
ජනපතිගේ ආපදා ක්‍රියාන්විතය.
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩා විඳි රටවැසියන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලමින් ජීවිත යළි නඟා සිටුවීමට රටම වෙහෙසුණු සතියක් ගෙවී ගියේය. සියලු පළාත් හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරණය කරමින් සැලසුම් සකස් කළ ජනාධිපති අනුර ඊට රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන් උපදෙස්, අදහස් හා අත්දැකීම් යොදා ගත්තේය. එසේම ජනපතිවරයා දෙස් විදෙස් ආයතන හා සංවිධානවල ආධාර උපකාර ලබා ගැනීමට තවත් මෙහෙයුමක් ආරම්භ කළේය. කාලගුණය නරක අතට හැරීගෙන එන විට අනුර ජාතික ආපදා කළමනාකරණ සභාව ආරක්ෂක අමාත්‍යාංශයේදී කැඳවීය. අගමැති හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත්, අනුර කරුණාතිලක, සුසිල් රණසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරු, නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ. උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල්ව විමසා බැලීය. ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණ, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඒ වන විට ලබාදී තිබූ උපදෙස් ක්‍රියාත්මක කිරීම, එහිදී මතුව ඇති ගැටලු සහ ඊට ලබාගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එමෙන්ම වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය. විශාල ජල කඳක් ඒකරාශි වීමෙන් වැව් බැමිවලට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි අධික පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඔහු කීවේය. මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ගන්නා ලෙසට උපදෙස් දුන් අනුර ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසීය.
ජනපති අනුර ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ සාකච්ඡාවක් කැඳවා නැවත පක්ෂ විපක්ෂ මහජන නියෝජිත පිරිසක් හමුවිය. හරිනි, සජිත් ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනපතිවරයා අදහස් විමසීය. මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂමව කටයුතු කරමු’යි අනුර කීවේය.
මේ අතර, සූම් තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ සාකච්ඡා කළ ජනපති ආපදා සහන සේවාවන්ට රුපියල් බිලියන 1.2ක් වෙන්කර තිබෙන බව කීවේය. 2025 අය-වැයෙන්ද තවත් රුපියල් බිලියන 30ක් හදිසි අවශ්‍යතාවලට වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක් කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ජනතාව මුදාගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය. මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් අනුර අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කඳවුරුවල පාලනය යුද හමුදාවට භාර දෙන ලෙසට උපදෙස් දුන්නේය.
ජනපතිවරයා ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ 29 වැනිදා රාත්‍රියේ කැඳවූ සාකච්ඡාවකට ලංකා වාණිජ මණ්ඩලය කැඳවා තිබිණ. ඇමැති විජිත, ජනාධිපති ලේකම් නන්දික සනත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වූහ. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනපති එහිදී පැවැසීය.
ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී එදිනම රාත්‍රියේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ පිරිසක් හමු වූ ජනපති අනුර විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රජය අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන බව කීවේය. අවතැන්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම, ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනය සියලුදෙනාගේ සහාය ඇතිව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී සියලුදෙනා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යමින් ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ එම කටයුතු ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බවත් ඔහු පැවැසුවේය. ඇමැතිවරුන් වන විජිත හා උපාලි පන්නිලගේ සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන 30 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණ. මෙම හමුවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන, දුම්රිය, වාරිමාර්ග, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන, විදුලිය, මාර්ග සංවර්ධන, ඉඩම් සංවර්ධන ආදී ආයතනවල ප්‍රධානීහු එක්ව සිටියහ. මෙම සාකච්ඡාවේදී මහාමාර්ග හා සෙසු මාර්ග, පානීය ජල පහසුකම්, වාරිමාර්ග ප්‍රතිසංස්කරණ සහ දුම්රිය මාර්ග හා දුම්රිය සේවා යළි ස්ථාපනය පිළිබඳව අවධානය යොමු විය. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙස ජනපති අනුර එහිදී කීවේය.
එදින රාත්‍රියේම පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපති අනුර කීවේ ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදලක් පිහිටුවන බවයි. හේලීස්, ජෝන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස්, බ්‍රැන්ඩික්ස් සමාගම්වල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක් වූ මෙම හමුවේදී අනුර කීවේ මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් රටට සිදුව ඇති බවයි. භාණ්ඩාගාර මුදල්වලින් පමණක් ව්‍යසනයට මුහුණ දිය නොහැකි යැයි පෙන්වා දුන් ඔහු ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස, කුඹුරු, වගාබිම්, මහාමාර්ග, පාලම්, රජයේ ගොඩනැඟිලි පාසල් සහ ඇතැම් ස්ථානවල විදුලි කණු පවා බිඳ වැටී තිබෙන බව පැවැසුවේය. නාය යෑම් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය විශාල ප්රතිසංස්කරණයකට ලක් කිරීම අවශ්‍ය බව කී ඔහු රාජ්‍ය – පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස නව අරමුදල පවත්වා ගෙන යන බව පැවැසුවේය. අරමුදල කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත් අපේක්ෂා කරන බවද ජනපති පැවැසීය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මඟින් අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාව තිබෙන බව කී අනුර විශේෂ කමිටුවක් මඟින් අරමුදල ක්‍රියාත්මක වන බව පැවැසුවේය.
මේ අතර ජනපති අනුර ඉකුත් සඳුදා ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීය. යළි රට ගොඩනැඟීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ඔහු කීවේය. සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු’යි ජනපති සමස්ත රාජ්‍ය නිලධාරීන්ට එහිදී ආරාධනා කළේය. විදුලි සැපයුම, පානීය ජල අවශ්‍යතා, ප්‍රවිශිෂ්ට මාර්ග පිළිසකර කර ගැනීම, රෝහල් පිළිසකර කර ගැනීම ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්ම ඊට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පළාත් වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි. තම දිස්ත්‍රික්ක තුළ සිදුව තිබෙන හානිය, හානියේ ප්‍රමාණය සහ එය යථාවත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබද වාර්තාවක් කඩිනමින් ජනාධිපති කාර්යාලයට ලබාදෙන ලෙසට අනුර පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දුන්නේය. දැනටමත් චක්‍රලේඛයක් මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලය ලබාදී තිබෙන බවත්, එමෙන්ම 2025 අය-වැයෙන් අනපේක්ෂිත වියදම් සඳහා වෙන් කරන ලද බිලියන 30කට වැඩි මුදලක් ඉතිරි වී තිබෙන බවත් ඔහු කීවේය. තවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තු හරහා ප්‍රතිපාදන අනුමත කර ගත හැකි බවත්, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත් එම මුදල් යුහුසුලුව ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය. එමෙන්ම මෙම කටයුතු වෙනුවෙන් ඉදිරි අය-වැය ලේඛනයෙන්ද යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය
අනුර, සජිත්, රනිල් දිවි පිදූ
ගුවන් නියමුවාගේ නිවෙසට
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ දේහය තැන්පත් කර තිබූ රත්මලාන නිවෙසට බ්‍රහස්පතින්දා ගිය ජනපතිවරයා නිර්මාල් සියඹලාපිටියගේ බිරිය, මවුපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සාතිශය සංවේගය පළ කළේය.
සෞඛ්‍ය ඇමැති නලින්ද හා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තාද ජනපති අනුර සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම හිටපු ජනපති රනිල් ද ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල්ට අවසන් ගෞරව දැක්වීමට එදින පැමිණියේය. රත්මලාන නිවෙසට ගිය හිටපු ජනපතිවරයා සියඹලාපිටිය මහතාගේ බිරිය, මවුපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සොව පළ කළේය. එදිනම විපක්ෂ නායක සජිත් වින්ග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය ගුවන් නියමුවාට අවසන් ගෞරවය දැක්වීමට රත්මලාන නිවෙසට පැමිණියේය.
සජිත් තානාපතිවරුන් හමු වෙයි
විපක්ෂ නායක සජිත් ආපදාවෙන් රට ගොඩ ගැනීමට විදෙස් තානාපතිවරුන්ගේ හා සංවිධානවල සහාය ඉල්ලීමට පසුගිය සතියේ වැඩි කාලයක් යෙදවීය. ඉතාලිය, ජපානය, කොරියාව, ඉන්දියාව හා ජර්මනිය යන රටවල තානාපතිවරු මෙන්ම යුරෝපීය සංගමයේ හා ලෝක බැංකුවේ නියෝජිතයන් හමු වූ සජිත් රටට මූල්‍යමය හා තාක්ෂණික අංශයේ උපකාර ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.
එසේම දිවයින පුරා බිඳ වැටුණු මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත්, දුම්රිය මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත්, අත්‍යවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යෑමටත් මූල්‍යමය හා තාක්ෂණික දායකත්වය ලබාදෙන්නැයි විපක්ෂ නායකයා එහිදී ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ජපාන තානාපති අකියෝ ඉසමොතො හමුවූ ඔහු මෙරට ගොඩ ගැනීමට ජපන් රජයේ සුවිශේෂී දැනුම, තාක්ෂණයේ දායකත්වය මෙන්ම ශ්‍රමය ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූ විපක්ෂ නායකයා ආපදාවෙන් පසු ඉදිරි වසංගත තත්ත්වයන්ට මුහුණදීමටත්, අත්‍යවශ්‍ය සේවා, රෝහල් සේවා, දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත් සහාය ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය. එසේම සජිත් ප්‍රේමදාස කොරියානු ජනරජයේ මෙරට තානාපතිනි මියෝන් ලී, ජර්මනියේ හා ඉතාලියේ මෙරට තානාපතිවරු හමු වී ශ්‍රී ලංකාව නඟා සිටුවීමට ආධාර කරන්නැයි ඉල්ලීමක් කළේය.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවූ සජිත් මානුෂීය ආධාර පුරවා ගත් පාකිස්තාන ගුවන් යානාවලට ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට අවසර දෙමින් ඉන්දීය රජය ගත් සුවිශේෂී තීන්දුවට ස්තූතිය සහ ගෞරවය පිරිනමන බව කීවේය.
රනිල් විපක්ෂය රැස් කරයි
දිට්වා සුළි කුණාටුවෙන් රටම ආපදාවට ලක්ව තිබියදී හිටපු ජනපති රනිල්ගෙන් විපක්ෂයේ දේශපාලන නායකයන්ට කැඳවීමක් ලැබුණේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයට පැමිණෙන ලෙසය. තමා දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම නියෝජිතයන් කැඳවීමට තීරණය කර ඇති බව රනිල් මුලින්ම කීවේ රනිල් ආණ්ඩු කළ සමයේ මාධ්‍යයේ ලොක්කන් වූ දිනිත්, ශානුක සහ දිනුක්ටය.
එය හොඳ අදහසක් බව දිනිත් චින්තක ඇතුළු සියල්ලෝම අනුමත කළහ. අනතුරුව පක්ෂ නායක හමුවට වටපිටාව එළිපෙහෙළි කෙරිණි. රනිල් පක්ෂ නායක හමුවක් කැඳවන්නට යන බවට මාධ්‍යයේ පූර්ව ප්‍රතිචාරයක් පළ කෙරිණි.
රනිල් පක්ෂ නායක සහ නියෝජිත හමුව කැඳවූයේ ඉකුත් බදාදාය. එදින පාර්ලිමේන්තු දවසකි. බොහෝ පක්ෂ නායකයෝ ව්‍යසනයෙන් හෙම්බත්ව සිටි තම පාක්ෂිකයන්ගේ සැප දුක් බලන්නට ගම් රටවලට ගොස් සිටියහ. එහෙත් පක්ෂ තිස්පහක් පමණ නියෝජනය කරමින් නායකයෝ සහ නියෝජිතයෝ එහි පැමිණ සිටියහ. ඊට සහභාගි වූයේ හිටපු කථානායක මහින්ද යාපා, ටිරාන් අලස්, ගම්මන්පිල, සරත් වීරසේකර, ජී.එල්., අනුර ප්‍රියදර්ශන, නිමල් සිරිපාල, රාජිත, දුමින්ද, වඩිවෙල් සුරේෂ්, රවී, හිස්බුල්ලා, වේලුකුමාර්, අසංක නවරත්න, දොළවත්ත, සෙන්දිල් තොණ්ඩමාන්, වජිර, තලතා, සාගල, අකිල, හරීන් ඇතුළු පිරිසකි. මෙම සාකච්ඡාවේදී දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ජීවිතක්ෂයට පත් සියලු ශ්‍රී ලාංකේය ජනතාවට විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
මල් පාරට ආ දේශපාලන පක්ෂ නියෝජිතයන් සාදරයෙන් පිළිගත් රනිල් ආණ්ඩුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. නැවත රට ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ඊට මඟපෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයන් සහ විවිධ අංශවල ප්රමුඛ පුද්ගලයන්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතු බවට එහිදී තීරණය විය. පළමු රැස්වීමේ මුලසුන හෙබවීමට මහ නායක හිමිවරු සිවු නමට ආරාධනා කිරීමටද යෝජනා විය. ඊට අමතරව හින්දු ප්‍රභූවරුන් සමඟ සාකච්ඡා කර හින්දු කටයුතු අමාත්‍යවරයකු, අමාත්‍යාංශ ලේකම්වරයකු, හින්දු කටයුතු අධ්යක්ෂවරයකු, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට පත්කළ යුතු බවටද එහිදී අදහස් හුවමාරු විය.
“පැලවත්තෙන් බලය ඉවත් කරලා ආපහු පාර්ලිමේන්තුවට බලය පවරන්න ජනාධිපතිවරයා වහා ක්‍රියා කරන්න ඕන” රනිල් කීවේ කතාව අරඹමිනි.
හරි නම් දැන් ජනාධිපති පක්ෂ නායකයෝ කැඳවලා ඒ තීරණය ගන්න ඕන. දැන් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති කාර්යාලයෙන් හෝ අගමැති කාර්යාලයෙන් නෙමෙයි. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන්” රනිල් කී කතාව සියල්ලෝම අනුමත කළහ.
ආපදා මෙහෙයුම් වැඩ පවා කෙරෙන්නේ ජනාධිපති සහ අගමැති කාර්යාලවල ඉඳලා නෙමෙයි. ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය කරගෙන තියෙන්නේ පැලවත්තේ දේශපාලන කාර්යාලය.
රනිල්ගේ විවේචන මෙන්ම යෝජනා පක්ෂ නායකයන් මුනිවත රකිමින් අසාගෙන සිටියේ ඒවායින් ඔවුන්ට ගන්නට පාඩමක් තිබෙනවා මෙන්ම ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට හොඳ ඉලක්ක ඒ කතාවේ ගැබ්ව පවතින බැවිනි.
කබීර් හා කරු පත් කරන්න යෝජනාවක්
මේ අතර විපක්ෂයේ රැස්වීමේදී රනිල් තවත් යෝජනාවක් ගෙනාවේය.” ප්‍රධාන කාරණය තමයි මේ වෙලාවේ ආණ්ඩුව තමන්ගේ තරම තේරුම් ගන්න ඕන” හිටපු කථානායක මහින්ද යාපා කී කතාව අනුමත කළ රනිල් “රජයට අත්දැකීම් අඩු නිසා පාර්ලිමේන්තුව විසින් ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ අධීක්ෂණ කමිටුවක් පත් කිරීම සුදුසු බවට යෝජනා කළේය. එහි සභාපතිත්වය පළපුරුදු මන්ත්‍රිවරයකු විසින් දැරිය යුතු බවත් විපක්ෂයේ කබීර් හෂීම් වැනි මන්ත්‍රිවරයෙක් ඊට පත් කළ හැකි බවත් කීය.
“සර්, ඒක හොඳ යෝජනාවක් තමයි. හැබැයි මං හිතන්නෙ නෑ සියල්ල දත් පාලක උත්තමයෝ ඔය යෝජනා පිළිගනීවි කියලා” රාජිත කීවේ උපහාසයද මතු කරමිනි.
“යටිතල පහසුකම් විශාල වශයෙන් බිඳවැටිලා තියෙන්නේ. සංස්කෘතික වටිනාකම් තියෙන තැනුත් ඒ අතර තියෙනවා” අනුර යාපා කීවේය.
ඊට පිළිතුරක් දෙමින් රනිල් කීවේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මඟපෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයන් සහ විවිධ අංශවල ප්රමුඛ පුද්ගලයන්ගේ රැස්වීමක් කැඳවිය යුතු බවයි.
“පළමුවැනි රැස්වීමේ මුලසුන රටේ මහ නායක හිමිවරුන් හතර දෙනා විසින් දරනවා නම් ඒක ලොකු හයියක් වේවි. ආණ්ඩුව උන්වහන්සේලාට ඒකට ආරාධනා කරන්න ඕන. අනෙක් ප්‍රධාන ආගමික නායකයන්ටත් ඊට ආරාධනා කළ යුතුයි. එතකොට පොදු සමාජයේ හොඳ මතයක් හැදෙනවා”
කරු ජයසූරිය වගේ කෙනෙක් සභාවේ කැඳවුම්කරුවන්ගෙන් කෙනෙක් ලෙස කටයුතු කිරීම සුදුසුයි. අනෙක් කැඳවුම්කරු රජය විසින් පත් කළ හැකියි. රනිල් එහි සංයුතිය ගැන තමාගේ මතය පළ කළේය.
ආපදාව වුණාට පස්සේ ‘ආණ්ඩුව හැසිරිච්ච විදිහ ගැන මතය මොකක් දැයි මෙහිදී තරුණ මන්ත්‍රිවරුන් ඇසූ පැනයකට පිළිතුරු දුන් රනිල් කීවේ ආපදාවෙන් පසු නොවැම්බර් 28 වැනිදා සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ආපදා කාර්යයන් පවරා ඇති සියලුම දෙපාර්තමේන්තු, අංශ සහ අනෙකුත් නිලධාරීන් අක්‍රිය වූ බවයි.
“ඒ තීරණය හරියට බඩ විරේක බෙහෙත් දීලා අර මොකක්ද මැහුවා වගේ” නේදැයි තරුණ මන්ත්‍රි කෙනෙක් කී කතාවට රනිල්ටත් හොඳටම හිනා ගියේය.
“ආණ්ඩුව දැනුත් වරදක් කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟහරිමින් ආධාර දීම දේශපාලනීකරණය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තවත් සමාන්තර ආපදා සහන අරමුදලක් පිහිටුවා තිබෙනවා. මේ ව්‍යසනයට මුහුණ දෙන්න ආණ්ඩුවට උපාය මාර්ගයක් තිබුණේ නැහැ. පුනරුත්ථාපනය සහ අලුත්වැඩියාව සඳහා සැලසුම්ද ඇත්තේ නැහැ” රනිල් සංෂිප්ත උත්තරයක් දුන්නේය.
“නොවැම්බර් 28 වැනි දිනට අදාළව ආපදා කළමනාකරණයේ අඩුපාඩු ගැන වාර්තා කරන්න රජයේ සහ විපක්ෂයේ සමාන සාමාජිකයන් සංඛ්‍යාවක් සහිත විපක්ෂයේ මන්ත්‍රිවරයකුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත් කරන්න ඕන.
කමිටුව මාස 6ක් ඇතුළත වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා. දිස්ත්‍රික්කවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ට භාර දිය යුතුයි. දිස්ත්‍රික් ලේකම්වරුන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා ඉදිරිපත් කළ යුතු වෙනවා. දේශපාලන සහ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් ඒවායින් ඉවත් කළ යුතුමයි.
අය – වැය මේ අවස්ථාවේදී අදාළ කරගත යුතු නැහැ. හානියේ තරම දැනගත් පසු 2026 ජනවාරි මාසයේදී නව අය – වැයක් ඉදිරිපත් කිරීමට හැකියි” රනිල් කී කතාව ඇසූ විපක්ෂ දේශපාලන නියෝජිතයන් කීවේ ආණ්ඩුවට හැදෙන්නට නම් ඔය උපදෙස් ටිකම ප්‍රමාණවත් බවයි.
ආදරයට ගිය නාමල්ගේ පඩිය
ගංවතුරින් සහ නාය යෑමෙන් විපතට පත් පවුල්වල දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ “ආදරය” නමින් පසුගිය සතියේ වැඩසටහනක් ආරම්භ කළේය. ආපදාවට මුහුණදී සිටින පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන පොත් පත්, පෑන්, පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. බ්‍රහස්පතින්දා නාමල් දැනුම් දුන්නේ ඔහුගේ මාසික වැටුප සහ දීමනා ආදරය වැඩසටහනට පරිත්‍යාග කිරීමට තීරණය කළ බවයි. ශ්‍රී ලාංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යෑමට කැමැති ඕනෑම කෙනකුට මෙම වැඩසටහනට දායක විය හැකි බවද නාමල් කීවේය.
රනිල් ළඟදී ශානි බයවෙලා
කොළඹ පොත් දොරට වැඩීමේ උත්සවයකදී රනිල්ට ශානි හමුවී යැයි සමාජ මාධ්‍යයේ තොරතුරක් පළ වී තිබිණි. හිතවත් මාධ්‍යවේදියෙක් ඒ කතාව රනිල්ගෙන් විමසීය.
“ඔව් මට මිනිහා හම්බ වුණා. මම හලෝ කියල කතා කළා. මිනිහා බය වෙලා දිව්වනේ” රනිල් කීවේ මහ හඬින් හිනැහෙමිනි.


