ස්ව්‍යංක්‍රීයව නවතා දැමීමයි. එහෙත් අප භාවිතාවේ ගනු ලබන සාමාන්‍ය පාවිච්චි කරණ වාහනවලට මේවා එන්නේ නැත!

එහෙත් මෙරට පවතින කුඩා ව්‍යාපාර කඩ මගින් මෙය වාහන හිමි කරුවන්ට හඳුන්වා දේ!

(හරියට වැලන්ටයින් මුදලාලිලා; වෙසක් කාලෙට වෙසක් මුදලාලිලා කරණවා වගේ!) මේ මුදලාලිලාගෙන්; “ඉතිං ඔය අටමගලෙ අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන මගුලක් නම් ඇයි වාහනේට කොම්පැනියෙම්ම හයි කරලා එන්නැත්තේ?” යැයි පෙරළා විමසූ විට ඊට ඔවුන් සතුව වඩාත් තක්කඩි වූත් තර්කාණුකූලවූත් පිළිතුරක් ඇත!

මේකනේ සර්! වාහනයක් ගත්තු කෙනා ඒක වැඩි කාලයක් පාවිච්චි කරණවට ඒ කොම්පැනි කැමතිද? නෑ නේ!? එයාලට ඕන වාහන ඉක්මනට කැඩෙන්න හදන්න! එතකොටයි එයාලගෙ බිස්නස් වැඩිවෙන්නේ!? අනික එතකොට එයාලගේ ස්පෙයා පාර්ට්ස් ටිකත් විකුණන්න පුළුවන්නේ!? අනික සර් මේවා හදන්නෙත් පිට රට ලොකුම කම්පැනීස් වලින්නේ! එයාලත් පරීක්ෂණ කරලනේ මේවා කරණ්නේ! නැතුව අපි හදන එකක් නෙවෙයිනේ?” කාල වරෙංකො.

මම කියාපු විදියේ ටර්බෝ ටයිමරයක් සවිකරගත් මොන්ටෙරෝ ස්පොර්ට්ස් රථය රැගෙන ආ මේ මහත්තයාට තවත්  ලොකු වැඩක් පැවරිලා තිබුනා ගෙදරින්ම පැවරුනු!

ඒක තමයි එතන හිටපු; සර්විස්සෙකට වාහන ගෙනාපු මහත්තුරු ටික අල්ලගෙන තෙල බෙදන එක! ඒ තෙල බෙදුවෙත් නිකංම නෙවෙයි! 

පොතේ ගුරු හෙවත් පූරක වගේ; එයාගේ මොන්ටෙරෝ ස්පෝර්ට්ස් වාහනේ Owner’s Manual පොතත් දිග ඇරගෙන ඒක පෙන්න පෙන්න.

ඒ වෙන කොට පලමුව හා පොරොත්තු ලේඛණයට අනුව ආපු වාහන හතරක් හොයිස්ට් වලට දාලා උස්සලා තෙල් ඇරලයි තිබුනේ!

අර කලින් කියපු පාරිභෝගික භවතාගේ ප්‍රචාරණය, දිරි ගැන්වීම හා උසිගැන්වීම කෙතරම් ඉහළ මට්ටමක පැවතුනාදැයි කිවහිත් හොයිස්ට් වල තිබුනු වාහන අයිති මහත්වරුත් ඇවිත් “ඔයාලාගේ තෙල් දාන්න එපා! අපි කැස්ට්‍රොල් අරං එන්නං!” කියලා සර්විස් එකෙන් පිටත් උනා.

පස්සෙදි හිතුනා එහෙම වුනු එකත් හොඳා කියලා! කැස්ට්‍රෝල් තෙල් තිබ්බේ මුත්තයියා පාර පටන් ගන්න තැන තියෙන අශෝකගේ මෝටර්කේඩ් කඩේ!

ඒක අරින කොට තව පැය භාගයක්වත් යයි! මොන කරුමයක්ද මේ!?

කියන්න ඕන නෑනේ මට ඉතිං මල් යායයි!

හොයිස්ට් වල වැඩ කරණ එවුං මගේ ලඟට ඇවිත් එක ආරෝව!

“අර අර යකා තමයි ඔක්කොම කරණ්නේ!” කට්ටිය මට කියනවා.

මුළු සර්විස් එකම නැවතිලා!

මේ වෙන කොට ඒ පණ්ඩිත මහත්තයාගේ වාහනේ විතරයි වැඩේ යන්නේ! ඇයි එයා තෙල් ගෙනල්ලනේ!?

එයාගේ වාහනේ සර්විස් එක කලේ අපේ බොහොම ආදරණීය සේවක මිත්‍රයෙක් වන “කලූ” හෙවත් ධනුෂ්ක.

කැළණි පාලම යට වත්තක පේලි ගේකින් ආවත් හරි කීකරු කොල්ලෙක්! ඒ වගේම අන්තිම විශ්වාසවන්ත එකෙක්.  අවංක විශ්වාසනීය ආදරණීය සේවකයෙක් මට හිටපු. (අදටත් හිටපු ගමන් කෝල් කරණවා ඌ!)

ඌ වගේම තවත් එකෙක් වැඩකලා වනාතෙ එකෙක් ෆ්‍රෙඩී කියලා!

උං අපිට හෙන භක්තිය!

මම කිව්වොත් ඕන දෙයක්!.

හැබැයි ඒ බයට නෙවේ – බොක්කට!

ඉතිං කලූ වැඩේ පටන්ගන්න කොටම අර පඬිතුමා එතැනට ගියා!

“හා! හා!!  එහෙම නෙවෙයි!, ඔහොමද කරණ්නේ? මොනවද මේ ටූල්ස්? කවුරුවත් මේවා බලන්නේ නැත්ද?” මේ වගේ විකාර ලෝකයක්!

කලූ මට ඇවිත් කිව්වා “අර මහත්තයාව කස්ටමර් කාමරෙන් වාඩිකරලා තියන්නකො! එයා වැඩේ කරණ්න දෙන්නේ නෑනේ!?” කියලා.

“ශෙප් එකේ ඌ කියන දෙයක් කරලා ඔය වාහනේ ඉවර කරලා දාපං බං මොනවා කරණ්නද?” මම කලූට උත්තර දුන්නා.

මම යුනයිටඩ් මෝටර්ස් ගිය කාලයේ සේවය කලේ මම පුහුණු උනේ විජිත මහත්තයා යටතේ! විජිත කියන්නේ නොම්මර එකේම වැඩ්ඩෙක් ලොක්කන්ට ගොටු අල්ලන්නට නොගිය! ඒ නිසාම ඔහුට නිසි අගැයීමක් ලැබුනේ නෑ. මගේ බුදු ෆිට් එක! අපි දෙන්නා බොහෝම කාලයක් කිසි අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව එකට වැඩකලා!

එයාගේ තිබුනා හරි අපූරු න්‍යායක්!

ඒක තමයි “කරදර කාරයාව ඉස්සෙල්ලාම යවන්න ඕන !” කියන එක.

එයාගේ භාෂාවෙන් කියනවා නං “කරදර කාරයෝ තියාගත්තාම අපිට කරදරයි! ඒ හින්දා එයාගේ වැඩේ ඉක්මනට ඉවර කරලා එලියට දැම්මාම අපිට කරදරයක් නැතිව වැඩටික කරගන්න පුළුවන් නිවිහැනහිල්ලේ!”

අපි හුඟක් අය කරන්නේ ඕකේ අනිත් පැත්ත!

අපිත් බලනවා ගේමට ගේම දෙන්න!

පලිගන්න!

එකට එක කරණ්න!

ඉතින් මමත් බැලුවේ මේ “යකාව” ඉක්මණට එළියට දාගන්නේ කොහොමද කියලා. 

අපේ සර්විස් එක වැඩකලේ අංශ තුනක් විදියට.

පලමුව වාහනයේ තෙල් වතුර මාරු කරලා ග්‍රීස් ගහලා ටයර් මාරු කරලා දානවා  යට හෝදන්න! අන්තිමට බොඩිය හෝදලා පිසදා අවසන් කරනවා!

සාමන්‍යයෙන් වාහනයක සර්විස් එක ඒකියන්නේ එන්ජින් එකේ සහ අනෙකුත් උපාංගවල තෙල් මාරුකරලා ග්‍රීස් කාරිය ගහලා එලියට දාන්න යන වෙලාව පැය භාගයක් විනාඩි 45ක් යනවා. 

දැං මේ වාහනේ පැය එක හමාරකටත් වඩා වැඩියි. වාහනේ යට ඉඳන් පෙරකී පාරිභෝගික භවතා කලූට “අරක කරපං! මේක කරපං!! ඔහොම නෙවේ මෙහෙම!!!” කිය කියා වාහනේ යට! නිකං නෙවේ අර පොතත් දිග ඇරගෙන!

තවත් ටික වේලාවකින් “කලූ” ඇවිත් වීදුරුවෙ එහා පැත්තෙන් ඇවිත් අතින් කිව්වා වැඩේ ඉවරයි කියලා. මමත් එළියට ගිහිං වාහනේට නැග්ගා. 

තැඹිළි පාට කැස්ට්‍රෝල් හිස් කෑන් දෙක මුලින් තිබුනු තැනම දිළිහි දිළිහි තිබුනා! නැගලා වාහනේ ස්ටාර්ට් කලා. ඩීසල් ටර්බෝ චාර්ජ් එන්ජිම රුං ගාලා වැඩ. හොයිස්ට් එකෙන් රිවර්ස් කරලා වාහනේ අරං අන්ඩර් වොෂ් බේ එකට දාන්න ඉස්සරහට ගත්තා.

අපේ යට හෝදන තැන Under Carriage Washing Bay සහ සර්විස් කරණ තැන තිබුනේ එකිනෙකට ලම්භකව. ඒ නිසාම සර්විස් එකේ තියෙන වාහනයක් යට හෝදන තැනට දාන්න රිවර්ස් කරන්න වෙනවා. ඒ කරලා තමයි ආපහු ඉදිරියට ධාවනය කරලා යට හෝදන තැනට එකට දාන්නේ.

ඉතින් මේ වාහනේ මම රිවර්ස් එකට අරං නවත්වනවා එක්කම අර කැස්ට්‍රෝල් කෑන් දෙකෙන් එකක් පෙරළුනා. 

අවුලක් නෑ මම ඒක වාහනය පදවන ගමන්ම කෙලින් කරලා ඉද්‍රිපස ආසනයට කිට්ටු කරලා තිබ්බා ආයෙමත් පෙරලෙන්නේ නැතිව.

ඒක නොපෙරලෙන්න හදන කොටම මට තේරුණා ඒ තෙල් භාජනේ නැතිනම් ඔයිල් කෑන් එක ඇතුලෙ තෙල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා!

“හරි මේ වාහනේ එන්ජිමට අල්ලන්නේ ලීයර 7ක් විතරනේ. මෙ ඉතුරු ටික වෙන්න ඇති” මගේ හිත මට කිව්වා!

මම වාහනේ ඉදිරියට අරං යට හෝදන තැනට දාලා නවත්වන කොටම අනිත් කෑන් එකත් පෙරළුනා!

මම ඒ ගමන ඒකත් කෙලින් කලා!

හුටා! එකෙත් ඔයිල්!

“මෙහෙම වෙන්නේ කොහොමද අනිවාර්‍යයෙන්ම එක කෑන් එකක් හිස් වෙන්නම ඕන!” මගේ හිත මට කිව්වා!

වෙන්න පුළුවන් දේවල් දෙකයි!

එක්කෝ මේ මගුලට දාලා තියෙන්නේ මේ මනුස්සයා ගෙනාපු කැස්ට්‍රෝල් වෙනුවට අපේ වැල්වොලීන්!

එහෙම නැත්නම් මේ වාහනේට තෙල් දාලාම නෑ!

උදේ පාන්දරම මට දාඩිය දාන්නට ගත්තා දොළහට වගේ! කොන්ද අග්ගිස්සෙන් පටන් ගත්තු හිරි වැටීම නැවතුනේ හිස් මුදුනින්!

වහාම මම එන්ජිම නිවා දමන්නට ඉග්නීශන් යතුර ආපසු කර කැව්ව්!

අනේ අපරාදෙ කියන්න බෑ එන්ජිම සුපිරියටම “මට නෙවෙයි වගේ” දුවනවා! ඇයි අර පඬිතුමා මදි පාඩුවට මේ මගුලට ටර්බෝ ටයිමරයකුත් හයි කරලානේ!

මම ඒක්ෂණයෙන් ගියර් එක පහට දාලා බ්‍රේක් එක පාග ගෙනම ක්ල්ච් එක අත ඇරියා.

වාහනේ කීකරු කමට නැවතුනා!

මම වාහනෙන් බැස්ස ගමන් ගියා කලූ ගාවට!

“තෝ මොන තෙල්ද අර XXXට දැම්මේ?

“අම්මට හුඩු ඔයිල් දාන්න බැරි උනානේ! අර යකා ඇවිත් මගේ ඔළුව කාලා මට ඔයිල් දාන්න බැරි උනානේ ලොක්කා!”

කලූ සුදුමැළි වෙලා උත්තර දුන්නා. 

“මගුලයි! උඹ කට වහගෙන උඹේ වැඩක් කරහං කෝ!”

ඒ කාලේ අපේ සර්විස් එකේ හෙඩ් බාස් වගේ හිටියේ මෛත්‍රී කියලා වයසක පහේ කෙනෙක්.

මිනිහා සූරයා!

එතකොට අපේ ඔයිල් ඉස්ටෝරුවේ තෙල් පෙරේරාත් එතන.

“මෛත්‍රී මගුලයි! කලූට අර මොන්ටෙරෝ ස්පොර්ට් එකට ඔයිල් දාන්න අමතක වෙලා!” මම මෛත්‍රීට වැඩේ කිව්වා!

“කෝ දැන් තෙල් ටික?” මෛත්‍රී ඇහුවේ නළල රැලි කරගෙනම.

“වාහනේ ඉස්සරහ වම් පැත්තේ!”

“හරි ඔයා කොහොම හරි ඔය යකාව විනාඩි පහකට ඔතනින් එහාට යවන්න; මම මොනවා හරි කරණ්නම්!” මෛත්‍රී සහතිකයක් දුන්නා.

මෛත්‍රී  අඩියට දෙකට වාහනය ළඟට ගියා.

එතන ඉන්නේ සිවා.

මෛත්‍රී සිවාට මොකක්දෝ කණට කරලා කිව්වා!

සිවා එයාගේ ලතාවට යන ගමනෙන් පැද්දි පැද්දී වැසිකිළිය පැත්තට ගියා!

දැන් මගේ අතෙයි වැඩේ තියෙන්නේ!

මම තත්පර දහයට බිල වැහුවා.

“සර්! මේක ගෙවලා එනවද?”

“මම වැඩේ ඉවර උනාම ගෙවන්නම්!” මේ මනුස්සයා කියපි!

“සර් කැෂියර් යනවා කිව්වා පොඩ්ඩක් උඩ ෆයිනෑන්ස් එකේ සේෆ් එක අරින්න! පොඩ්ඩක් වෙලා යයි එන කොට; මට කෝල් කරලා කිව්වා ඔයිල්, ඔයිල් ෆිල්ටර් අරණ් තියෙන වාහන වල බිල් වහලා ඉක්මනට එවන්න කියලා!”

පාරිභෝගිකයාට වාහනයෙන් කැමැත්තෙන් උවද ඈත්වන්නට ඈත් වෙන්න උනා. 

හයිඩ් පාර්ක් සර්විස් එකට වෙනම මුදල් අයකැමි කෙනෙක් අදටත් නෑ මම හිතන්නේ. එයා ඉන්නේ අමතර කොටස් අංශයේ පසුපස.

එතැනට සර්විස් එකේ ඉඳලා යන්න තිබුනේ පටු කොරිඩෝවකින් ගිහින් දෙපාරක් හැරිලා.

ඒක්ෂණයෙන් කැශියර් එකේ හිටපු මහින්ද මල්ලිට මම කෝල් එකක් ගත්තා!

“යකෝ ඔය එන සුදු පාට ටීෂර්ට් කාරයාව විනාඩි පහක් පරක්කු කරලා ඒවපං! මම ඌට කියලා තියෙන්නේ තව ටිකකින් උඹ ඔතනින් යනවා කියලා!”

විනාඩි හතක් අටක් ගත වෙන විට මහතා ප්‍රානීභූත වෙන කොට මෛත්‍රී මෙහෙයුම අවසන් කර තිබුනි!

තවත් පැය භාගයක් පමණ යන විට වාහනයේ සියළු වැඩ අවසන් උනා!

අපි දිහා බලන්නෙවත් නැතුව වාහනය අරන් යන්නට  මහත්තයා ගියා. ආපහු වාහනෙන් බැස්ස ඔහු කලූ ළඟට ගියා!

මොහොතකින් යන්නම ගියා!

මම කලූ ළඟට ගියේ විදුලි වේගෙන්!

මොකෝ උනේ?

“මොනව වෙන්නද මේ යකාගේ බර බරේට මට කරන වැඩ ටික කවලං උනා! ඇයි පිළිවෙලකට කරණ්න දුන්නේ නැහැනේ!”

“ඉතිං?”

“ඉතිං මුකුත් නෑ! ‘තමුසෙ විතරයි මෙතන හරියට වැඩක් කරණ එකෙක් ඉන්නේ!’ කියලා මට ඔය රුපියල් විස්සකුත් දීල ගියේ!” කලූ හිනා වෙවී කිව්වා!  

මංජුල ශ්‍රීනාත් පෙරේරා

තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .

පරිවර්තිත කෙටිකතාව

යුදට ගිය පුතු

රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියෙන් රෝමයේ සිට පිටත් වූ මගීන්ට ෆබ්රියානෝ හි පිහිටි කුඩා දුම්රිය පොළක අලුයම වනතුරු රැඳී සිටීමට සිදුවූයේ ප්‍රධාන දුම්රිය මාර්ගය සුල්මෝනා තෙක් සම්බන්ධ කළ මාර්ගයෙහි ධාවනය වන කුඩා, පැරණි පන්නයේ ප්‍රාදේශීය දුම්රිය පැමිණෙන තුරුය.

අලුයම උදාවූ විට, මිනිසුන් පස් දෙනෙකු රාත්‍රිය ගත කරනු ලැබූ දුමින් පිරුණු තද බද වූ දෙවැනි පන්තියේ දුම්රිය මැදිරියට , අවමංගල්‍යයකදී අඳින කලු ඇඳුමෙන් සැරසුණු තරබාරු කාන්තාවක කිසිදු හැඩයකින් තොර බර පොදියක් මෙන් ඔසවා තබනු ලැබුවාය. නහයෙන් පිඹිමින් සහ කෙඳිරි ගාමින් ඇගේ ස්වාමි පුරුෂයා ඈ පසුපසින් මැදිරියට ගොඩවූයේය. දුර්වල,කෙට්ටු, කුඩා මිනිසෙකු වූ ඔහුගේ මුහුණ මළ මිනියක් මෙන් සුදුමැළි වූ අතර ඔහුගේ කුඩා දීප්තිමත් දෑ‍සෙහි ලජ්ජාශීලීබවක්ද අසහනයට පත් බවක්ද දක්නට ලැබිණි.

අවසානයේදී අසුනක හිඳගත් හෙතෙම සිය බිරියට දුම්රියට ගොඩවන්නට උදව් කොට ඇයට වාඩිවීමට ඉඩ සාදා දුන් මගීන්ට විනීත ලෙස ස්තූති කළේය. ඉන් අනතුරුව සිය බිරිය දෙසට හැරුණු ඔහු ඇයගේ කබායේ කොලරය පහත් කරන්නට වෑයම් කරමින් “ ඔයා හොඳින් නේද? ”යි ආචාරශීලී ලෙස ඇගෙන් ප්‍රශ්න කළේය.

ඔහුගේ බිරිය ඊට පිළිතුරු දෙනු වෙනුවට කළේ සිය මුහුණ සඟවා ගන්නට මෙන් කබායේ කොලරය දෑස තෙක් ඔසවා‍ ගැනීමය.

“මහ නපුරු ලෝකයක්”. ඇගේ සැමියා ශෝකී සිනහවකින් තොල් මතුළේය.

තමන් දෙදෙනාගේ මුළු ජීවිතයම කැපකොට හදා වඩාගත් විසි හැවිරිදි යෞවනයකු වූ  සිය එකම පුතා යුද්ධය විසින් පැහැරගනු ලැබීමට යෑම ගැන මේ අසරණ ගැහැනියට අනුකම්පා කළයුතු වග දුම්රිය මැදිරියේ සිටි ගමන් සගයන්ට පැහැදිලි කර දීම සිය යුතුකම බව ඔහු සිතුවේය. වෙනකක් තබා ශිෂ්‍යයකු ලෙස ඔහු රෝමයට යන විට ඒ සමග යෑමට සුල්මෝනාවෙහි වූ සිය නිවෙසද ඔවුන් අත්හැර දමා තිබිණි.අඩුම වශයෙන් සය මසක් යනතුරුවත් යුද පෙරමුණට නොයවන්නේය යන සහතිකය මත ඔහුට ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳීමටද ඔවුන් අවසර දී තිබිණි. දැන්, හදිසියේම, දින තුනකින් ඔහු යුද පෙරමුණට යවන බවත් ඊට පෙර ඔහු බැහැදැක ඔහුට ආයුබෝවන් කියන ලෙසත් දන්වා ඔවුන්ට විදුලි පුවතක් ලැබී තිබුණේය.

සිය විසල් කබාය ඇතුළත ඇඹරෙමින් සිටි ඇය විටින් විට කැලෑ සතෙකු මෙන් ගෙරවූවා, මේ කවර කරුණු පැහැදිලි කරදීමකින්වත් මැදිරියේ හුන් මිනිසුන් -‍බොහෝවිට තමාගේ ඉරණමටම මුහු‍ණ පා සිටි ඒ මිනිසුන්- තුළ අනුකම්පාවේ ඡායා මාත්‍රයක් වත් ජනිත නොකරන බව නිශ්චිත වශයෙන්ම දැන සිටියාය. ඔවුන් අතර සිට මේ කතාවට විශේෂ අවධානයක් දක්වමින් අසා සිටි අයෙක් කතා කළේය :

“ඔහේලගේ පුතා දැන් යුද පෙරමුණට යවන එක ගැන ඔහේලා දෙවියන්වහන්සේට ස්තූති කරන්න ඕනෑ. මගේ පුතාව යුද පෙරමුණට යැව්වේ යුද්දෙ පටන් ගත්තු පළමුවැනි දවසෙමයි. එයා තුවාල ලබලා දෙපාරක් ආපහු ආවා. දැන් ආයෙමත් යුද පෙරමුණට යවලා.”

“මගේ පුත්තු දෙන්නෙකුයි බෑණලා තුන්දෙනෙකුයි යුද පෙරමුණේ ඉන්නවා.” තවෙකෙක් කීය.

“වෙන්න පුළුවන්. ඒත් මේ අපේ එකම පුතා.” කාන්තාවගේ සැමියා කීවේය.

“මොකක්ද ඒකේ ඇති වෙනස. ඔහේලගේ එකම පුතාට ඕනැවට වඩා ආදරය පාලා එයාව නරක් කරන්න පුළුවන්. ඒත් ඔහේලට තව ළමයි හිටියා නම් ඒ අයට වඩා මේ පුතාට ආදරය කරන්න ඔහේට බෑ. තාත්තා කෙනෙකුගේ ආදරය කියන එක පාන් ගෙඩියක් වගේ එක සමාන කෑලිවලට කඩලා ළමයි අතරෙ බෙදලා දෙන්න බෑ. ළමයි එක්කෙනෙක් නෙවෙයි දහ දෙනෙක් හිටියත් තාත්තා කෙනෙක් කිසිම වෙනසක් ක‍රන්නේ නැතිව තමන්ගේ හැම ළමයෙකුටම තමන්ගේ සම්පූර්ණ ආදරයම දෙනවා.  දැන් මම මගේ පුත්තු දෙන්නා‍ ගැන හිතලා විඳවනවා නම් මගේ ඒ විඳවීම බාගෙ බාගෙ ඒ දෙන්නා අතර බෙදිලා යන්නේ නෑ. මගේ විඳවීම දෙගුණයක් වෙනවා විතරයි….”

“ ඇත්ත…. ඇත්ත….” ලැජ්ජාවට පත් ස්වාමි පුරුෂයා සුසුම් හෙලමින් කීවේය. ඒත් හිතලා බලන්න (ඔහේට නම් එහෙම දෙයක් හීනෙන්වත් සිද්ද වෙන්න එපා) තාත්තා කෙනෙකුගේ පුත්තු දෙන්නෙක් යුද පෙරමුණේ සටන් කරනවා. එයින් එක්කෙනෙක් මැරුණත් තාත්තව සනසවන්න තව කෙනෙක් ඉතිරි වෙනවා. ඒත් අපට….”

“ඔව්,” අනෙකා පිළිතුරු දුන්නේ මඳක් කෝපයෙනි. “ ඔව් සැනසීම ලබන්න එක පුතෙක් ඉතිරි වෙනවා තමයි. ඒත් අනෙක් පුතාගේ මරණය ගැන හිතලා ජීවිතය තියෙනකම්ම දුක් විඳින්න වෙනවා. එක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් ගත්තහම පුතා මැරුණොත් තාත්තටත් දුක් නොවිඳ ඒ මත්තෙම මැරෙන්න පුළුවන්. මේ දෙකෙන් වඩා නරක තත්ත්වය කොයිකද? ඔහේට පේන්නෙ නැත්ද මගේ තත්ත්වය ඔහේගෙ තත්ත්වයට වඩා නරක බව ?”

“විකාර,” තවත් මගියෙක් ඔවුන්ගේ කතාවට බාධා කළේය. රතු පැහැති මුහුණක් සහිත තරබාරු මිනිසෙකු වූ ඔහුගේ ලා අළු පැහැති දෙනෙත රතු වී තිබිණි.

ඔහු හති දමමින් සිටියේය. ඔහුගේ දුර්වල සිරුරට දරා ගත නොහැකි තරමේ පාලනය කළ නොහැකි ජීවගුණයකින් උපන් අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයක් ඔහුගේ නෙරා ගිය දෙනෙතින් නික්මෙන බවක් පෙනෙන්නට තිබිණි.

ඉදිරිපස වැටුණු දත් දෙක ‍නොපෙන්වන්නට මෙන් දෑතින් සිය මුව වසාගන්නට තැත් කරමින් “ විකාර,” යැයි ඔහු යළිත් කීවේය. “විකාර. අපි ළමයින්ට ජීවිතය දෙන්නේ අපිට පෞද්ගලික වාසියක් ලබා ගන්නද?”

අනෙක් මගීහූ ඔහු දෙස සංවේගයෙන් යුතුව බලා සිටියහ. යුද්ධය ඇරඹුණු දා පටන් සිය පුතා යුද පෙරමුණෙහි සිටින තැනැත්තා සුසුමක් හෙළීය: “ ඔහේ හරි. අපේ ළමයින් අපට අයිති නෑ. ඒ අය අයිති අපේ රටටයි….”

“බම්බුව,” තරබාරු මගියා කඩා පැන්නේය. “ අපි ළමයින්ට ජීවිතය දෙන කොට රට ගැන හිතනවද? අපේ පුත්තු උප‍දින්නේ…. අපේ පුත්තු උපදින්නේ ඒ අය උපදින්න අවශ්‍ය නිසා. මේ ලෝකෙට එනකොට අපේ ජීවිතත් අරගෙනයි ඒ අය එන්නේ. මේකයි ඇත්ත කතාව. අපි ඒ අයට අයිති වුණාට ඒ ගොල්ලො කවදාවත් අපිට අයිති නෑ. ඒ ගොල්ලන්ට අවුරුදු විස්ස වෙනකොට ඒ අය හරියටම ඒ වයසෙදි අපි හිටිය වගේමයි.  අපටත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා තමයි. ඒත් ඒ හැර තවත් කොච්චර නම් දේවල් තිබුණද ? ගෑනු ළමයි, සිගරැට්, හීන, අලුත් ටයි පටි… එතකොට අපේ රට. අපිට අවුරුදු විස්ස කාලෙදී කවුරු කියන එකද අපි අහන්නේ ? දෙමවුපි‍යන් එපා කිව්වත් කාගේ අඬගැහිල්ලටද අපි ඇහුම්කන් දෙන්නේ ? දැන් මේ වයසෙදි වුණත් අපි අපේ රටට කොච්චර ආදරය කරනවද ? හැබැයි ළමයින්ට තියෙන ආදරය ඊට වඩා වැඩියි. තමන්ට පුළුවන්කම තියෙනවා නම් බොහෝම සතුටින් යුද පෙරමුණේ ඉන්න තමන්ගෙ දරුවගෙ තැන ගන්න ඉදිරිපත් නොවන කෙනෙක් මෙතැන ඉන්නවද?”

හාත්පස වූයේ නිහඬබවකි. සියලු දෙනාම ඒ කතාව අනුමත කරන්නට මෙන් හිස් සැලූහ.

තරබාරු මිනිසා දිගටම කතා කරන්නට විය: “ ඇයි එහෙමනම් අපි අපේ අවුරුදු විස්සේ දරුවන්ගේ හැඟීම් ගැන නොසලකා ඉන්නේ?  ඒ වයසෙදි ,  ඒ අය අපට තියෙන ආදරයට වඩා ආදරයක් රටට තියෙන බව සැලකීම ස්වභාවික දෙයක් නෙවෙයිද ? (මං මේ කතා කරන්නේ වැදගත් තරුණ ළමයි ගැනයි.) මොනවත් කර ගන්න බැරි නිසා ගෙදරට වෙලා ඉන්න ඕනෑ මහල්ලන් හැටියට අවසානයේදී ඒ අය අපි දිහා බලන එක ස්වභාවික දෙයක් නෙවෙයිද මං අහන්නේ ? මාතෘ භූමිය කියලා දෙයක් පවතිනවා නම්, මාතෘ භූමිය කියන්නේ සාගින්නෙන් නොමැරී ඉන්න කෑමට ගන්න ඕනෑ පාන් වගේ ස්වභාවික අවශ්‍යතාවයක් නම්,  කවුරු හරි ඒක ආරක්ෂා කරගන්න පෙරමුණට යන්න ඕනෑ. ඉතින් අපේ පුත්තු අවුරුදු විස්සෙදි ඒ වැඩේට යනවා.ඒ අයට අපේ කඳුළු දකින්න වුවමනාවක් නෑ. මොකද ඒ අය මැරුණත් මැරෙන්නේ සතුටෙන්, අභිමානයෙන්. (මං මේ කතා කරන්නේ වැදගත් තරුණ ළමයි ගැනයි.) කවුරුහරි කෙනෙක් තරුණයෙක්ව ඉන්දැද්දී ජීවිතයේ අවලස්සණ පැත්ත දකින්නේ නැතිව, ජීවිතයේ නීරස බව විඳින්නේ නැතිව, යථාර්ථයේ කටුකබව, සුළු බව දකින්නේ නැතිව සතුටෙන් මැරෙනවා නම් ඒ කෙනා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රාර්ථනා කරන්න ඕනෑ මොකක්ද ? හැමෝම අඬන එක නවත්වන්න ඕනෑ. මං වගේ හැමෝම හිනාවෙලා ඉන්න ඕනෑ.  මං වගේ…. දෙවියන්වහන්සේට ස්තූති වෙන්න ඕනෑ …. මොකද මගේ පුතා මැරෙන්න කලින් මට පණිවිඩයක් එව්වා එයා මැරෙන්නේ සතුටින්ය, තමන් බලාපොරොත්තු වෙච්චි හොඳම විදියට ජීවිතය ගෙවා අවසන් කරලය කියලා. ඒ හින්දා තමයි, ඔහේලට පේනවා ඇති, මං අවමංගල්‍ය ඇඳුම්වත් අඳින්නේ නැත්තේ….”

ඔහු සිය පඬුවන් පැහැති සැහැල්ලු කබාය ගසා දැම්මේ එය පෙන්වන්නට මෙනි. වැටුණු දත්වලට උඩින් වූ ඔහුගේ සුදුමැළි දෙතොල සැලිණි. ඔහුගේ දෑස තෙත්වී තිබුණු අතර ඒවා නිශ්චල වූයේය. ඉකිබිඳුමක් විය හැකිව තිබූ කෙටි උච්ඡස්වර සිනහවකින් ඔහු කතාව අවසන් කළේය.

“ඒක තමයි…. ඒක තමයි….” කියමින් සෙස්සෝ ඔහු හා එකඟ වූහ.

සිය කබාය තුළ ගුලිවී මැදිරියේ මුල්ලක වාඩිවී මේ කතාබහ අසා සිටි කාන්තාව, තමා ඇතුළත වූ ගැඹුරු ශෝකය තුනී කර ගන්නටත්, මරණයට නොව ජීවිතයට අනතුරක් විය හැකි දෙයක් වෙත පවා සිය පුතු යවන්නට අම්මා කෙනෙකු හිත හදාගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන්නටත් සමත්  යමක් සොයා ගැනීමේ අරමුණෙන් පසුගිය තුන් මස තිස්සේම සිය සැමියාගේ සහ සිය මිතුරියන්ගේ වචනවලට සවන් දුන්නාය. එහෙත් ඇය ඇසූ වචන බොහෝ ගණනක් තුළ එවන් යමක් ඇයට හමු නොවූ අතර ඇය සිතූ ආකාරයට, කිසිවෙකුත් ඇය‍ගේ හැඟීම් වටහා ගෙන බෙදා හදාගත් ‍නොගත් හෙයින්  ඇයගේ වේදනාව දෙගුණ තෙගුණ විය.

එහෙත් දැන් මේ මගියාගේ වචන ඇය විස්මයට පත්කොට තෝන්තු ස්වභාවයකට පත් කළේය. තමා වටහා ගන්නට අසමත් වී ඇත්තේද වැරදි වැටහීමක පිහිටා සිටින්නේද අනුන් නොව සිය පුතුන්ගේ නික්ම යෑම පමණක් නොව ඔවුන්ගේ මරණය විෂයෙහි පවා නොසැලී  සිටින දෙමවුපියවරුන්ගේ තත්ත්වයට නැගී සිටිය නොහැකි තමාම බව ඇයට හදිසියේම වැටහිණි.

ප්‍රීතියෙන් යුතුව සහ කිසිදු පසුතැවිල්ලකින් තොරව සිය මවුබිම සහ රජතුමා වෙනුවෙන් සිය පුතු වීරයකු මෙන් දිවිදුන් අයුරු තරබාරු මිනිසා සිය ගමන් සගයන්ට විස්තර සහිතව පවසන විට ඊට මහත් අවධානයෙන් යුතුව ඇහුම්කන් දීමට වෑයම් කරමින්  ඕ සිය හිස ඔසවා හිඳ සිටි මුල්ලෙන් මෑත් වූවාය. තමා සිහිනෙන් වත් අපේක්ෂා නොකළ ලොවකට, තමා මෙතෙක් කලක් දැන නොසිටි ලොවකට ඇය ප්‍රවේශ වූ බවක් පෙනිණි.  සිය දරුවාගේ මරණය ගැන හැඟීම් විරහිත අයෙකු මෙන් කතා කිරීමට හැකියාවක් ඇති ඒ නිර්භීත පියාට ප්‍රශංසා කිරීම සඳහා සියලු දෙනාම එක්වනු ඇය සතුටෙන් යුතුව අසා සිටියාය.

එහෙත් හදිසියේම, මෙතෙක් වේලා කතාබහ කෙරුණු දේ තමාට නොඇසුණාක් මෙන්ද සිහිනයකින් අවදි වූවාක් මෙන්ද ඇය එක්වරම ඔහු දෙසට හැරී ප්‍රශ්නයක් නැගුවාය.

“එතකොට …. ඔහේගෙ පුතා ඇත්තටම මැරිලද ?”

සියලු දෙනාම ඇය දෙස බලා සිටින්නට වූහ. ඉදිරියට නෙරා ගිය, අධික ලෙස තෙත් වූ, ලා අළු පැහැති දෑස ඇයගේ මුහුණ වෙත රඳවා ගෙන තරබාරු මහලු මිනිසාද ඇය දෙස බලා සිටියේය.  ඊට පිළිතුරක් දෙන්නට ඔහු වෑයමක් දැරුවද ඔහුගේ මුවට වචන ගලා ආවේ නැත. ඔහු ඇය දෙස දිගින් දිගටම බලා සිටින්නට වූ අතර මේ මුග්ධ, නොගැළපෙන ප්‍රශ්නය කරණ කොට ගෙන, අවසානයේදී සිය පුතු සැබැවින්ම මිය ගොස් ඇති බවත්, යළි නොඑන්නටම පිටව ගොස් ඇති බවත් එක්වරම ඔහුට වැටහිණි.  ඔහුගේ මුහුණ හැකිළී ඇදවී විරූප විය.  සාක්කුවෙන් වහා ලේන්සුවක් ඇද ගත් හෙතෙම සියලු දෙනාම විස්මයට පත් කරමින්, ළය පැලී යන තරම් වූ ශෝකයෙන් යුතුව අස්වසාලිය නොහැකි ලෙස ඉකිබිඳිමින් හඬන්නට වන්නේය. 

Luigi Pirandello (1867-1936)

නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *