සිංහල කෙටිකතාව

පොසම් හදිසියක්
“මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!”
උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා කෑගැහුවා. හරියට ඒක කියන්න කෙනෙක් ලැබෙනකම් ඉවසන්න බැරිව හිටියා වගේ. ඇනා ට ලස්සන දිග දුඹුරු කැරළි කොණ්ඩයක් තියෙනවා. එයා ට කේන්ති ගියහම ඒ කොණ්ඩය නිතර ගස්සනවා. අද නම් සෑහෙන්න තරමේ කේන්තියක ගැස්සිල්ලක් එතැන තිබුණා.
“සතෙක්? වළහෙක් වගේ?”
මැතිව් ඇහුවේ පාන් පෙත්තක් ටෝස්ටරේට දාන ගමන්. වැඩි දෙනෙක් උදේ කෑම හදාගෙන කෑවේ වැඩට ඇවිත්. මැතිව් ට කොයි දේත් විහිළුවක්. ගණන් ගන්න තරම් බරපතල දේවල් නැති තරම්.
“පිස්සුද මනුස්සයෝ? වලස්සු කොහෙද මේ රටේ?”
ඇනා තාම කේන්තියෙන්. විහිළුවක් නොතේරෙන තරමට. කේන්තිය මැතිව් එක්කද සතා එක්කද කියලා පැහැදිලි නැහැ.
“එක්කෝ පොඩි පොසම් කෙනෙක්, නැතිනම් ලොකු මීයෙක්! ඊයේ රෑ පුරාම මගේ සිවිලිමේ ජිම්නාස්ටික් කළා!”
ඇනා ට ඇඬෙන තරම්. ඇනා මේ ගේ ගත්තේ ළඟදී. ඉන්නෙත් තනියම. සද්දේ නිසා රෑ තිස්සේ දැනුණු බයයි, කේන්තියයි කලවම් වෙලා.
“මොකද මම කරන්නේ?” ඇනා ඇහුවේ කෑ ගහලා වගේ.
“මරන්න!” මැතිව් කියද්දීම “මරන්න එපා!” මම කිව්වා. හරියට කළින් කතාවෙලා වගේ.
ඇනා පුදුමෙන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.අපි දෙන්නාටම හිනා.
“මම කිව්වේ ඇත්තට” මම කිව්වා
“මමත් කිව්වේ ඇත්තට!” මැතිව් ත් දෙවෙනි වෙන්න ලැස්ති නැතිව කිව්වා.
“පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න!”ඇනා පුටුවක් ඇදගෙන වාඩිවුණා. බෑග් එකෙන් කොලේකුයි පෑනකුයි ඇදලා ගත්තා.”දෙන්නාම මට වෙන වෙනම හේතු කියන්න තමන්ගේ යෝජනාවට.” ඇනා එහෙමයි. හරි පිළිවලයි. ඕනෑවට වැඩිත් එක්ක.
“වස දීලා මරලා දාන්න තියෙන්නේ ඕකුන්ව!” මැතිව් ටෝස්ට් කළ පාන් හපන ගමන් කිව්වා.”ජරා සත්තු!”
“හේතු.. හේතු!” ඇනා මතක් කළා
“උන්ගේ ජරාව ට පිච්චිලා සිවිලිම දිරනවා!දඟලද්දී කඩාගෙන වැටෙන්නත් පුළුවන්!”
මැතිව් කිව්වේ මට රවන ගමන්. හරියට ඇනා ගේ සිවිලිමේ ජිම්නාස්ටික් කළේ මම වගේ!
“දැන් ඔයා කියන්න බලන්න” ඇනා මගේ පැත්තට හැරුණා.
“පවු කියලා හිතෙන්නේ නැද්ද? සිවිලිමට එන්න බැරිවෙන්න එන තැන් වහලා දාන්න” මම කිව්වේ උදේ ම වැඩක් කරන්න කියලා දිග ඇර ගත්තු ෆයිල් එක වහලා දාන ගමන්. අද වැඩක් කරන්න වෙන්නේ නැහැ ඉතින්!
“මරු උපදෙස් ජානුගේ!” මැතිව් හිනාවුණ තරමට පාන් හිරවෙන්නත් ගියා. “කොහොමද ඌ නෑ කියලා හිතාගෙන පාරවල් ටික වැහුවාට පස්සේ ඌ ඇතුලේ ඉඳලා තිබුනොත්? එහෙම නම් ඇනා ට ස්ථිර පදිංචි කාරයෙක් ඉන්නවා”
“එළියට යනකම් බලලා නේ මෝඩයෝ වහන්නේ!” ඒ පාර මම මැතිව් ට රැව්වා. “උන් රෑට එළියට යනවා! නිශාචර!!”
“මේ පොඩ්ඩක් ඔය දෙන්නා ඉන්නවද රණ්ඩු නොවී!” ඇනා මැදිහත් වුණා. “ජානු මට කියන්න ‘පවු’ කියලා ඔයා කිව්වේ මොකක්ද කියලා? ආගම් ගාවගන්න බැහැ ප්‍රායෝගික ප්‍රශ්න වලට හරිද?”
“ආගමක් නැහැ මෙතන!” මම ඒකට විරුද්ධ උනා.”හිතන්න ඔයා වස දීලා මරලා දාන සතා- පොසම් හරි මොකා හරි- එනකම් කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා? ඉතින් ඒක පවු නැද්ද?” මම ඇහුවා
“කවුරුහරි?” ඇනා යි මැතිව් යි දෙන්නාම ඇහුවේ එකට. මට පිස්සුද වගේ අදහසක් ඒ ප්‍රශ්නේ තිබුණා.
“උගේ යාලුවෙක්? නෑයෙක්?” මම හිනාවුණා.”ආදරේ කරන තව පොසම් කෙනෙක්?”
“ජානු ට උණ වගේ ද?” මැතිව් බොරුවට උණ බලන්න වගේ අත දිග ඇරලා ඇහුවා. “නිකම් කලන්තෙයි වගේ ද?”
“අනේ මන්දා ජානු අර තඩි ප්‍රේම කතා පොත කියවද්දි මම හිතුවා මොනවා හරි වෙයි කියලා” ඇනා ත් හිනාවුණා.
මගේ පොත් කියවීමේ ඇබ්බැහියටයි, ප්‍රේම කතා කියවිල්ලේ විශේෂයටයි මේ කට්ටිය මට හැමදාම විහිලු කළා. ඒ වෙද්දී ප්‍රශ්නේ විසඳුනේ නැතත් ඇනා ගේ කොන්ඩේ ගැස්සිල්ලයි කේන්තියයි නැතිවෙලා තිබුණා. සාමාන්යෙන් ඇනා හිනාවෙනවා කියන්නේ හොඳ ලක්ෂණයක්.
“හරි දෙන්නෙක් ගෙන් මම උපදෙස් ඇහුවේ.. මොකක් හරි කරන්නම්කො මම!” කියලා එයා යන්න ගියා.
“ගෑනුන්ගේ පිස්සු!” ඇහෙන්න නෑහෙන්න මුමුණ මුමුණ මැතිව් ත් යන්න ගියා.
ඊළඟ දවසේ ඇනා වැඩට ආවේ නැහැ. හදිසියක් කියලා පණිවිඩයක් තියලා තිබුණා.’පොසම් හදිසියක්’ ද දන්නේ නැහැ කියලා මැතිව් මට කියලා හිනාවුණා.
තුන්වෙනි දවසේ වැඩට ආව ගමන් ඇනා ආවේ අපිව හොයාගෙන.
‘ජානු කියපු දේ බාගයක් හරි!” මාව දැක්ක ගමන් කිව්වා. මම කිව්ව දේ මොකක්ද කියලාත් ඒ වෙද්දී මට අමතක වෙලයි තිබුණේ.
“පෙරේදා මම ගෙදර යද්දී ගේ ඔක්කොම හැඩි වෙලා. හරියට සතෙක් දුවලා වගේ. මම දැනගත්තා අර සතා ගේ ඇතුලේ කියලා. සද්ද නැතිව ගේ පුරා බලද්දී රෙදි හෝදන මැෂිම පැත්තෙන් සද්දයක් එනවා.මම බය වුන පාර අර සත්තු අල්ලන කොම්පැනියකට කතා කළා.අපරාදේ කියන්න බැහැ පැය කාලක් ඇතුලත ඒ මිනිස්සු ආවා. සතා නම් පොසම් තමයි. ගේ පුරා ඇවිදිද්දී මැෂිම ඇතුලට වැටිලා. මම ඒක ඇරලා තියලා යන්න ඇති. ඉතින් ඒකෙන් එළියට එන්න බැරිව ඉඳලා තියෙන්නේ” ඇනා එක හුස්මට කිව්වා.
“ඉතින් කෝකද ජානු කියලා හරි ගිය ටික?” මැතිව් මැදට පැන්නා. මැතිව් හරි අකමැතියි තව කෙනෙකුට දිනුම දෙන්න.
“එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ම ඉඳලා ඒක ඇතුලේ!” ඇනා හිනාවුණා. “ජෝඩුවක්! ඒ මිනිස්සු කිව්වා පැටවු දාන්න තැනක් වෙන්න ඇති දෙන්නත් එක්ක හොයන්න ඇත්තේ කියලා!”
“ඉතින් ඒ ගොල්ලෝ අල්ලාගෙන ගිහින් මරනවාලු ද?” මම ඇහුවා. මට නම් වැදගත් වුණේ ඒක.
“නෑ කැලේට අතාරිනවාලු” ඇනා කිව්වා
“අන්න ජානු අතාරින තැන අහගන්න.. අතාරින තැන අහගන්න!” මැතිව් කෑ ගැහුවේ හදිසියේ මතක් වෙලා වගේ.
“ඒ මොකටද?” මම ඇහුවේ රවන්න මූණ හදාගන්න ගමන්. මොකක් හරි කමකට නැති කතාවක් අහන්න වෙන බව දැනගෙන.
“ඇයි අර ඔයාගේ ප්‍රේම කතා පොත ගිහින් දෙන්න! වොෂින් මැෂින් වලට නොවැටී හරි විදිහට ප්‍රේම කරන්න ඉගෙන ගන්න!!”
මැතිව් කිව්වේ මම කොල ගුලියකින් එල්ල කළ පාර වලක්වන ගමන්.
හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/
ජීවන කතන්දර

බත් පිගන් තුන
වැලි කුණාටුව විසින් පාරවල් අවහිර කරතිබුනු නිසා දවල් කෑම ලැබීම සැහෙන්න ප්‍රමාද විය. . හොඳ බඩගින්නක් දැනිණි. කොහොමටත් ටිකක් අඩුවෙන් කැම කන මට ලොකු බඩ ගින්නක් දැනුණු විට පමණක් මතකයට නැගෙන බත් පිඟන් තුනක් තිබේ. එක බත් පිගානක සිට අනිත් බත් පිගානට අවුරුදු දහයකට වැඩි කාල පරතරයක් තිබෙයි. පිගන් තුනේම පොදු ලක්ෂණ දෙකක් විය. පළමුවැන්න නම් ඒවා එකටම මාළු පිනි සියල්ල බෙදා කොත ගසා තිබීමය. දෙවැන්න හැම එකකම බැදපු කරවල කෑලි කීපයක් තිබීමය.
ආසන්නම බත් පිගාන මම කොටුවේ පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ වැඩ කරමින් සිටි කාලයේදී ලැබුණු එකකි . සෙනසුරාදා වරුවක් වැඩ නිසා කෑම ගෙනියන්නේ නැත , ගෙදර එන විට හවස දෙක තුන වෙය්. සැහෙන්න බඩ ගින්නක් තිබේ. බිරිඳ විසින් යන්තම් අවුරුද්ද පිරුණු ලොකු දුවද බලා කියාගෙන තනිවම උයා පිහා තබයි.
මේ කියන සෙනසුරාදා කෑම මේසයේ වැහුම් අරින විට මා දුටුවේ තදින් හිර කර බෙදා තිබු බත් පිඟානකි. එළවලු මාළු පිනි සියල්ල එකටම බෙදා තිබිණි. මෙය දුටු විගස මම රොස් පරොස් ලෙස මෙලෙස කිව්වෙමි.
‘මෙහෙමත් කෑම බෙදනවද?මේක හරියට ගුණේ උන්දැට බෙදපු බත් එක වගේනේ මෙච්චර ගොඩක් කන්නේ කව්ද ?’
ඇය තවත් බඳුනක් ගෙනත් තැබුවාය. ‘වැඩිනම් මේකට අඩු කරන්න’
බත් පතින් හතරෙන් තුනක්ම අඩු කර දැමු මම ඉතිරිය හෙමින් කන්නට පටන් ගතිමි. හ්ම්ම් එහි රසය කියා නිමක් නැත!.
විනාඩි කීපයක් ඇතුළත මම කන්නට බැරි යැයි සිතා අයින් කල බත් පංගුවෙන් අඩක්ම නැවත බෙදා ගත්තෙමි දරුවාගේ වැඩ අතරේම මා ලඟට පැමිණි ඇය ‘ඉතින් කියන්නකෝ අර ගුණේ උන්දැගේ කතාව. ඇයි එයාට එච්චර ලොකු බත් එකක් බෙදන්නේ ?’
‘ගූණේ උන්දෑ කියන්නේ ඉස්සර අපේ ගමේ ගෙදර හදද්දී අත් උදව්වට ආපු මනුස්සයෙක්. උදේම බීඩි මිටියක් ඉල්ලනවා.පස් අදිනවානම් එක බීඩියක් බීල කූඩේ අතට ගන්නවා පස් ගොඩ ලඟට යනවා. ආයේ බීඩියක් බොනවා පස් ටික කූඩේට පුරවනවා , ආයේ බීඩියක් බොනවා. පස් කූඩේ ගෙනිහින් දානව. එක පස් කූඩේට බීඩි තුනක් බොනවා.’
දවල්ට කැම එක විශාල පිඟානකට බෙදල කොත ගහල රසට දෙන්න ඕනි. රස නැති වුනොත් පහුවදා වැඩට එන්නේ නෑ. මේ වගේ අඩු පාඩු තිබ්බත් ගුණේ උන්දෑ හිත හොඳ මනුස්සය නිසා එයාගෙන් වැඩ ගන්න කවුරුත් කැමතියි.
මේ කතාව කියමින් මම බත් කමි. නින්ද ගොස් සිටි දෝනිය ඇඳෙන් තබා බිරින්දෑ නැවත පැමිණෙන විට මම බත් සියල්ල කා දමා පිගානට තට්ටු කරමින් සිටියෙමි. එය දුටු ඇය එක වරම මෙසේ කිව්වාය . ”ගුණේ උන්දෑ බත් ටික ඔක්කොම කාල වගේ’.
අතුරු පස වෙනුවට අපි දෙන්නා පැය බාගයක් පමණ හිනා වුනෙමු.
ඊටත් අවුරුදු දහයකට පමණ පෙර දවසක් බණ්ඩාරවෙලදී මට හමු වූ දයානන්ද නෙළුවේ පිහිටි ඔහුගේ ගෙදර යන්නට කතා කළේය. එදා දයානන්දගේ ගෙදර යනවිට අම්මා දවල්ට උයමින් සිටියාය. මේ අවේලාවේ අමුත්තෙක් පැමිණීම ගැන ඇය කලබල නොවුනාය. සුපුරුදු සෙනෙහසින් මාව පිළිගත් ඇය තවත් පැය බාගයකින් අපට කෑම කන්නට දුන්නාය.
අප දෙදෙනාට ලැබුනේ බොකු පිගන් දෙකකට හිර කර බෙදු බත් දෙකකි. පිගානේ හරි අඩක් වැහෙන්නට පුරවා තිබුනේ නැවුම් ගෝවා කොළ මැල්ලුමකි. අනෙක් අඩ වසා තිබුනේ පරිප්පු මෙන් උයා තිබූ කොල්ලු පිටි වෑන්ජනයකිනි. පිගානේ කලවරක හිටවා තිබුනේ හොඳින් කර වෙන්නට බැද තිබු බල කරවල කැබැලි දෙක තුනකි. ඒ බත් පිගානේ රසය මේ දැනුත් මගේ දිවගට දැනෙනවා වැන්න.
මා කුඩා කාලයේදී උඩ ගෙදර ඉන්ද්‍රක්කා බෙදා දුන් බත් පිඟාන මගේ ජීවිත මතක සටහනක් වන තුන් වන බත් පිගානය. අපේ පොඩි අක්කා උඩගෙදර ඉන්ද්‍රාට ණයට රුපියලක් දී තිබිණි. එය පොරොන්දු වූ දවසේ ආපසු නොලැබුණු නිසා පොඩි අක්කා මාවත් තනියට එකතු කරගෙන ඉන්ද්‍රාගේ ගෙදර ගියේ ණයට දුන් රුපියල ආපසු ඉල්ලා ගෙන එන්නටය. ඒ ගෙදරට ගොඩ වන විටම අපිට අසුනේ චරාස් ගාමින් කොස් වැන්ජනයක් තෙලට දමන ශබ්දයය්. ඒ සමගම හාත්පස පැතිරුණු සුදුලුනු හා අබ බැදෙන සුගන්දය නැහැ පුඩු ඇවිස්සුවේය. අප දුටුමතින් සතුටු වූ ඉන්ද්‍රා ‘ අනේ මේ වෙලාවේ ආපු එක කොච්චර දෙයක්ද අද නම් බෑ නොකියා අපේ ගෙදරින් බත් කටක් කාලා යන්නම ඕනා.’
ඉන්ද්‍රාගේ පෙරැත්තයත් ඉවුම් පිහුම් වල සුවඳත් නිසා අපට බත් නොකා ඉන්නට බැරි විය. ඉන්ද්‍රා අක්කා ඉතා සතුටින් කොස් වෑන්ජනයත්, කුර කොළ මැල්ලුමත් කරවල බැදුමත් අපට බෙදා දුන්නාය. මේ දිවා බොජන සංග්‍රහය බුක්ති විඳීමෙන් අනතුරුව පවා හතේ පන්තියේ සිටි දිරිමත් දැරියක වූ අපේ අක්කා තම ගමනේ අරමුණ අමතක නොකලාය . හොඳින් කෑම කා අත සෝදා ගන්නා ගමන් ඇය ‘ඉන්ද්රක්කේ මම ආවේ අර රුපියල ඉල්ලා ගන්නය්’ කියා කීවාය.
ඉන්ද්‍රා මෙය කිස්සේත් බලාපොරොත්තු නොවූ අතර, ආගන්තුක සත්කාරය කරන්නට ඉඩ ලැබුණු නිසා උදම් වී සිටි ඇගේ මුහුණ සැනෙකින් ඇකිලී ගියාය.
‘බතුත් කාල ඔහොම සල්ලි මතක් කරන එක හොඳ සිරිතක්ද?. හිතා ගන්න ඔය දෙන්නට බත් දුන්නේ ඒ රුපියලට හරි යන්න කියල’
මුහුණ බිමට හරවාගෙන ගෙදර ආ පොඩි අක්කා ඉන්පසු කිසි දිනක ඒ රුපියල ගැන මතක් නොකලාය.
බඹරුන් ආ දවස්
අමරසිරි පීරිස්ගේ සංගීත ප්‍රසංගයක් ගැන ඉරිදා ලංකාදීපයෙන් කියවුයෙමි . එම ලිපියේ මාතෘකාව වුයේ ‘ වියපත් බඹරා’ ය. ගිය සතියේ මිතුරන් ටිකක් සෙට් වූ විටෙක අපි ‘වියපත් බඹරා’ ගීතය ගැන බොහෝ වෙලා කතා කළෙමු.
ඊයේ වෙනත් පුවතක මම කියෙව්වේ ගුරුතලාවේ විදුහලක දරුවන්ට එල්ල වූ බඹර ප්‍රහාරයක් ගැනය.කුඩා දරුවන්ගේ සියුමැලි සම තුලින් බඹර තුඩු ඇනී වේදනා දෙන විට ඔවුන් කෙසේ එය දරා ගන්නට ඇත්ද? වරක් මමත් බඹරුන් දෙදෙනෙකුගේ පහර කෑමට ලක්වුණා මතකය. කරන්ට් වැදුනා හා සමානව සිරුර පුරා විහිදී ගිය ඒ දැනීම අතිශයින් වේදනාකාරීය. බඹරුන් ගැන මොන තරම් රස බර කවි සින්දු ලියවී තිබුනත් බඹරුන් මතක් වෙද්දී මගේ සිත නොමනාපයෙන් පිරී යන හේතු කීපයක් තිබෙයි.
මා උගත් පළමු කනිටු විදුහලට තිබුණේ එක විශාල ගොඩනැගිල්ලකින් පමණි. විදුහල්පති කාමරයත් හෝඩියේ පන්තියත් කුඩා කාමර දෙකක් ලෙස හරස් බිත්ති වලින් වෙන් වී තිබුනත් අනිකුත් සියලුම පන්ති පැවැත්වුනේ එක ශාලාවකය. පාසල් ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් හා දොරවල් සියල්ල වසා තබන්නට පුළුවන් ලෙස ඉදි කර තිබුනේ නිරන්තරයෙන් පැවති දැඩි සීතල නිසාය.
එක වරම ගැමියෙකු පාසල අසල පාරේ සිට මුර ගෑවේය. ‘ළමයි ටික ඇතුලට ගන්ටෝ . බඹරයක් ඇවිස්සිලෝ!! .
මේ ආපදා කලමනාකරණ අනතුරු හැඟවීමට ගුරුවරුන් හා ඉහළ පන්ති වල ළමුන් කොතරම් යුහුසුළුව ප්‍රතිචාර දැක්වූවාද යත් විනාඩියකටත් අඩු කාලයකදී පාසල් පිටියෙත් මිදුලේ තැන තැන වලත් සිටි සියලුම දෙනා වහා ප්‍රදාන ශාලාව තුලට දමා ජනෙල් දොරවල් වසා පාසැල සීල් කර දැමිණි.
සියලු දෙනා ජනෙල් අවට රොක් වී එකා දෙනා බැගින් අවට කැරකෙන වියරු බඹරුන්ගේ ආගමනය රස විඳින්නට ගත්තා මතකය. එවිටම මහලු අම්මා කෙනෙකු සිය වරලසේ එල්ලී , බෙල්ල මුහුණ සිදුරු කරන බඹර රංචුවෙන් බේරීමට උදවු ඉල්ලා හඬමින් පාසැල දෙසට දිව ආවය. බඹරුන් රංචු පිටින් මේ අහිංසක මාතාවට පැන පැන න දෂ්ට කළේ ආත්ම ගණනාවක් තිස්සේ පැවති ජන්මාන්තර වෛරයක් පිරිමසා ගන්නට මෙනි. ඇය පාසල් ගොඩනැගිල්ලේ ජනෙල් අසල දෑත උස්සා වනමින් කෑ ගසා උදව් ඉල්ලුවාය. මේ දර්ශනය කෙතරම් හද කකියනා සුළු එකක්ද යත් තරුණ ගුරුවරියන් හා ගැහැණු ළමයින් ඉකි ගසා හැඬුවෝය. ඒත් එක කවුළුවක් හෝ ඇරියොත් ඇතුලට රින්ගා ගන්න බඹර කැළ කුඩා පන්ති වල ළමයින් විද දෂ්ට කරනු ඇත. මේ ආකාරයේ අවිනිශ්චිතතාවය නිසා විදුහල්පති තුමා වේගයෙන් එහා මෙහා ඇවිද යමින් සිටියා පමණකි. අවසානයේ අසරණ කාන්තාව විලාප දෙමින් ගම්මානය දෙසට හැරී ගියේ නොනැවතී එල්ල වන බඹර ප්‍රහාරය මැද්දේය. එදා සිට දින කීපයක් තිස්සේ මගේ හිතේ බියක් තිබ්බේ මේ මහලු කාන්තාවට බඹර ප්‍රහාරය නිසා අතුරු ආන්තරාවක් වේවිදෝ කියාය. සතියකට දෙකකට පමණ පසු එළවලු කුඩයකුත් රැගෙන අපේ හේ ලඟින් ඈ යනවා දැකීමෙන් මගේ සිත සතුටින් ඉපිලී ගියේය. දේවදාර සුවඳත් මානා පඳුරු පිස එන සිලි සිලියත් විඳිමින් සොම්නස් මුහුණින් ගිය ඇගේ මුහුනේ බඹරුන් කෙරෙහි වූ කිසිදු අමනාපයක සටහනක් නොවිණි.
බඹර අමනාප කම් වල දෙවන කතාවට සම්බන්ද වන්නේ මහාචාර්යවරයෙකි. ලතින් ග්‍රීක් ආදී සම්භාව්‍ය භාෂා පිලිබඳ ආචාර්ය උපාදියක් දිනා සිටි හේ සංගීත විශාරදයෙකි. ඔහු පේරාදෙණියේ කළා පීටයේ අංශ ප්‍රධානියෙකුද විය. අක්බාර් ශාලාවේ ආදරණීය දසුනක් වූ ඔහුගේ රුව හා හවසට ඔහුගේ කාමරයෙන් ඇසෙන බට නලා නාදය අපි ආදරයෙන් වැළඳගත් මතකයකි .
ඔහුගේ අතින් අල්ලා ගෙන අක්බාර් පාලම හරහා මහවැලිය තරණය කරන්නට අක්බාර් ශාලාවේ සිටි අපට වරින් වර වාසනාව ලැබිණි. මහවැලි ගඟ ගලන සර සර හඬත් උණ පඳුරු වල කොළ හැලෙන ශබ්දයත් ඔහු සවන් පුරා වින්දේය. ලඟින් පියඹා ගිය බඹරෙකුගේ හෝ කුරුල්ලෙකුගේ තටු සලන නාදයෙන් ඔහුගේ වත පිබිදී ගියේය. අපිට පෙනෙන රොබරෝසියා මල්වල පැහැයවත් ඇහැළ මල් විකසිත වෙන ලස්සන වත් ඔහුට නොපෙනුනත් කනට ඇසෙන දෙයින් හා සුදු සැරයටියේ තැවරෙන දෙයින් ඔහු ලෝකය උපරිමයෙන් රස වින්දේය.
දවසක් බඹරුන් රංචුවක් මහාචාර්යවරයාට විදින්නට පටන් ගත්තේ කවුරුත් ළඟ පාතක නැතිව ඔහු තනිවම අක්බාර් පාලමෙන් මෙතෙර වීමට ආ වෙලාවකය. ඇවිස්සුනු බඹරය නිසා කිසිවෙකුට ඒ දෙසට යන්නට නොලැබුනි .
එතැන් සිට පාලමේ අනෙක් කෙලවරට රැස්වී කර කියා ගන්නට දෙයක් නැතිව සිටි පිරිස කී කතා ඇසූ මගේ හිතේ ඇතිවූ හැඟීම හරියටම ඊට අවුරුදු පහළොවකට පෙර පාසලට බඹරුන් ආ දවසේ තිබු එකම විය.
ටික වෙලාවකින් කවුරුන් හෝ බඹරුන් කද්දීම එතැනට පැමිණ කුඩා මෝටර් බයිසිකලයක නංවාගෙන මහාචාර්යවරයා රෝහලට ගෙන ගොස් තිබිණි.
එදා සිද්දියට සම්බන්ද වූ සියලු දෙනා අතරින් බඹරුන් කෙරෙහි අබමල් රේණුවකින්වත් අමනාපයක් ඇති කර නොගත්තේ මහාචාර්යවරයා පමණක්ම බව මම දනිමි .
තිලකසිරි ඒකනායක
තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
https://thilakasitha.blogspot.com
පරිවර්තිත කෙටිකතාව

නිල් ඇස්
මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැගුණා. ගිනිකණ වැටුණු, අලුපාට තටු තියෙන සමනලයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ පිටිසරබද පළාතේ වාතය ආශ්වාස කළා. විශාල, ගැහැනු රාත්‍රිය හුස්ම ගන්න හඬ ඇහෙනවා. කාමරය මැදට ආපහු ඇවිද ගෙන ගිය මම ජෝග්ගුවේ තියෙන වතුර බෙලෙක් බේසමට හිස් කරලා ඒකෙ මගේ තුවාය පෙඟෙව්වා. තෙත් කරපු තුවායෙන් පපුවයි කකුලුයි අතුල්ලලා ඇඟ පිහ දමා ගත්තු මම ඇඳුම් ඇඳ ගත්තේ ඒවාගේ වාටිවල මකුණො ඉන්නවද කියලා හොඳට බලලයි. මම කොළපාට පඩිපෙළ දිගේ පහළට බැස්සා. නවාතැන්පොළේ දොර ගාවදී මම ඒකෙ අයිතිකාරයාගේ ඇඟේ හැප්පෙන්න ගියා. නවාතැන්පොළේ අයිතිකාරයා වැඩි කතාබහක් නැති එකැස් කණෙක්. මිනිහා වේවැල් බංකුවක වාඩිවෙලා දුම් බොනවා. මිනිහගෙ ඇහැ බාගෙට පියවෙලා. බැරෑඬි හඬකින් මිනිහා කතා කළා:
“කොහෙද යන්නෙ?”
“හරි ග්‍රීස්මයි. මං පොඩ්ඩක් ඇවිදින්න යනවා.”
“ම්…. දැන් කඩවල් වහලා. පාරේ එළියකුත් නෑ. ගේ ඇතුළට වෙලා හිටිය නම් තමයි හොඳ.”
උරැහිස් අකුළලා ‘මං ඉක්මනට එනවා’ කියලා මුමුණපු මම අඳුරට වැදුණා. ඉස්සෙල්ලම මට කිසි දෙයක් පෙනුණෙ නෑ. ගල් අල්ලපු පාර දිගේ යන මගේ පය පැටලුණා. මම සිගරැට්ටුවක් පත්තු කර ගත්තා. එක පාරටම කලු වලාකුළක් මැදින් හඳ මතුවුණේ තැනින් තැන බිඳී ගියපු සුදු පාට තාප්පයක් එළිය කරමින්. ඒ සුදුපාටෙන් ගිනිකණ වැටුණු මම නැවතුණා. හීන් හුළඟක් හැමුවා. මම සියඹලා සුවඳ පිරිච්ච වාතය ආශ්වාස කළා. කොළවල සරසරයෙනුයි කෘමීන්ගෙනුයි පිරිච්ච රාත්‍රිය මුණුමුණු ගෑවා. උස් තණගස්වල රැහැයියෝ ලැගලා හිටියා. මම හිස ඔසවලා බැලුවා. ඉහළ අහසේ තාරකාත් වාඩිලා ගෙන. මට හිතුණේ විශ්වය කියන්නේ සංඥා සංකේත පිරුණු සුවිසල් පද්ධතියක් ය, යෝධ සත්ත්වයන් අතර කෙරෙන සංවාදයක් ය කියලයි. මගේ ක්‍රියාවන්, රැහැයියාගේ හඬ, තාරකාවල දිලිහීම, මේ හැම දෙයක්ම ඒ සංවාදයෙන් තැන තැන විසිරුණු වාක්‍ය කෑලි, විරාම සහ අක්ෂර හැර වෙන දෙයක් නෙවෙයි. මම අකුරක් පමණක් වෙච්ච ඒ වචනය මොකක්ද ? ඒ වචනය කතා කරන්නේ කවුරුද ? ඒ වචනය අමතන්නේ කාටද ? මම සිගරැට්ටුව පදික වේදිකාවට වීසි කළා. වීසි වෙච්ච සිගරැට්ටුවෙන් දිලිසෙන කවයක් නිර්මාණය වුණා. පුංචි ධූම කේතුවකින් වගේ එයින් කුඩා ගිනි පුළිඟු විසිරුණා.
මම හුඟ වේලාවක් තිස්සේ හෙමින් ඇවිද්දා. ඒ මොහොතෙදි මගේ තොල්වලට කොච්චර නිදහසක් ආරක්ෂිත බවක් දැනුණද කියනවානම් ඒවා විශාල ප්‍රීතියකින් මා සමගම කතා කරන්නට වුණා. රාත්‍රිය ඇස්වලින් පිරිච්ච උද්‍යානයක්. මම පාර පනින කොට කවුරුදෝ දොරකින් එළියට එන හඬ ඇසුණා. හැරිලා බැලුවත් මට කාවවත් පෙනුණේ නෑ. මම පය ඉක්මන් කළා. ටික වෙලාවකින් ගල් පොළොවේ වදින සෙරෙප්පුවල වියළි හඬ මට ඇහුණා. සෑම පියවරක් පාසාම මා පිටුපසින් එන හෙවණැල්ල මට කිට්ටු කරන බව දැනුණත් ආපහු හැරී බලන්න මට වුවමනා වුණේ නෑ. මම දුවන්න වෑයම් කළා. ඒත් දුවගන්න බෑ. එකපාරටම මම නැවතුණා. ආරක්ෂාවට යමක් කරන්න ඉස්සර පිහියක තුඩ මගේ පිටේ වදිනවා දැනුණා. මෘදු කටහඬක් මගේ පිටුපසින් නැගුණා:
“ඒයි මහත්තයා හෙල්ලෙන්න එපා. හෙල්ලුණොත් මේක බස්සනවා.”
“තමුසෙට මොනවද ඕනෑ ?”
හැරෙන්නෙවත් නැතිව මම ඇහුවා.
“මහත්තයාගේ ඇස් දෙක”, මෘදු, වේදනාවකින් පිරුණා වගේ වෙච්චි කටහඬ උත්තර දුන්නා.
“මගේ ඇස් දෙක ? මගේ ඇස් දෙක මොකටද තමුසෙට ? මේ බලනවා මා ගාව සල්ලි ටිකක් තියෙනවා. ගොඩක් නෑ. ඒත් ඒ සෑහෙන ප්‍රමාණයක්. මට යන්න ඇරියොත් මා ගාව තියෙන හැමදේම තමුසෙට දෙන්නම්. මාව මරන්න එපා.”
“බයවෙන්න එපා මහත්තයා මං මහත්තයව මරන්නේ නෑ. මං ඇස් දෙක ගලවා ගන්නවා විතරයි.”
“ඒත් මගේ ඇස් දෙකෙන් තමුසෙට ඇති ප්‍රයෝජනය මොකක්ද ?” මම ආපහු ඇහුවා.
“ මගේ ගෑනු ළමයට ආසාවක් තියෙනවා. නිල් ඇස්වලින් හදාපු මල් කළඹක් එයාට ඕනෑලු. මේ පැත්තෙන් නිල් ඇස් හොයා ගන්න හරි අමාරුයි.”
“මගේ ඇස් දෙකෙන් තමුසෙට වැඩක් නෑ. ඒවා දුඹුරු පාටයි.”
“මාව මෝඩයට අන්දන්න ලෑස්ති වෙන්න එපා මහත්තයා. මං හොඳටම දන්නවා මහත්තයගෙ ඇස් නිල් පාටයි කියලා.”
“මිනිහෙක්ගේ ඇස් උගුල්ලන්න හදන්න එපා. මං තමුසෙට වෙන දෙයක් දෙන්නම්.”
“මට වෙන දෙයකින් වැඩක් නෑ. පණ්ඩිතකම් නැතුව අනෙක් පැත්තට හැරෙනවා.” මිනිහා බොහෝම රළු විදියට අණ කළා.
මම හැරුණා. මිනිහා බොහෝම කුඩා දුර්වල කෙනෙක්. තල්කොළ තොප්පියෙන් මිනිහගෙ මූණෙ බාගයක් වැහිලා. දකුණු අතේ තිබුණෙ පිටිසරබද පළාත්වල හදන ජාතියේ පිහියක්. ඒක හඳ එළියට දිලිසුණා.
“කෝ මට මහත්තයගෙ මූණ පෙන්නන්න”
මම ගිනිකූරක් ගහලා මූණට කිට්ටු කර ගත්තා. ගිනි කූරෙ එළියට මගේ ඇස් දෙක පියවුණා. මිනිහා මගේ ඇසි පිය අතින් උස්සලා බැලුවා. මිනිහට ඇස් දෙක පැහැදිලිව පෙනුණේ නෑ. කකුලෙ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඔහු වුවමනාවෙන් මා දිහා බලන් ඉන්නවා. ගිනිකූර පත්තුවෙලා ගිහින් මගේ ඇඟිලි පිච්චුණා. මම ගිනිකූර බිම දැම්මා. ටික වෙලාවක් යනකං කවුරුවත් කතා කළේ නෑ.
“දැන් තමුසේ විස්වාසයි නේද ? මගේ ඇස්දෙක නිල්පාට නෑ.”
“මහත්තය හරි සූත්තර කාරයෙක් නේද ?” මිනිහා ඇහුවා. “ බලමු. පත්තු කරනවා තව ගිනිකූරක් ” ඔහු අණ කළා.
මම තව ගිනිකූරක් පත්තු කරලා මගේ ඇස් දෙක ළඟට අල්ලා ගත්තා. මගේ කමිස අතින් අල්ලා ගත්තු මිනිහා මට ආයෙත් අණ දුන්නා.”
“දණ ගහනවා.”
මම දණ ගැහුවා. ඔහු එක අතකින් මගේ කොණ්ඩයෙන් අල්ලලා ඔලුව පස්සට නැවුවා. කුතුහලයෙන් සහ දැඩි ආතතියකින් මිනිහා මා උඩින් නැඹුරු වුණා. මගේ ඇහි පිය වල ගෑවෙනකම්ම ඔහු පිහිය පහත් කළා. මම ඇස් දෙක වහගත්තා.
“ ඇස් දෙක ඇරගෙන ඉන්නවා.” ඔහු අණ කළා.
මම ඇස් දෙක ඇරියා. ගිනිකූරෙ දැල්ලෙන් මගේ ඇහි පිය පිච්චුණා. එක පාරටම මිනිහා මාව අත හැරියා.
“ හරි, ඒවා නිල් පාට නෑ. යනවා යන්න.”
ඔහු අතුරුදන් වුණා. ඔලුවට අත් දෙක තියා ගෙන මම තාප්පයට හේත්තු වුණා. වුණේ මොකක්ද කියලා හිතා ගන්න මම වෑයම් කළා. පය පැකිලෙමින් වැටෙමින් ආපහු නැගිටින්න මම උත්සාහ කළා. පාලුවට ගිය නගරය මැදින් මම පැයක් විතර දුවගෙන ගියා. නගර චතුරස්රයට එනකොට මට පෙනුණා නවාතැන්පොළේ අයිතිකාරයා තවමත් දොර ගාව ඉඳගෙන ඉන්න හැටි. මම ඇතුළට ගියේ වචනයක්වත් කතා නොකරයි. පහුවදා මම ඒ නගරය හැර දමා පිටවී ගියා.
(එලියට් වෙයින්බර්ගර්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.)

ඔක්තාවියෝ පාස් (1914-1998)
නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.


