ඇමරිකාව ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ‘පළමුව වෙඩි තබන්න -පසුව ප්‍රශ්න කරන්න’

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවසන පරිදි යම් හෙයකින් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමට තීරණය කළහොත් ඩෙන්මාර්ක සොල්දාදුවන් “පළමුව වෙඩි තබා පසුව ප්‍රශ්න අසනු ඇත” යනුවෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩෙන්මාර්කයේ ආරක්ෂක අමාත් යාංශය බදාදා තහවුරු කළේ 1952 සිට සතුරු හමුදා ආක්‍රමණය කළහොත් වහාම සටන් කළ යුතු බවට වන නීතිය තවමත් ක්‍රියාත්මක බවයි.

වෙනිසියුලාවේ නිකොලස් මදුරෝගේ පාලනය බිඳ දැමීමෙන් පසු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තය දෙසට තම අවධානය යොමු කර තිබෙනවා.ඔහුගේ මෙම තීරණය හේතුවෙන් යුරෝපය පුරා දැඩි භීතියක් හටගෙන ඇති බව සඳහන්.

සීතල යුද්ධය පැවති සමයේ පැනවූ නීතියකට අනුව, ඇමරිකානු හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත් ඩෙන්මාර්ක හමුදාවන්ට පෙරළා වෙඩි තැබීමට සිදු වනු ඇති බැවින් නේටෝ සංවිධානය, කුමක් වේදැයි මේ පිළිබඳ යම් භීතියකින් පසුවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ට්‍රම්ප්ට අනුව ග්‍රීන්ලන්තය යනු හුදෙක් දූපතක් පමණක් නොව, එය උතුරු ඇමරිකාව, යුරෝපය සහ රුසියාව අතර පිහිටි ඉතා වැදගත් මංසන්ධියක්.ආක්ටික් කලාපයේ අයිස් දියවීම නිසා නව වෙළඳ මාර්ග විවෘත වීම සහ එහි ඇති අතිවිශාල ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලැබීම මීට හේතුවයි.

දැනටමත් එහි ඇමරිකානු හමුදා කඳවුරක් පවතින අතර, උතුරු අර්ධගෝලයේ බලය රැක ගැනීමට ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව වොෂින්ටනය විශ්වාස කරනවා.ට්‍රම්ප් 2019 වසරේදී පවා ග්‍රීන්ලන්තය මිලදී ගැනීම විශාල නිශ්චල දේපළ ගනුදෙනුවක් ලෙස හඳුන්වනු ලැබුවා.

මෑත මාසවලදී ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් තවත් දැඩි වී තිබෙන අතර ආරක්ෂක හේතූන් මත ග්‍රීන්ලන්තය ඇමරිකාවට අවශ්‍යම බවත්, එම පාලනය ලබා ගැනීම සඳහා ඕනෑම දුරක් යාමට සූදානම් බවත් ඔහු පවසා තිබෙනවා.ඇමරිකානු හමුදාව යොදා ගැනීම ඇතුළු විකල්ප කිහිපයක් පිළිබඳව ධවල මන්දිරය සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.

විදේශ ලේකම් මාර්කෝ රුබියෝ පවසන්නේ රජයේ අරමුණ ග්‍රීන්ලන්තය මිලදී ගැනීම වුවද, බලහත්කාරයෙන් එය ලබා ගැනීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි බවයි.තත්වය කෙතරම් බැරෑරුම් වී ඇත්ද යත්, භූමියේ සිටින සොල්දාදුවන්ට “පළමුව වෙඩි තබා පසුව ප්‍රශ්න කරන ලෙස” උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා.

ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සඳහා 1952 දී පැනවූ නීතියකට අනුව, රටට ප්‍රහාරයක් එල්ල වුවහොත් දේශපාලන නායකයන් දැනුවත් වන තුරු නොසිට වහාම පෙරළා පහර දිය යුතුයි.

මෙයින් අදහස් කරන්නේ ඇමරිකාව ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත්, නේටෝ සාමාජිකයෙකු වන ඩෙන්මාර්කය තවත් නේටෝ සාමාජිකයෙකු වන ඇමරිකාවට එරෙහිව නීත්‍යානුකූලව වෙඩි තැබීමට පටන් ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *