500 වන වැඩසටහන සමඟ ඉදිරියට යන කැනඩාවේ ” රූපණ”  අන්තර්ජාල රූපවාහිනිය.

කැනඩාවේ ටොරොන්ටෝව  කේන්ද්‍ර කර ගනිමින් අන්තර්ජාලයෙන් සෑම සෙනසුරාදාවකම පැය භාගයක් – පැයක් අතර කාලසීමාවක් පුරා දිවෙන අලුත් වැඩසටහනක්  වෙබ්ගත  කරනා ශ්‍රව්‍ය, දෘශ්‍ය දැනුම් ගබඩාවක් තිබෙනවා . ” ටොරොන්ටෝ වෙන් නැගෙන අපේ හඬ ” තේමා පාඨය කොටගත් එය නම් වන්නේ රූපණ යන නමින්.

වීරා  ෆොන්සේකා විධායක නිෂ්පාදකවරයාගේ මූලිකත්වයෙන් රූපණ ඇරඹුණේ 2016 සැප්තැම්බර් මස 10 වැනිදා.  තේමා පාඨය,  නම, විවිධ නම්වලින් යුත්  වැඩසටහන් කිහිපයක් සමඟින් මුල්ම වැඩසටහන් 20 අධ්‍යක්ෂණය කළේ බන්දුල කුරුවිට ආරච්චි මහතා.  සමාජ  ජාල ජනප්‍රිය වීමත් සමග වෙනස් වන ඩිජිටල් ලෝකයට ගැලපෙන අයුරින් යාවත්කාලීන වෙමින් ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීම් ඩිජිටල් සංස්කරණයෙන් කපා කොටා ඉදිරිපත් කිරීමත් , සිදුවීම් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් වසර ගණනාවකට පසුවත් අන්තර්ජාල අවකාශයේදී ආපසු හැරී බැලිය හැකි මතක ගොන්නක් ගබඩා කිරීමත් එය ආරම්භයේදී තිබූ ප්‍රමුඛ බලාපොරොත්තු.

2026 අප්‍රේල් මස 11 වැනිදා වෙබ් ගත වන්නේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ පන්සිය ( 500) වන වැඩසටහනයි.  කිසිදු සතියක නැවත විකාශයකින් තොරව රූපණ ආ ගමනේ  වැඩසටහනක් නොමැති වුණේ එකම එක සෙනසුරාදාවක් පමණයි.  රූපණ සාර්ථකත්වයට හේතුව නිර්මාතෘවරයාගේ  කැපවීම සේම එයට දායකවී සිටිනා පිරිසගේ තිබෙන නොමසුරු දායකත්වය සහ කණ්ඩායම් හැඟීමයි.  ටොරොන්ටෝවේ ගුණාත්මක බවින් ඉහළ වැඩක් නම් එය ” රූපණ වැඩක් ”  ලෙස ශ්‍රී  ලාංකික සංක්‍රමණික ප්‍රජාව තුළ එය සන්නාම ගත වී තිබෙන්නේ ඒ නිසා.

Caption – 2026 සන්නිවේදක කණ්ඩායම     පසුපෙල ( සිටගෙන )කල්ප සමරතුංග, සංජීව අබේරත්න, සම්පත් පෙත්තාවඩු, ගොයුම් එරංග, වීරා ෆොන්සේකා, අනුරුද්ධ වැලිගමගේ, සුනිල් තෙන්නකෝන් නිරංග විජේසූරිය

ඉදිරිපෙල  ( වාඩිවී )මංජුලා වික්‍රමරත්න, තරින්දි ෆොන්සේකා, යෙනුලි කොතලාවල, අනුෂා කිංස්ලි, දිනුෂා ජයවර්ධන

රූපණ ආ ගමනයේදී සහය දුන් සමහර සන්නිවේදක සමාජික සමාජිකාවන් විවිධ හේතු නිසා මේ  වන විට ඒ හා සම්බන්ධ වී නැතත් ඒ හැම දෙනෙක්ම රූපණ  ආ දිගු ගමනට දුන් අත්වැල  අති මහත් .ටොරොන්ටෝවේ තැන තැන වන ප්‍රජා සිදුවීම් මේ වනවිට මුහුණු පොත ඇතුළු සමාජ ජාලාවලින් එසැන වාර්තා ගත වන නිසා අතීතය මෙන් ප්‍රජා මාධ්‍ය තුළින් සිදුවීම් සතියකට හෝ කාලයකට පසුව කරන වාර්තාකරණය දැන් වැදගත් වන්නේ නැහැ . මුල පටන්ම රූපන ගත්ත  ස්ථාවරය එයට වෙනස් එකක් වූ නිසා සම්ප්‍රදායික වට්ටෝරුවෙන් මිදී ටොරොන්ටෝව ආශ්‍රිත විශාල පිරිසකගේ ගායන,  රංගන සහ විවිධ හැකියාවන් ඉදිරිපත් කිරීම සහ ඒවාට නිර්මාණාත්මක අගයක් එකතු කරමින් රූපණ වැඩසටහන් තුළට එකතු කර තිබීම නිසා කලින් කලට , වසර කිහිපයකට වරක් ඉදිරිපත් කරන ශ්‍රී ලාංකික සමාජ උත්සව වලට වඩා වෙනස්,  ප්‍රමුඛ සමාජ මෙහෙයක් රූපණ ඉටු කර තිබෙනවා. වැඩසටහන්වලට සහභාගි වූ කුඩා දරු දැරියන් මෙය වන විට තරුණ තරුණියන් බවට පත්ව ඇතත්, ඔවුන් තුල  අපේකම නොනැසී පවතින්නේ ඔවුනට ලැබුණු පදනම නිසා. එදිනෙදා සිංහල කථා නොකරන මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර ශීත රටක ජීවත් වන පරිසරයකදී රූපණ වැඩසටහන හරහා සිංහල භාෂාව,  ශ්‍රී ලාංකික අභිමානය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉහළ නැංවීම සඳහා වසර දහයක් පුරා සිදුවුනු මෙහෙය  සුළු පටු නැහැ .

සිංහල  කවිය ක්‍රම ක්‍රමයෙන් විකාශය වූ අයුරු, සුභාවිත සහ ජනප්‍රිය ගී  පද අරුත් සේම,  සංචාරක වැඩසටහන් හරහා රූපණ නාලිකාව විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාව කැනඩාව වටාම කැදවා ගෙන ගොස් තිබෙනවා. කැනේඩියානු උරුම සහ සංචාරක ස්ථාන පිළිබඳව සිංහල මාධ්‍යයෙන් ශ්‍රව්‍ය , දෘශ්‍ය වැඩසටහන් ඉදිරිපත් කර ඇති එකම  මාධ්‍ය වන්නේත් රූපණ මාධ්‍යයි.  . එයත් ප්‍රජා සන්නිවේදනයෙන්  ඔබ්බට ගොස් ලෝකෙ ඕනෑම කොනක ඉන්නා සිංහල භාෂාව කතා කරන කෙනෙකුට අන්තර්ජාලය ලබාගත හැකි මහඟු සම්පතක්.  කොවිඩ්  සංචරණ සීමා සමයේ කැනඩාවේ බටහිර කොනේ පිහිටි වැන්කුවර් සේම නැගෙනහිර කොනේ පිහිටි  හැලිෆැක්ස් නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දක්ෂතා සේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සම්පත් දායකයන්ගේ දායකත්වයෙන් සූම්( Zoom)  තාක්ෂණය හරහා රූපණ ය වෙබ් ගත කළ ඇති වැඩසටහන් ප්‍රමාණය අති විශාලයි. www.Rupane.com    රූපණ වෙබ් අඩවියට ගොස් ඕනෑම කෙනෙකුට නිවාඩු පාඩු වෙලාවක ඒවා බලන්න පුළුවන්.  

රූ පණ මාධ්‍ය ජාලය කිසිවිටකත් ජාති, ආගම් , පක්ෂ හෝ කුල භේදයකින් තොරව දක්ෂතා ඇති ඕනෑම වයසක කෙනෙකුට තම හැකියාවන් ඔප් නංවා ගැනීමට උදව් කළ වේදිකාවක්.  ටොරොන්ටෝ අවට සියලු බෞද්ධ විහාරස්ථාන සේම කෝවිල් පරිශ්‍ර කිහිපයකදීත් රූපණ  වැඩසටහන් ඉදිරිපත් කළේ ඒ නිසා. රූපණ සතුව ශ්‍රී ලංකාවේ භාවිතා වන භාෂා තුනෙන් ම වැඩසටහන් ඉදිරිපත් කරන සන්නිවේදකයින් සිටිනවා.

Caption –

 මෙහෙයුම් අධ්‍යක්ෂ -ගොයුම් එරංග , විධායක නිෂ්පාදක – වීරා ෆොන්සේකා, නිර්මාණ අධ්‍යක්ෂක – අනුරුද්ධ වැලිගමගේ

යූ ටියුබය සහ මුහුණු පොත හරහා ශීත කාලගුණයත්  නොතකා ඩ්‍රෝන තාක්ෂණයත් භාවිතා කරමින් රූපණ කණ්ඩායම කළ සජීවී වැඩසටහන් දෙක ගැන ටොරොන්ටෝවේ ජනතාව අදත් කතා කරන්නේ බොහෝ ආඩම්බරයෙන්.  මේ වන විට රූපණ මාධ්‍ය ජාලය අංශ හතරකින් සමන්විතයි. රූපන අන්තරජාල  රූපවාහිනිය එහි ප්‍රමුඛයා.ශ්‍රීලංකැන් නිව්ස්  කැනඩාවත් යා කරන ඩිජිටල් ලියමන එහි වෙබ් පුවත්පතයි.  ශ්‍රී ලංකන් රේඩියෝ එහි ගුවන් විදුලි අංශයයි. චිත්‍රපට හා ප්‍රසංග ඉදිරිපත් කරන ප්‍රාසංගික ආයතනය වන්නේ ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් ආයතනයයි.

කැනේ ඩියානු ශ්‍රී ලාංකික ප්‍රජාවට  රූපණ මාධ්‍ය ජාලය කරනා වූ මෙහෙවරක් අගයමින් කැනඩාවේ විවිධ සංවිධාන විසින් ඔවුනට විවිධ සම්මාන ප්‍රදානය කර තිබෙනවා .ඒ වගේම කැනේඩියානු  රජයෙන් නිර්මාණ කාර්යයන් උදෙසා යම් කිසි මුල්‍ය  මය දායකත්වයකුත් සැපයීම කරනවා. මේ සියල්ල අතරේ රූපණට   අනුග්‍රාහකත්වය දක්වන ව්‍යාපාරික භවතුන්  සහ සතියෙන් සතිය අලුත් වැඩසටහනක් සොයමින් රූපණ වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක ජනතාව තවත් සතුටු කරන්නට   රූපණ මාධ්‍ය ජාලයට හැකිවේවායි ලංකාවේ  අපි ප්‍රාර්ථනා එක්කරනවා . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *