
ඇමරිකාවට ඇතුළු විය හැකි සීමාවන්ට යටත් වන රටවල් ලැයිස්තුව පුළුල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනියි. ඊට අදාළ ප්‍රකාශයකට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය (16 වැනිදා) අත්සන් තැබීය.
‘ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන තර්ජනවලින් රට ආරක්ෂා කිරීම සඳහා’, යෝග්‍ය පරීක්ෂණ, පසුබිම් විමර්ශන සහ තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන්, දිගුකාලීනව සහ දැඩි ලෙස අඩුපාඩු පවතින රටවල පුරවැසියන් සඳහා අමෙරිකාවට ඇතුළු වීම සීමා කිරීමේ නීතිරීති ශක්තිමත් සහ පුළුල් කෙරෙන ප්‍රකාශයකට ජනපති ට්‍රම්ප් අත්සන් තබා ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.
එහිදී මෑත විශ්ලේෂණයන් මත පදනම්ව, ඇමරිකාවට ඇතුළු විය හැකි සීමාවන්ට යටත් වන රටවල් ලැයිස්තුව සඳහා තවත් රටවල් පහක් එක් කිරීමටත් අමෙරිකාව පියවර ගෙන තිබේ. බුර්කිනා ෆාසෝ, මාලි, නයිජර්, දකුණු සුඩානය සහ සිරියාව එම රටවල් වේ.
එමෙන්ම පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද සංචාරක ලියකියවිලි සහිත පුද්ගලයින් සඳහා ද ඇමරිකාවට ඇතුළු වීමේදී, සම්පූර්ණ සීමාවන් සහ ඇතුළු වීමේ දැඩි සීමාවන් එක් කර ඇති බව දන්වා තිබේ.
තවද, අදාළ ප්‍රකාශනයට අනුව, තවත් රටවල් 15ක් සඳහා අර්ධ සීමාවන් සහ ඇතුළු වීමේ සීමාවන් එක්කර ඇති අතර, ඇන්ගෝලාව, ඇන්ටිගුවා සහ බාබුඩා, බෙනින්, අයිවරි කෝස්‍ට්, ඩොමිනිකා, ගැබොන්, ගැම්බියාව, මලාවි, මොරිටේනියාව, නයිජීරියාව, සෙනගල්, ටැන්සානියාව, ටොංගා, සැම්බියාව සහ සිම්බාබ්වේ ඊට අයත් වේ.


