ගයන,රඟන , ඔබව අමතන වදන් කෝෂයක් වන් සංජීව- 2 වන කොටස

ටොරොන්ටෝව කේන්ද්‍ර කර ගනිමින් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විවිධ මාධ්‍යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන වැඩිපුර කතා බහට ලක් නොවන පිරිසක් ඉන්නවා . සමහර වෙලාවට සංවිධායක භවතුන්ට ඔවුන් මතක් වෙන්නේ ඔවුන්ගේ වචනවලින් කියන විදිහට ” වැඩේ ඇදගෙන යන්නයි ” . අඩුම තරමින් ඔවුන්ට කන්න බොන්න යමක් ලැබුණාද කියා හොයා ,  බලන්නටවත් ,  ස්තූතියි කියා කියන්නට වචන ගලපා ගන්නටවත් ඔවුනට වැඩසටහන  අවසානයේදී ඉස්පාසුවක් නැහැ . අප මේ ලිපි පෙල හරහා ඔවුන් ගැන ඔබ නොදත් තොරතුරු බෙදාගන්නට හිතුවා. අපේ වැඩේ සාර්ථක වෙන්නෙ ඔවුන්ගේ මහන්සියට ඔබේ පුංචි හිනාවකුත් එක්ක ඔබට දැනුනු අඩුපාඩු පෙන්නා දෙන එකින්. වෘත්තීය සන්නිවේදකයින් නොවන නමුත්  ඔවුන් ඒ ප්‍රතිචාර වලින් ඔබට කරන මෙහෙවර වැඩි දියුණු කරගන්නවාට කිසිම සැකයක් නැහැ.  ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්න අපි හැමවිටම උත්සාහ කරනවා. 

මේ දිගුවෙන් මේ ලිපියේ පළමු කොටස කියවන්න පුළුවන්

ගයන,රඟන , ඔබව අමතන වදන් කෝෂයක් වන් සංජීව

ඔය කාලේ වාහනයකට කියලා ඔහුට තිබුණේ චැලියක්. ගෙවල් වලට ගිහින් අමතර පන්ති පවත්වා, ඒ තුළින් කැම්පස් ජීවිතයේදී සෑහෙන දෙයක් ඔහුට කරගන්නට උදව් උනේ ඒ චැලියම තමයි.  ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ජීවිතයේ සියලුම කටයුතු කරගනු ලැබුවේ මේ චැලිය තුළින්මයි. 

එවකට ඔහු උපාලි පුවත්පත් ආයතනයේ වත්මන සඟරාවේ වැඩ කරමින් ඉන්න අතරේ එහිම වෙළඳ දැන්වීම් අංශයට ඔහුව යොමු කර තිබුණා. ඔහු දැනගෙන ඉඳලා නෑ, වත්මනෙ වෙළෙඳ දැන්වීම් අංශයට ඔහුව පෙළඹුවේ වෙනත් අදහසකින් කියලා. පසුකාලයකදී ඔහුගේ ප්‍රධානියා උපාලි ආයතනයෙන් ඉවත්ව වෙනම වෙළඳ ප්‍රවර්ධන ආයතනයක් ආරම්භ කර තිබුනා. සක්වා බිස්නස් ප්‍රමෝෂන් (Sakva business promotion) කියන වෙළඳ ආයතනය ආරම්භ කර එහි වැඩ කටයුතු  සඳහා මේ තරුණයාව යොදා ගෙන තිබුණා.  එයයි ඔහුගේ පලමු ස්ථිර රැකියාව.  මෙම වෙළෙඳ දැන්වීම් ආයතනයේ රූපවාහිනී දැන්වීම් නිෂ්පාදන කටයුතු සිදුකර ගනු ලැබුවේ අප කවුරුත් හඳුනන ප්‍රියංකර විතානාරච්චි මහත්මයාගේ ආයතනයෙන්. ඒ කාලයේ ඉඳලම ප්‍රියංකර මහතා සමග ආශ්‍රය කරන්නට ලැබීමත් ඔහුට ඔහුගේ මාධ්‍ය ගමනේදී ලොකු ශක්තියක් වුණා. අවුරුදු දෙකක් පමණ Sakva එකේ වැඩ කරන අතර තුර නොයෙක් නොයෙක් අසාධාරණකම් වලට එරෙහිව කතා කළද  ඒවා වෙනස් නොවන නිසා ඔහු එම රැකියාවට සමුදුන්නා. ඔහු නැවතත් නැවතුනේ උපාලි ආයතනයේ.  ඒ කාලයේ තමයි ඔහුගේ දියණියන් දෙදෙනා ඉපදී තිබුණේ. දූල දෙන්නා ඉපදුණාට පස්සේ එයාලා බලාගන්න පිරිසක් හිටියට එය ඉතා අමාරු කටයුත්තක් වු නිසා ඔහුත් එවකට ගෙදර නැවතුනේ ඔහුගේ ආදරණීය බිරිඳට ශක්තියක් වන්නට. එවකට ඔහුගේ බිරිඳ රැකියාව කරමින් හිටියේ MAS ආයතනයේ.  තම දු වරුන් දෙදෙනා ටික ටික වැඩෙන විට ආපසු උපාලි ආයතනයේ රැකියාවකට එන්නට ඔහු තීරණය කළේය. ඒ වන විටත් රැකියාවක අවශ්‍යතාවය දැනෙමින් පැවතුණ ඔහුට MAS  එකේ රැකියාවකට යන්නට අවස්ථාවක් ලැබීම ඔහුගේ භාග්‍යයක්.  ඒ වෙනුවෙන් ඔහුගේ බිරිඳට මෙන්ම මරියා හා ටීනා යන දෙදෙනාටත් ඩයන් ගෝමස් මහතාටත් ඔහු ස්තුතිය පළ කරනවා. ඒවන විට සිංහල භාෂාවෙන් හොඳින් වැඩ කරන්නට හැකි කෙනෙකුගේ අවශ්‍යතාවය එම ආයතනයට දැනී තිබුනා. ඒ කාලයේ ඉංග්‍රීසියෙන් වැඩ කරන බොහෝ දෙනෙකු හිටියත් සිංහල හොඳින් හසුරවන්න පුළුවන් අය හිටියේ අතලොස්සක් පමණයි. නමුත් ඔහුට එතනදි,  ප්‍රශ්නෙකට තිබුණේ කාර්යාලයක එක තැන වාඩිවී වැඩ කිරීමට ඇති අකමැත්තමයි. එයට හේතුව ඔහුට අත්දැකීම් තිබුණේ වෙළෙඳ දැන්වීම් අංශයේ සහ පුවත්පතේ කාර්යාලයේ බාහිරට ගොස් වැඩ කරලයි. විශේෂයෙන්ම කාර්යාලයක වැඩ කරන්නට ඔහුට හිතුනේ ඔහුගේ බිරිඳට ඒ කාලයේදී දවස් දහයක පමණ නිවාඩුවක් සිංහල අවුරුදු කාලයට සහ නත්තල් කාලයට ලැබුණත් ඔහුට එවැනි නිවාඩුවක් නොලැබීමයි. එම නිසාම ඔවුන්ට ඒ නිවාඩු කාලය තුළ විනෝද ගමනක්වත් යන්නට අවස්ථාවක් ලැබුණේ අඩුවෙන්.  ඒ අවශ්‍යතාවයත් තිබුණු නිසා සහ ස්ලිම්ලයින් ආයතනය පිළිබඳව හොඳින් දන්නා නිසාත් Junior HR executive ලෙස MAS slimline ආයතනයේ වැඩ භාර ගන්නට ඔහු පෙලැඹී තිබුණා. එහි කළමනාකාර අධ්‍යක්‍ෂක ඩයන් ගෝමස් මහතාට මිනිසුන්ගේ දක්ෂතාවයන් හඳුනාගන්නට තියෙන්නේ පුදුම ඉවක්. ඔන්න ඉතින් ටික දවසකින් ඔහු මාධ්‍ය යුනිට් එකේ. MAS Slimline ආයතනය ක්‍රීඩාවලට ද ඉතාමත්ම ප්‍රසිද්ධ ආයතනයක්. ඩයන් ගෝමස් මහතා සංජීවගේ දක්ෂතාවය හඳුනාගත් නිසා, මාධ්‍ය අංශයක් පිහිටුවා ඒ තුළින් සියලු ක්‍රීඩාවන් පිළිබඳව මාධ්‍යය කටයුතු කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා ඔහුට ලංකාවේ තිබෙන සියලුම මාධ්‍ය ආයතන සමග සම්බන්ධීකරණ කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. ඩයන් කියන්නේ බොක්සිං වලට ඉතාමත් කැමති, ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින් ඕලිම්පික් මට්ටමටම ගෙන යන්නට විශාල මෙහෙවරක් කළ කෙනෙක්. කාන්තා බොක්සින් කණ්ඩායමත් කාන්තා රගර් කණ්ඩායමත් ලෝකයේ ඉහළම මට්ටමට ඔහු ගෙන ගියා. ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වැඩි පිරිසක් සේවය කළේ ස්ලිම්ලයින් ආයතනයේ. ඔහුගේ වචනවලින්ම කියනවානම් රගර් බෝලයක් දැකලා නැති  පන්නල ගමේ කෙල්ලෝ ලෝකෙ හොල්ලලා කුසලානයක් අරන් ආව කියලයි ඔහු නිතරම අනිත් ක්‍රීඩකයන්ව දිරිමත් කළේ.  ජනමාධ්‍ය හරහා ගැහැණු රග්බී, ක්‍රිකට්, බොක්සිං, කරාටේ, මළල ක්‍රීඩා කණ්ඩායමට ලොකු ප්‍රචාරණයක් ලබා දෙන්නට ඔහුට අවස්ථාව ලැබී තිබුණා. එම ක්‍රීඩා වැඩසටහන් සියල්ලකම මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන්න ලැබුණේ ඔහුට සහ ඔහුගේ සගයා සුදම්ට.(සුද්දම් එස්. පහළගම) සුදම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් නිසාම  මාධ්‍ය ආයතන වල බොහෝම අයවලුන් හඳුනාගන්නට මෙන්ම ඔවුන් සමග කටයුතු කරන්නට සංජීවට අවස්ථාව ලැබුණා.

ස්ලිම්ලයින් ආයතනයේදී සියලුම වැඩසටහන්වල පූරකවරයා ලෙස කටයුතු කරන්නට ඔහු අවස්ථාව උදාකර ගත්තේ තම දක්ෂතාවය නිසයි. ඒ දවස්වල ලංකාවේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් ගෙන්වා කරන ලද දැවැන්ත සංගීත ප්‍රසංගවල පවා නිවේදකවරයා ඔහුමයි. එය නිවේදකයකු ලෙස ඔහුගේ ගමනට දැවැන්ත ශක්තියක් වුණා.

ඒ වගේම ස්ලිම්ලයින් ආයතනයේ 5S සංකල්පය පිළිබඳව භාරව සිටි ගුණසිරි බණ්ඩාර මහතා ආයතනයේ සාමාන්‍ය අධිකාරී බවට පත් වූ පසුව, ඒ වගකීම ඔහු විසින් සංජීව වෙත භාරදෙනු ලැබුවා. එහි 5S instructor ලෙස ඔහු ආයතනයේ හය දහසක් පමණ වන සේවක සේවිකාවන්ටත්, විශේෂයෙන්ම අලුතෙන් පැමිණෙන සේවිකාවන්ට සහ  ඔවුන්ගේ දෙමාපියන්ටත් එම සංකල්පය පිළිබඳව දේශන හා වැඩසටහන් පැවැත්වූ අතර, ස්ලිම්ලයින් ආයතනයේ 5S සංකල්පය පිළිබඳව හදාරන්නට පිටතින් පැමිණෙන පහසල්වල ඒ වගේම විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සියලුම දෙනාට 5S පිළිබඳව දේශන පැවැත්වූයේ සහ වැඩසටහන් පැවැත්වූයේ සංජීවයි.

ඒ විතරක් නෙවෙයි. ලෝක ගුරු දිනය, ළමා දිනය වැනි විවිධ උත්ත්සව සඳහා දේශන පැවැත්වීමට ඩයන් මහතාට අවට පාසල් වලින් ආරාධනා කරනු ලැබුවත් බොහෝ වෙලාවට ඒ දේශන සඳහා සහභාගි වුණේ සංජීවයි. මේ දේවල් තුළින් සංජීවගේ මාධ්‍ය ජීවිතයට යෝධ ශක්තියක් ලැබුණා. මෙහිදී සංජීව නැවතත් ඔහුගේ සිංහල ගුරුතුමිය ලතා මළලසේකර මහත්මියව සිහිපත් කළා. ඔහු පවසන්නේ සිංහල භාෂාව පිළිබඳව දැනුම හැකියාව සහ කැමැත්ත ඇති කළේ එතුමිය බවයි. අදටත් ඕනෑම කටයුත්තකදී නිරතුරුවම සිහි වන්නේ ඕනෑම කටයුත්තකදී භාෂාව හරියාකාරව හැසිර විය යුතු බවට ඇය දුන් උපදෙසයි. 

ඒ වගේම පසුකාලීනව Slimline ආයතනයේ CSR අංශය භාරව කටයුතු කළේත් සංජීවයි. කැනඩාවේ CSR කියන්නෙ Customer service representative වුනාට ලංකාවේ CSR කියන්නේ Corporate social responsibility කියන එකටයි. සෑම විශාල ආයතනයක්ම තමන් ලබන ආදායමෙන් කොටසක් වෙන් කොට ඒ මුදල් වලින් සමාජ මෙහෙවර සිදුකළ යුතුයි. එම අංශය තමයි CSR. එම අංශය තුළ විවිධ ව්‍යාපෘති කිරීමෙන් තම ජීවිතයට විශාල ප්‍රමාණයක් පින් රැස් කරගන්නට ලැබුණු බවත්, ඒ අතරින් අමතක නොවන ව්‍යාපෘති ලෙස සම්පූර්ණයෙන්ම නාය ගිය රත්නපුර පලාවෙල ගම්මානයේ පවුලකට සාදා දුන් නිවසත්, එම ගංවතුරට ගංවතුරටම හසු වූ රත්නපුර අයගම විද්‍යාලයට සාදා දුන් පුස්තකාලයත් මෙන්ම සඳලංකාව තඹකන්ද මහමෙව්නා භාවනා අසපුවේ උඩ කොටසේ පිහිටි කු‍ටි වලට වතුර ලබාදීමේ ව්‍යාපෘතිය ඔහු සඳහන් කරනවා. කැලේ මැදින් උඩට වතුර ගෙන යන්නට මාස එකහමාරක් පමණ ගත වූ නිසා ඒ කාලය පුරාවටම ඔහුට ස්වාමීන්වහන්සේලා සමග කටයුතු කරන්නට ලැබීම තුළින් ඔහුගේ ජීවිතයට වෙනමම වටිනාකමක් එක් වූ බව ඔහු පවසනවා.

සරසවියේදී ජනමාධ්‍යවේදී විශේෂ උපාධිය හැදෑරීම නිසා ලැබූ දැනුම මිල කළ නොහැකි අතර ඒ කාලයේදී  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලේක්හවුස් ආයතනය, තුළ කටයුතු කරන්නට ඔහුට ලැබුණු අවස්ථාව, ජනමාධ්‍යවේදියකු ලෙස ඔහුගේ ගමනේදී, සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුණා සේම එය ඔහුට දැවැන්ත පන්නරයක් ලබා දුන්නා.

උපාලි ආයතනයේ වැඩ කරන්නට පෙර ඇත්තෙන්ම පළමු රස්සාව FM99 එකේ කිව්වොත් එය සත්‍යයක්. එය කුඩාවට පටන් ගත්ත  නාලිකාවක්. නමුත් පසුව ශ්‍රී FM,  සවන FM බවට පත්වුණේ එම නාලිකාවයි. එහිදී ඉඳුනිල් දිසානායක වැනි ප්‍රවීණයන් සමග එකම බීම් එකේ වැඩ කරන්නට ලැබුණු අවස්ථාව ඔහු සිහිපත් කළේ ඔහුට හිතාගන්නටත් බැරි අවස්ථාවක් ලෙසයි. ඇය වැඩසටහනට සූදානම් වන ආකාරය, වචන හසුරුවන ආකාරය, ඇයට වචන ගලා ගෙන එන ආකාරය, සිහි වනවිට ඇයත් සමග වැඩසටහන් මෙහෙයවන්නට ලැබීමම ඉතා විශාල වාසනාවක් බව ඔහු පැවසුවා.

නිවේදක ජීවිතයේදී ඔහුට සෙවන ලැබුණු තවත් දැවැන්ත වෘක්ෂයක් තමයි ආරියදාස පීරිස් මහතා.

නිතරම ජයකොඩි සර් සහ චරිතා අක්කා ඇසුරු කරන්නට ලැබීමම ඔහුගේ කලා කටයුතුවලට මෙන්ම ජීවිතයේ සියලුම කටයුතුවලට දැඩි ශක්තියක් වුණා. නිතර ඔවුන්ගේ ගෙදර යන නිසා ආරියදාස අංකල් හමුවුණා. ඔහුගෙන් නිතර ලැබුණු ගුරුහරුකම් හා උපදෙස් සැබෑ නිවේදකයෙකු යනු කවුද යන්න ඔහුට ඉතා හොඳින් වටහා දුන්නා. ඔහු පැමිණි ගමනේදී මේ හැමෝගෙන්ම ඔහුට ලැබුනේ මහා දැවැන්ත ශක්තියක්.

ඒ වගේම ඔහුගේ මාධ්‍ය කටයුතු මෙන්ම ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔහුට මහා ශක්තියක් වුණු කිසිසේත්ම අමතක කළ නොහැකි පිරිසක් ගැන ඔහු සිහිපත් කළා. ඒ තමයි පාසලේ මිතුරන් කණ්ඩායම. ඒ නාලන්දාවේ 89 කණ්ඩායම. ඔහු පවසන්නේ ලෝකයේ කොහේ ගිහින් කොතරම් මිතුරන් හමුවුණත් ඒ අතර ඉතාම හොඳ මිතුරන් හමුවුණත්,  ඔවුන් අතර ඇතිවන බැඳීම, පුංචි කාලෙ ඉඳන් පාසලේ එකට හිටිය මිතුරන්ගේ තියෙන බැඳීමට කිසිසේත්ම සම කරන්නට නොහැකි බවයි. 89 මිතුරන් අතරෙනුත් තවත් විශේෂ පිරිසක් සිටිනවා. ඒ කුඩා කල සිටම පාසලේ නේවාසිකාගාරයේ එකට සිටි 89 කණ්ඩායමේ සොයුරන් පිරිසයි. අපි කණ්ඩායම පැය විසිහතරම එකට ජීවත් වුණේ. එකම හැලියේ බත් කෑවේ. එකම පවුලක සහෝදරයෝ වගේ තමයි හැමදාම හිටියේ. අදටත් එහෙමයි. 89 කණ්ඩායමේ නොවුනත් නේවාසිකාගාරයේ හිටපු හැමෝම තුළ තියෙන්නෙ පුදුමාකාර සහෝදරත්වයේ බැඳීමක්. ඒ නිසා තමයි මම කියන්නේ පාසලේ ඇතිවන මිත්‍රත්වය කිසිවකට සම කළ නොහැකි බව. ළඟදීම එළි දකින මගේ අලුත්ම ගීතය නිර්මාණය වන්නේත්, මේ පාසල් මිත්‍රත්වය පිළිබඳවයි. 

ඒ වගේම ඔහුගේ දෙමපියන්, සහෝදර සහෝදරියන් සහ විශේෂයෙන්ම ආදරණීය බිරිඳ සහ පසු කාලීනව දරුවන් දෙදෙනාගෙන් ලැබුණු සහයෝගය නිරතුරුවම ඔහුට සෙවනැල්ලක් වුණා.

ඔය ඉන්න අතරතුරදී තමයි ඔහුට කැනඩාවට එන්න අවස්ථාව ලැබුණේ. ඒ 2009 වර්ෂයේදී.  සාමාන්‍යයෙන් මිනිස්සුන් කැනඩාවට ආගමනය  වන කාරණයට වඩා වෙනස් කාරණයක් ඔහුට බලපා තිබුණේ කැනඩාවට එන්න. ඒ කාලයේ Slimline ආයතනය හරහා කරන සමාජ කටයුතුවලට අමතරව පෞද්ගලිකවත් එහි සේවකයන් එකතුව විවිධ ව්‍යාපෘති සිදුකළා. 

ඔය අතරතුර  ඉතාලියේ පදිංචිව සිටිනා ඔහුගේ  සහෝදරියත්, ඇගේ ස්වාමියාත් ඇතුලු ඉතාලියේ සිටිනා  අනිකුත් ලංකික ජනතාව ගොඩක් දේවල් ලංකාව වෙනුවෙන් කරමින් සිටියා. රණවිරුවන්ට පාද සැපයීම වැනි ව්‍යාපෘති, පන්සල්, පල්ලි සහ පාසල් වලට කරන ව්‍යාපෘති ඒ අතර ප්‍රධානයි. ඒ කටයුතු බොහෝ විට ලංකාවේදී සම්බන්ධීකරණය කළේ සංජීව. එම අවස්ථාවලදී ඉතාලියේ සිටිනා අය ඒවාට දායක වන්නේ යුරෝ 100ක් වගේ මුදලකින්.  ලංකාවෙ නම්  වියාපෘතියකට  දායක වන්නේ රුපියල් 500ක් වැනි මුදලකින්. ඒ කාලයේදී නම් ඒ මුදල සුළු නැහැ. නමුත් ඒ කාලයේ යූරෝ 100ක් ලංකාවට එනවිට රුපියල් වලින් 17000ක් පමණ ලැබෙනවා. එම සංකල්පය තුළින් තමයි ඔහුටත් කල්පනාවට ආවේ ඔහුත් වෙන රටක හිටියනම් මේ වගේ දේවල් කරන්න පුළුවන් නේද කියල. 

ඔවුන් විවාහ වුන අලුතම ඔහුගේ බිරිඳ කිව්වා අපි දෙන්නටම උපාධි තියෙන නිසා ලේසියෙන් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් කියලා. ඇය ඒ සඳහා උත්සාහ කළත් සංජීව කියා සිටියේ ඇයි අපි වෙන රටකට යන්නේ? ඉගෙන ගත්තෙ හැදී වැඩුනේ මේ රටේ.  මොකටද වෙනත් රටකට යන්නේ වගේ හැඟීම්.  නාලන්දේ ඉගෙනා ගන්නා කාලයේ සිටම ආපු හැඟීම තමයි  මේ බෞද්ධ සිංහල රටින් වෙන රටකට නොයන අදහස. ඒ අනුව ඔවුන් එම අදහස අතහැර දැමුවා.

පසුකාලීනව MAS ආයතනයේ රස්සාවල් කිරීමත් සමගම තම ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ශක්තිමත්ව තිබුණ නිසා වෙන රටක් ගැන හිතන්නවත් අදහසක් තිබුණේ නෑ. නමුත් ඉහත සඳහන් කළ ව්‍යාපෘති වලින් වන සේවය  නිසා  වෙන රටක් ගැන හිතන්න ඔහු පෙළැඹී තිබුණා. ඔහොම ඔය අදහස හිතේ කැරකෙමින් තිබෙන අතරතුර ඔහුගේ කාර්යාලයේ පරිපාලන අංශයේ ප්‍රධානියා වූ ඔහුගේ පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙක් වන පාලිත පීරිස් එක පාරටම ඔහුට කතා කරලා කියලා තියෙනවා කැනඩාවට යන්න අවස්ථාවක් තියෙනවා අපි දෙගොල්ලම යමු කියල. ව්‍යාපෘතිවලට මුදල් යොදවන අදහසත් හිතේ  තිබුන නිසාවෙන් ඒ කියපු දේත් එකතු වී තිබුණා. 

එවකට ආයතනයේ උපදේශකවරයෙකුව සිටි සිරිල් ප්‍රනාන්දු නම් වූ පුද්ගලයාගෙන් තමයි ඔවුන් උපදෙස් ලබාගෙන තිබුණේ. ඔහුගේ උපදෙස් හරියටම හරි යන බව කොහොමත් දැනගෙන හිටියේ. පාලිත සහ සංජීව ඔහුගෙන් අදහස් වීමසද්දී ඔහු කියා සිටියේ  යන්න, මේ තමයි ඒ අවස්ථාව කියලා.  ඒ වෙලාවේම සංජීව හිතුවේ ඔහුගේ දෙමාපියන් ගැන නමුත් සිරිල් මහතා කියා තිබුණේ මේ රටේ ඉඳගෙන එකක් කරන වෙලාවේ පිටරටක ගියා නම් දාහක් කරන්න පුළුවන් නේද කියල. ඒ වෙලාවෙම ඔහු තම බිරිඳට කෝල් එකක් අරගෙන මේ බව කියලා තියෙනවා. ඇය ඒ වන විට සේවය කළේ MAS එකේ වෙනත් ආයතනයක.

මේ අදහස කියපු වෙලාවේ ඔහුගේ බිරිඳ කාර්යාලයේ තිබූණු රැස්වීමක  ඉඳලා තිබුණේ.   රැස්වීමත් අමතක වුණු ඇය පුදුමයට පත් වී “මොකක්” යනුවෙන් අසා තිබෙනවා. මොකද කවදාවත් වෙන රටකට යන්න බැහැ කියපු මනුස්සයා නිසා. 

ඉන්පසු කැනඩාවට පැමිණීම සඳහා ආයදුම් කරත් ඔහුගේ මිතුරා  කර ඇරියේ තම දරුවන් කුඩා නිසා ඔහුගේ බිරිඳ විරුද්ධ වූ නිසයි. ඉන්පසු ඒ පිළිබඳව එළවා නොගියත් වසර කිහිපයකට පසු ඔවුන්ට කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාව ලැබෙනවා. ඔහු පැමිණෙන විට නේවාසිකාගාරයේ හිටපු වජිර අයියා පවසා තිබුණේ “හෙළයා රට හැර යයි” යනුවෙනි.

ඔහු පැවසුවේ හිතාගෙන ආපු මට්ටමට කරගන්න බැරි උනාට පොඩි පොඩි මට්ටමෙන් හරි ලංකාවට උදව් කරන්න ලැබීම හරි සතුටක් බවයි.

උසස් පෙළ නිමාවීමෙන් පසුව එවකට රටේ පැවති තත්ත්වය නිසා ඔහු ජීවත් වුණේ මිල්ටන් මල්ලවාරච්චි නම් වූ මහා කලාකරුවාගේ නිවසේයි. නේවාසිකාගාරයේදී රනිල් මල්ලවාරච්චි නිසා එම පවුල සමග ගොඩනැගුණ මිත්‍රත්වය ඊට හේතු වුණා. එතුමාගේ බිරිඳ ස්වර්ණමාලා මල්ලවාරච්චි මහත්මිය එවකට ඔහුට මවක් වුනා. “හැමදාම උදේට ස්වර්ණා ඇන්ටි තේ හදන සද්දයට තමයි අපි නැගිටින්නේ. ඒ සද්දය හරියට එලාම් එකක් වගේ අපිට හුරු වෙලා තිබුණේ.”  එම ප්‍රදේශයේ විශාල කලාකරුවන් රැසක් පදිංචිවෙලා සිටියා.  එහිදී තමයි ඔහුගේ ආදරණීය බිරිඳ හම්බවන්නේ. ඊට අමතරව ඔවුන් සමගින් විවිධ ප්‍රසංගවලට  සහභාගි වීමට අවස්ථාවන් ලැබෙන්නේ එම ගෙදර ඉන්න කාලයේදී.  ඒවත් ඔහුගේ කලා ජීවිතයට ඉතාම වැදගත් සංසිද්ධි.

පොඩි කාලේ නාලන්දයට ආවේ පවක් කරලා කියල ඔහුට හිතුනට දැන් හිතෙනවා ඒ නිසා තමයි මේ තරම් පලපුරුද්දක් සහ විෂය දැනුමක් ලබා ගත්තේ කියලා. අවසානයේදී කියපු හොඳම කතාව වන්නේ ඔවුන්ගේ මිතුරියක් කියපු අපූරු කතාවක්. ඇය ඔහුගේ භාර්යාවට කිව්වලු අපේ මහත්තුරු මැරුණහම කොහේ යයිද දන්නේ නැහැ. ඒත් ඔයාගේ මහත්තයා මැරිච්ච දවසට ඔයාට කරදරයක් නැතුව ඉන්න තැන හොයා ගන්න පුළුවන් කියලා. ඒ කොහොමද ඇහුවාම නාලන්දේ තියෙන ලොකු මාර ගස් පෙළියේ රුක් දෙවියෙක් වෙලා ඉඳීවී කිව්වලු.  ඔවුන් එහෙම කියන්නේ ඇත්තටම ඔහු පාසැලට දක්වන ආදරය නිසාමයි. ඔහු තම දරුන්ට පවසා තිබුණේ, ඔහු මෙලොවින් සමුගත් දවසට මෙරූන් පැහැති වටේ රිදී රේඛාවක් සහිත  පෙට්ටියක දාලා ඉස්කෝලෙ ශාලාවක තියන්න කියලා.  තම පාසැලට තිබෙන ආදරය සහ කෘතගුණ ඔහු දක්වන්නේ ඒ ආකාරයට.   ඔහු අද වන විට යම්කිසි තැනක ඉන්නවනම් ඒ දේවල්  දෙමාපියන්ගෙන් හැරුණු විට ඔහුට ලැබී තිබුණේ පාසැල්වලින්. කුඩා කාලෙයේදී  මාතලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයෙන් ලැබුණු දේවල් තියුණු කරගෙන ඉදිරියට එන්න ලැබුණේ නාලන්දාවේදී. ඔහු කැනඩාවේ හිටියත් ලංකාවේ ආදි ශිෂ්‍ය සංගම් සමග සම්බන්ධකම් පවත්වාගෙන ගියත් මෙහේ තියෙන සංගමය සමග සම්බන්ධ වන්නට ඔහුට හිත දී තිබුණේ නෑ. ඒ එහි ක්‍රියාවලිය ඔහුගේ ප්‍රතිපත්ති වලට නොගැලපුණු නිසා. ටොරොන්ටෝ පන්සලේ විමලබුද්ධි ස්වාමීන්වහන්සේ පවසා සිටියේ කැනඩාවේ තිබෙන සංගමයටත් බැඳිලා වැඩ කරන්න කියලා. ඒ කීමටම ඊට බැඳී ටික කලක් හැකි උපරිමයෙන් කටයුතු කළා. නමුත් ඔහුගේ අරමුණ වන නාලන්දාවට සේවය කිරීම ඔහු බලාපොරොත්තු වන මට්ටමින් කරගන්නට බැරි නිසා ඔහු එම සංගමයෙන් ඉවත් වී තිබුණා. ඔහු කැනඩාවෙ ජීවත් වුණත් ලංකාවේ පාසල් කටයුතු වලට ඉතාමත් කැමැත්තෙන් සම්බන්ධ වන බව ඔහු පැවසුවේ ඉතාම ආඩම්බරයෙන් සහ සතුටින්. ඔහු පසුගිය නොවැම්බර් පළවෙනිදා නාලන්දාවට වසර සියයක් පිරුණු අවස්ථාවේදී ලංකාවට ගියේත් ඒ වෙනුවෙන්මයිි.

කැනඩාවට එනවිට ඔහු මුහුණු පොතේ ගිණුමක්වත් භාවිතා කර තිබුණේ නැහැ. ඒ නිසා ඔහුගේ යහළුවකු ඔහුට ගිණුමක් සාදා දී තිබුනේ කැනඩාවේ සහ ලෝකය පුරාම සිටින ආදී නාලන්දීයන් එකතු කර ගැනීමටයි. 

විශේෂයෙන්ම ඔහු මතක් කලේ සනත් පතිරණ නම් වු ඔහුගේ  ආදරණීය මිත්‍රයාවයි. ඔහු නාලන්දාවේ නේවාසිකාගාරයේදී හමුවුණ ආදරණීය සහෝදරයෙක්. ඔහු තමයි කැනඩාවට එන විට සංජීවට අවශ්‍ය සියලු කටයුතු සලසා දී තිබුණේ. එක කාමරයක් සහිත ඔහුගේ නිවසේ එම කාමරය සංජීවගේ පවුලට දී ඔවුන් දෙදෙනා සාලයේ බිම සති දෙකක් පමණ යනතුරුම නිදා ගත්තේ ඒ සහෝදරත්වයේ බැඳීම නිසයි. “ඒ දවස්වල බේස්මන්ට් හොයන්න යනකොට, සමහර බේස්මන්ට් දැක්කහම අපිට හිතුනා ඇයි අපි කැනඩාවට ආවේ කියලා. ඊට පස්සේ ටොරොන්ටෝ පන්සලේ විමලබුද්ධි හාමුදුරුවන්ගේ මාර්ගයෙන් අජිත් පීරිස් සහ මාරි පීරිස් කියන දෙන්නගෙ ගෙදර බේස්මන්ට් එක අපිට හම්බුනා. ඒක සම්පූර්ණ නිවසක් වගේ ඉතා ලොකු, ඉතාම ලස්සන පිරිසුදු තැනක්. එය අපිට අවුරුදු තුනක් යනකම්ම සුන්දර නිවසක් වුනා. අපි apartment  එකක් හරි ගෙයක් හරි බලන්න ගියේ නැත්තේ අපිට තේරුණා අපි ලංකාවෙ මොන තත්ත්වේ ඉඳලා ආවත් දරුවනුත් රැගෙන මේ වගේ රටකට ආවහම අවදානමක් තිබෙන බව. ඒ නිසා ලංකාවෙන් එනකොට ගෙනාපු හැම සතයක්ම ආරක්ෂා කරගන්න අපි හැම වෙලාවෙම කටයුතු කළා. ලංකාවෙදි වාහන වාහනවල ගියපු අපි මුල් කාලයේදී බස් එකේ ටිකට් එකට යන මුදල ඉතුරු කරගන්නට පයින් ගියපු අවස්ථා පවා තිබෙනවා. මොකද ලංකාවෙදි දීපු සැප සම්පත් ආපු ගමන් මෙහේදී දරුවන්ට දෙන්නට නොහැකි වීම අපේ ඔළුවට ලොකු බරක් වෙලා තිබුණ නිසා.” ඒ ඔහුගේ අදහස. 

පතිරණගෙන් පස්සේ අජිත් සහ මාරි යුවල  තමයි ඔවුන්ට කැනඩාවේදී ගොඩනැගෙන්නට අවශ්‍ය දැනුම සහ සහයෝගය ලබා දී තිබුණේ.  ඒ අතරට කැනඩාවේ ජීවන් රටාව, නීතිී රීති, දේශගුණය, දේශගුණයට අනුව අඳින ආකාරය, දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපදෙස් ආදී බොහෝ දේ ඇතුලත් වුණා. අජිත් තමයි රස්සාවකට ඔහුව යොමු කර තිබුණේ. මුලින්ම ඔහු දන්නා ආයතනයකට සංජීවව යොමු කරා. එයා ඉන්දියානු සමාගමක් වුණත් වැඩිපුරම සේවය කළේ ලංකාවේ එල්ටීටී සංවිධානය හා සම්බන්ධව කටයුතු කරපු පිරිසක්. ඔවුන් විසින් සංජීව සිංහලයකු වූ නිසා සතියක් ඇතුලත එම රැකියාවෙන් ඉවත් කරන්නට කටයුතු කරනු ලැබුවා. 

හැබැයි ඔහුව පුහුණු කරපු දාස් නැමති පුද්ගලයා දමිල වුනත් ඉතාමත්ම හොඳ මනුස්සයෙක් බව ඔහු පැවසුවා.

 පසුව අජිත් කෙසේ හෝ ඔහු සේවය කළ National Hose ආයතනයට සංජීවව ගත්තා. සංජීව එහි සේවය කරපු විසි එක් වෙනි සිංහලයා.  අජිත් තමයි ඒ හැමෝම එතෙන්ට ගෙනියලා තියෙන්නේ. ඔහු නිහඬව ගොඩක් සිංහල අයට උදව් කරන කෙනෙක්. වර්තමානයේ එහෙම සිංහල අය වැඩිය නැහැ.  ඔහුට ස්තූති කරන හැම විටම ඔහු සංජීවට කියා සිටියේ මට කරන ස්තුතිය තමයි, ඔයාට පුළුවන් වෙච්ච කාලෙක තවත් අලුතෙන් ආපු කෙනෙක්ට මේ වගේ උදව් කරන්න කියලා.  පසුකාලීනව සංජීවටත් ඒ වගේම අලුතෙන් ආපු දරුවන්ට උදව් කරන්න ලැබීම ගැන ඔහු හදවතින්ම සතුටු වෙනවා. සංජීව පසුගිය අවුරුදු 15 පුරාවටම අදටත් සේවය කරන්නේ එම ආයතනයේමයි. මේ වන විට අජිත් එම ආයතනයෙන් ඉවත්ව ගොස් සිටින අතර සංජීව අද සිටින්නේ එදා අජිත් සිටි ස්ථානයේයි. 

අජිත්ලගේ ගෙදරින් අවුරුදු තුනකින් යන්නට වුනේ අජිත් නිසාමයි. ඔහු නිතරම කිව්වේ මගේ ගෙදර හිටපු හැම කෙනෙක්ම අවුරුදු තුනක් යනකොට තමන්ගෙම ගෙයක් අරගෙන ගියා. ඕගොල්ලොත් අවුරුදු තුනක් යනකොට කොහොමහරි තමන්ගෙම ගෙදරකට යන්න ඕනේ කියලා. “ඒ පෙළඹවීම හා උනන්දු කිරීම නිසාම හරියටම අවුරුදු තුනකින් අපි අපේම නිවසක් ගත්තා.” 

අජිත්ලගෙ ගෙදර ඉන්න අතරතුර මුහුණු පොත නිසාම පන්තියේ හිටපු යාලුවෝ එකොලොස් දෙනෙක් පමණ කැනඩාවේ සිටින බවත් එයින් හත් අට දෙනෙක්ම ටොරොන්ටෝවේ සිටින බවත් දැනගන්නට ලැබුණා. මුහුණු පොතෙන් හමුවී සංජීව මෙහි ආ බව දැනගෙන  ඔහුට කතා කොට මුලින්ම නාලක අබේසිංහ මිත්‍රයා සංජීව සිටි ස්ථානයට පැමිණ එක් සති අන්තයක මිසිසාගාහී ඔහුගේ නිවසට රැගෙන ගියා. ඒ අවස්ථාවේදී ඔහු සංජීවලාව මිසිසාගා පන්සලට රැගෙන ගොස් ධම්මාවාස ස්වාමීන්වහන්සේට හඳුන්වා දුන්නා.  ඊට පස්සේ සංජීවලාව තම නිවසට රැගෙන ගියේ රවීන්ද්‍ර සිරිබද්දන මිතුරායි. ඉන් පසු හදිසියේම මතුවූ මිතුරා තමයි ප්‍රසාද් තිලකසේන. අනිත් දෙදෙනාම මිසිසාගා නගරයේ ජීවත් වුනත් ප්‍රසාද් සිටියේ ස්කාබ්‍රෝ නිසා ඔහු සංජීවට ලොකු හයියක් වුනා. ඔහු හැම දෙයක්ම සොයා බැලුවා. හැම සිකුරාදම හවසට සංජීවව ගෙදරට අවශ්‍ය බඩු ගෙන ඒම සදහා රැගෙන ගොස්  නැවත ගෙදරට ඇරලවා, බඩු ටිකත් ගෙදරටම ගෙනවිත් දී යෑම ඔහුගේ සිරිතක් වුනා.

අපි ආපු දවස්ල health card ගන්න ගියපු වෙලාවෙ උජිත රත්නායක  මල්ලි එතනදි හමු වෙලා අපි සිංහලෙන් කතා කරනවා ඇහිලා අපිට කතා කරා. සිංහලෙන් කතා කරනවා ඇහෙන විට අහක බලා බලාගන්නා පිරිසකුත් සිටින අතර උජිත මල්ලී අපිව අන්දුරන්නෙත් නැතුව ගෙදරටම ගෙනත් ඇරලුව.  මම මේ හැමෝම මතක් කරේ මේ අය තමයි මුල්ම කාලේ අපිට ගොඩනැගෙන්නට උදව් කළේ. 

නාලක, ධම්මාවාස හාමුදුරුවන්ව හදුන්වා දීම දෛවෝපගත සිදුවීමක් වුනා. උන්වහන්සේ හඳුනා ගැනීම තුළින් 2010 කැනඩා සිංහල සංගමයේ වාර්ෂික සභා රැස්වීමට උන්වහන්සේ ඔවුන්ව  යවා තිබුණේ  සිංහල සමාජයට හොඳට වැඩ ගන්න පුළුවන් පවුලක් එවනවා, එයාලව හොඳට බලාගන්න කියලා. 

ඒ තමයි ඔහුගේ ටොරොන්ටෝවේ සමාජගත වීම.  එහිදී ගර්ලි අක්කාත් රංජනී අක්කාත් ඔවුන්ව පිළිගෙන ශාලාව තුළට කැඳවාගෙන ගිය බව තමයි ඔහු පැවසුවේ. එම රැස්වීමෙන්  පසුව සංගීත වැඩසටහනක් තිබුණු නිසා ඔහුට හමුවන්නේ සුනිල් ජයසිරි සංගීතවේදියා. එතැනදී  ඔහුගේ බිරිඳ කුඩා දරුවෙකු කල සිටම සුනිල් මාමාව අඳුනන නිසා සංජීවටත් සුනිල් ජයසිරි සංගීතවේදියාව අඳුනගන්න ලැබුණා. ඒ තමයි කැනඩාවෙදි පළවෙනියෙන්ම සිංදුවක් කියපු දවස. එදවස එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීත දෙකක් ඔහු ගායනා කර තිබුණා. ඒ තමයි ඔහුගේ කැනඩා ගීත ලෝකයේ ආරම්භය. මුලින්ම සංජීව හඳුන්වා දුන්නේ සංජීව අබේරත්න ලෙස නොව එඩ්වඩ් ජයකොඩි ගායන ශූරීන්ගේ ගෝලයෙකු ඇවිත් කියලා. “ඒ නිසා මිනිස්සුන්ගෙන් මට ගොඩක් ලොකු ආදරයක් ලැබුණා. එයට හේතුව හැමෝම ජයකොඩි සර්ට ගොඩාක් ආදරේ කරන නිසා”. “මුල් කාලේ සිකුරාදා  සෙනසුරාදා හවසක ගෙදර සිටි දවසක් නැති තරම්. සතියේ බදාදා විතර වන විට කවුරුහරි කතා කරල රෑ කෑමකට ආරාධනා කරනවා. ඒක රෑ කෑමක්ම නෙවෙයි  තවත් පවුල් දෙක තුනක් සමග  පොඩි සංගීත ප්‍රසංගයකුත් පවත්වන්න හැමදෙනාම වගේ පුරුදු වෙලා හිටියා. යන ගොඩක් තැන්වල බොහෝ විට සුනිල් අයියාවත් ගෙන්නනව.  (සුනිල් මාමා උනාට දැන් කියන්නෙ සුනිල් අයියා කියලා) සමහර වෙලාවට ඒ ගිහින් එන්නේ පහුවදා උදේ කිරිබතුත් කාලා තමයි”. කියා ඔහු පැවසූවේ සිනහ මුසුව. 

“අපි යන හැම තැනකම දුවලා දෙන්නත් අරගෙන තමයි යන්නේ. ඒ දෙන්නත් සින්දු කියන නිසා ගොඩක් රෑ වෙනකම්ම සිංදු කියලා ඒ ගෙවල්වල සෝපාවේ නිදාගන්නවා”  

ඔය අතරතුරු සුනිල් මහත්මයාගේ මේ සෞම්‍ය රාත්‍රිය ප්‍රසංගය  පවත්වන්න සූදානම් කරමින් සිටියේ. එම ප්‍රසංගය ඉදිරිපත් කිරීම සඳහා නිවේදිකාවක් සොයාගැනීමට බැරි වී සිටින වෙලාවක ඔහුගේ බිරිඳට ආරාධනයක් ලැබුණා නිවේදිකාවක් ලෙස ප්‍රසංගය ඉදිරිපත් කරන ලෙස.  ඇයට නිවේදන කටයුතුවල පළපුරුද්දක් නොමැතිවුණත් කළමනාකාවරියක ලෙස සේවකයින් හය දහසකට පමණ කතා කොට ඇති නිසාත්, මානව සම්පත් කළමනාකරන ආයතනයේ උපදේශකවරියක් ලෙස දේශන පවත්වා ඇති නිසාත් ඇයට කථිකත්වය පිළිබඳව විශාල අත්දැකීම් සම්භාරයක් මෙන්ම ඉතා මනාව සිංහල හා ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් ලැබී තිබුණු නිසා ප්‍රසංගය ලස්සනට ඉදිරිපත් කරන්නට හැකි වුණා.  එතැනදී හමුවු නිමල් පෙරෙරා මහත්මයා ඇයට කලාකවය වැඩසටහනට ආරාධනා කළා. ඇයට නිවේදන කලාව පිළිබඳව ලොකු පලපුරුද්දක් නොමැති නිසා ඇය කරන පොඩි පොඩි අතපසුවීම් හදන්න සංජීව පුරුදුවෙලා හිටියා. එහෙම අවස්ථාවක නිමල් මහතා කිව්වලු මට වඩා සංජීවටනේ අඩුපාඩු පේන්නේ දැන් මම නෙමෙයි සංජීව තමයි ඩිරෙක්ටර් කියලා.  ඒ වෙලාවේ ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර සිටියේ ලංකාවෙදි මම නම් නොවෙයි නිවේදන කටයුතු කළේ මෙයා තමයි  නිමල් මහතා කියලා.  ඒ දවසේ තුෂාරිට වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරන්න තිබුනලු. ඒ වෙලාවේ නිමල් මහතා කිව්වලු එහෙනම් එක ප්‍රෝග්‍රෑම් එකක් අද සංජීව කරන්නකෝ කියලා. එදා සංජීව ක්ෂණිකව ඒ වැඩසටහන ඉදිරිපත් කළා. ඒ කැනඩාවේ ඔහුගේ රූපවාහිනී නිවේදක සම්ප්‍රාප්තිය. ඊට පෙර සුනිල් මහතා සමග විවිධ සංගීත වැඩසටහන්වල ඔහු නිවේදකයකු ලෙස කටයුතු කරමින් ගායකයෙකු මෙන්ම නිවේදකයකු ලෙසද ඔහු සතු හැකියාව පෙන්වා තිබුණා.  පසුව ඔහු සහ ඔහුගේ බිරිඳ පමණක් නොව ඔහුගේ දියණියන් දෙදෙනාද කලාකවය තුළ ළමා වැඩසටහන් අපූරුවට ඉදිරිපත් කළා. ටික කලක් කලාකවය තුළ කටයුතු කරන විට මිනිසුන් කියා සිටියේ ඔවුන්ගේ සිංහල පරිහරණය ඉතාමත්ම සුන්දර බවයි.

සංජීව නිරතුරුවම ඔහුගේ දරු දෙදෙනාට පවසා සිටියේ අපි හැකි හැම විටම සිංහල  ප්‍රජාවට යම්කිසි දෙයක් කළ යුතු බවයි. අපේ භාෂාවෙන් වැඩක් කළ යුතු බවයි. ඔහු හිතන විදිහට ඔවුන් දෙදෙනා හැකි උපරිම ආකාරයට ඒ සිදු කොට තිබෙනවා. අදටත් ඔහු එය කරගෙන යන බවයි පෙනෙන්නේ. 

ඒ කාලය වන විට ටොරොන්ටෝවේ පැවැති බොහෝ වැඩසටහන්වල නිවේදන කටයුතු කළේ ඔහුයි. සිංහල සංගමයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වූ නිසා නිවේදන කටයුතු සහ ගායනා කටයුතු වලින් ඉදිරියට එන්නට හොඳ අවස්ථාවක් උදා වුනා. එවකට හිටිය සභාපති වන්නි ධනවර්ධන මහතා ඇතුළු නිලධාරි මණ්ඩලයත් සෑම විටම සම්බන්ධීකරණ කටයුතු කළ රංජිත් පෙරේරා මහතාත්, සිංහල සංගමයේ සියලු කටයුතුවල සංගීත ශිල්පියා ලෙස කටයුතු කළ සුනිල් ජයසිරි මහතාත්, තමන්ට ලොකු සහයෝගයක් ලබා දුන් බව ඔහු පවසා සිටියා. “ඉන්පසුව පැමිණි සියලුම සභාපතිවරු ඇතුළු නිලධාරි මණ්ඩලය එම සහයෝගය දිගටම ලබා දුන්නා. ඒ අතරින් සංගීතඥයෙකු ලෙසද අප සමග කටයුතු කළ සාලිය තිසේරා මහතා නිවේදකයකු ලෙස මා තුළ තිබූ හැකියාව ඉතාමත් ඉහළින් අගය කළ කෙනෙක්. ඒ සියලු දෙනාම නිසා කැනඩාවේ සිංහල ජනතාවට සේවයක් සිදු කළ යුතුයි කියලා මගේ හිතේ තිබුණු අදහස මුදුන්පත් කරගන්නට ඒක ලොකු හයියක් වුනා” ගායකයකු ලෙස ඉදිරියට පැමිණියේ සුනිල් මහත්මයා නිසා බව ඔහු නැවතත් පැවසුවා. ඒ වගේම ගායකයෙකු ලෙස ඔහු තවත් විශේෂ පුද්ගලයෙක් සිහිපත් කළා. “කැනඩාව තුළ මා පැමිණි ගමනේදී අනිවාර්යෙන්ම මොහුව සිහිපත් කළ යුතුයි. ඔහු පිළිබඳව කියනවා නම් මුළු කැනඩාව පුරා ගොස් මුලු ලෝකයටම ඇසෙන්නට ශබ්ද නැගුවත් බොහෝ නිශ්ශබ්ද, අහිංසකව ජීවත් වන නමුත් දැවැන්ත සංගීතඥයෙක්. ඔහු තමයි සුමුදු ද ෆොන්සේකා. සුමුදු මල්ලි ඇතුළු මෙට්රික්ස් සංගීත කණ්ඩායම මටත් මගේ දියණියන් දෙදෙනාටත් කලාකරුවන් ලෙස ඉදිරියට එන්නට     ඔවුන්ට හැකි උපරිම සහයෝගය ලබා දුන්නා”.  “ඒ වගේම සරත් අයියා (සරත් කුමාරසිංහ) ඔහුගේ ප්‍රසංග වලට මාව සම්බන්ධ කරගත්තා.”

“ඒ වගේම තමයි අජිත් අයියාව (අජිත් ජිනදාස මහතා) මතක් කල යුතුමයි. ඔහු නිරතුරුවම මා පමණක් නොව  මාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාවද අගය කරනු ලැබුවා. මගේ දියණිය සුනිල් අයියගේ සංගීත කණ්ඩායමේ සංගීතය සපයන විට ඔහු ඇයව ඉතා උසස් ලෙස අගය කරනු ලැබූ අවස්ථා අපමණයි. ඔහු බොහෝ වෙලාවට අපව හඳුන්වා දුන්නේ ටොරොන්ටෝවේ කලා පවුල ලෙසයි. 

ඔහු නිතරම කියපු දෙයක් තමයි “මම නෙවේදකයෙක් නෙවෙයි බං.  මං නළුවෙක්. මුං කියන හින්දා කරනවා. උඹලනෙ බං නිවේදකයෝ, උඹලනේ බං ගායකයෝ” කියලා. ඒ විදිහට ඔහු අපව නිරතුරුවම අගය කරනු ලැබුවා.

ඔහුගේ දියණියන් දෙදෙනාද සිංහල ප්‍රසංග වල ගීත ගායනා කිරීම් නැටුම් ඉදිරිපත් කිරීම් වල දකින්නට ලැබුනා.  මේ වෙලාවෙ  ඔහු මතක් කලේ නිලන්ති හෙට්ටිගේ මහත්මිය. ඇයගේ නැටුම් කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් සඳහා ඔහුගේ දරුවන් දෙදෙනාම සැදී පැහැදී සිටියහ.   

කලාකවයේ යහපත ගැන සිතා වැරදි පෙන්නලා දෙන්න ගිහින් ඒවා ගැන කතා කරන්න ගිහින්, සිත රිදවා රිදවාගන්නට නොහැකි නිසා, පසු කාලයකදී කලාකවයේ කටයුතු වලින් ඉවත් වුණත්, නිමල්ව මහතාවත් ශාන්ති අක්කාවත් ආදරයෙන් මතක් කරනවා. අදටත් ශාන්ති අක්කා සමග ලොකු බැඳීමක් තියෙනවා. මට බයක් තිබුණා . නිමල් මහතාව ත්නැති වුනාට පස්සේ ශාන්ති අක්කා කලාකවය අතහරියි කියලා. මොකද ඒ දවස්වල තාත්තට උදව් කරාට එලියට බැහැලා කටයුතු කරන්නට අක්කට එච්චර උනන්දුවක් තිබුණේ නැති නිසා. නමුත් අද වන විට ශාන්ති අක්කාත් රාජගුරු සොහොයුරාත් බුද්ධික ඉඳුරුගල්ල වගේ වෘත්තීය අත්දැකීම් ඇති සහ අමා රණතුංග නංගි වගේ උත්සාහයෙන් දක්ෂතාවය දියුණු කරගත් නිවේදකයින් සමග එක්වී කලාකවය හොඳ තැනකට ගෙනැල්ලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි. 

කලාකවයෙන් ඉවත් වූ පසු අපි අනුග්‍රාකත්වය සපයන්නම් වෙනම චැනල් එකක් පටන් ගන්න කියල සමහරු ආරාධනා කළා,  නිමල් මහතා කියන්නේ ඉතාම සංවේදී මනුෂ්‍යයෙක්. ඒ නිසාත් ඔහු කෙරෙහි මා තුළ වූ ගෞරවය නිසාත් ඒ ගැන එතරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. 

ඒ කාලයේ  අපේ‍ රූපන මාධ්‍යයේ අධිපති‍ වීරා මහත්මයත් එහි වැඩ කළා. පසු කාලයකදී ඔහුත් කලාකවයෙන් ඉවත් වූ පසු අලුත් චැනල් එකක් පටන් ගැනීමේ ඉල්ලීම ඔහුටද ලැබී තිබුණා. දිනක් ඔහු මේ පිළිබඳව සංජීවගෙන් විමසූ විට ඔහු කියා තිබුණේ, මල්ලි මටත් ඔය ඉල්ලීම ආවා. ඒත් නිමල් මහතාගේ හිත රිදවන්න බැරි නිසා මම ඒක කලේ නැහැ. නමුත් දැන් නිමල් මහතා නැති නිසා ඔයා ඒක කරාට කමක් නැහැ. 

මොකද දැන් ටොරොන්ටෝවේ සිංහල මිනිසුන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වන නිසා අපිට එක චැනල් එකක් විතරක් තිබිලා මදි. ඔයා අපේකම වෙනුවෙන් හොඳ වැඩක් කරනවනම් දෙන්න පුළුවන් ඕනෙම උදව්වක්  එකක් දෙන්නම් කියයි. පසුව රූපණ ඉදිරිපත් කිරීම් වලට වීරා සහෘදයා සංජීවව සම්බන්ධ කරගනු ලැබුවා. ඔහු රූපණ පටන් ගත්ත දවසේ ඉඳන්ම එයට උදව් කරමින් අද වනතුරු එම වැඩසටහන් තවමත් කරගෙන යනවා ඒ අය සමග. කලක් ඔහු වැඩසටහන අධ්‍යක්ෂණය කිරීමෙන් පවා සහයෝගය ලබා දුන්නා.

ඊට අමතරව  ඔහු සිංහල  ප්‍රජාවගේ වැඩවලට සහභාගී වෙන අවස්ථාවන් කැමැත්තෙන්ම කරගෙන යන බව පෙනේ.  ඔහුට වැඩකට කවුරු හරි කතා කළොත් පුද්ගලයාගේ අදාලත්වයක් නැතුව ඔහුට එය කරන්න පුළුවන්ද බැරිද යන්න, සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට ගැලපෙනවාද යන්න පමණක් සිතා වැඩ භාර ගැනීම ඔහුගේ පුරුද්දක්. ඔහුට පලපුරුද්දෙන්ම තිබෙන සහජ දක්ෂතාවය මිනිසුන් පාවිච්චි කරන  බව වටහා ගත් නිසා මුදල් උපයන වැඩවලදී  ඔහු මුදල් අය කරන බව පැවසුවා. නමුත් පන්සල්වල සහ සිංහල සංගමේ කටයුතු මෙන්ම තවත් කෙනෙකුට හෝ කණ්ඩායමකට උදව් කිරීම පිණිස කරන වැඩකටයුතුවලදී  ස්වේච්ඡාවෙන්ම හැකි උපරිම සහයෝගය ලබාදෙන්නට ඔහු කැමැත්තක් දක්වනවා.. ඔහු පැවසුවේ ගීත ගායනා කිරීම සහ නිවේදන කටයුතු යනු කාර්යයන් දෙකක් බවයි.  ගීත ගායනයේදී වේදිකාවට ගොස් ගායනා කර බැස ගියාම ඒ වැඩේ ඉවරයි. නමුත් නිවේදකයෙක් කියන්නේ පටන් ගන්නකොට ආයුබෝවන් කියපු තැන සිට අවසානයේ ස්තූතියි කියන තෙක් වේදිකාවේ රැදී  සිටිය යුතු බවයි. ප්‍රසංගයන්හිදී කලාකරුවන්ට සංග්‍රහ කරන්න වෙනම කමිටුවක් තිබෙන නමුත් නිවේදකවරු ගැන බලන්න කවුරුවත් නැහැ.  වැඩසටහන්වලදී ඔවුන් ගැනත් බලන්න කියලා මේ අවස්ථාවේදී ඔහු ඉල්ලා සිටියා.

ලංකාවේදී නම්  විවිධ ප්‍රසංග වල  අවසානයේ ප්‍රසංගය බලන්න එන  මිනිසුන් මත්පැන් පානය කිරීමෙන් පසු ගීත ගායනා කරන්න අවස්ථාව ඉල්ලනවා. එහෙම නැත්නම් එක එක දැන්වීම් ප්‍රචාරය කරන්නට, සහ විවිධ පණිවිඩ ලබා දෙන්නට ඉල්ලනවා. එවිට ප්‍රශ්න ඇතිවන්නේ නිවේදකයා සමගයි. ඒ නිසා නිතරම ඔහු පැවසූවේ ප්‍රසංගය සහ නිවේදකයාව සම්බන්ධීකරණය කරන්න කෙනෙකු පත් කරන ලෙසයි. එවිට ඒ සියල්ලම ඔහුගේ වගකීමයි. ඒ නිසාම මෙවර නිදහස් උත්සවයේදී ද පළමුවැනි රැස්වීමේදීම ඔහු ඉල්ලා සිටියේ සම්බන්ධීකරණය කරන්න කෙනෙකු පත් කරන ලෙසයි.   එහි ප්‍රතිඵලයක් ලෙස කොන්සල් සභාවේ නිලධාරිනියක් වූ තුෂාරි සහ සම්පත් පෙත්තාවඩු සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කරලා තිබීම ඔහුට සතුටක් ගෙන දුන් කාරණාවක්. 

ඒ අයුරින්ම  නිවේදකවරු එවැනි දුෂ්කරතා මාධ්‍යයේ වුවද භාරගත් වැඩ කරන්න පුරුදුවී සිටින බව ඔහු පවසනවා. 

නාට්‍ය ගැන කතා කළොත් පාසල් කාලයේදී වික්‍රම සෙනෙවිරත්න ගුරුතුමා යටතේ ඔහු නාට්‍ය ගැන හදාරන්න පටන් ගෙන තිබුණේ. ඒ වගේම කිංස්ලි ලෝස් සහ සුවිනීතා වීරසිංහ යන නාට්‍ය කරුවන් සමග පුහුණු වීම්වලට සහභාගි වී තිබුණා.  ඔවුන්ගේ ජේෂ්ඨ කණ්ඩායම  නාට්‍යයක් පුහුණුවීම් කර ලයනල් වෙන්ට් ශාලාවේ රඟ දක්වනනට සූදානම්ව තිබියදී, යම් යම් හේතූන් මත ජේෂ්ඨ රඟ දක්වන්නන් මගහැරුණු මොහොතක කඩිනම් පුහුණුවීම් මඟින් එම නාට්‍ය පුහුණු කර රඟ දක්වන්න සිදුවූ නිසා එම පන්තියේ සිටි ඔහුටත් එම නාට්‍ය මාලාවේ රඟපාන්න අවස්ථාව ලැබී තිබුණා.  එහිදී වීදි නාට්‍ය හතරක් වේදිකාවක් මට රඟපෑම හේතුවෙන් “සම්මත වේදිකාවේ සීමාවන් පුපුරවා හැර නාට්‍ය 4” ලෙස එය නම් කොට තිබුණා.

පාසලේ වික්‍රම සෙනෙවිරත්න මහතා යටතේ නාට්‍ය සහ රංග කාලාව ආරම්භ කළ ඔහුට කැනඩාවෙදි බන්දුල කුරුවිට ආරච්චියන්ගේ කෙටි නාට්‍යයකදී ඔහුගේ පොඩි දුවත් සමග පොඩි කොටසක් ඉදිරිපත් කරන්නට ලැබී තිබුණා. කැනඩාවේ දී  නාට්‍ය ගැන ඔහුට වැඩි උනන්දුවක් දැනී තිබුණේ නැහැ. කවුරුත් ඔහුට රඟපාන්නට හැකියාවක් තිබෙන බව දැනගෙන හිටියෙත් නැහැ. කැනඩාවට ඇවිත් වසර ගණනාවකට පසු හදිසියේම ඔහුට බන්දුල මහත්මයාගේ නාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. ඉන්පසු බන්දුල මහතාගේ නාට්‍යය කීපයකම සහ වෙනත් අංග කිහිපයකම රඟපාන්නට අවස්ථාව ලැබුණා. ඒ අතරින් සම්මාදිට්ඨි නාට්‍යය තමයි ඔහුගේ කැමතිම නාට්‍ය. හුට්ටප්පරේ නාට්‍යය තුළදී ඔහු මෙතෙක් කිසිම කලෙක රඟ නොපෑ ආකාරයේ චරිතයක් රඟපාමින් නළුවෙකු ලෙස තවත් පියවරක් ඉදිරියට තැබුවේය.

සංගීතය ගැන කියද්දි සුනිල් මහත්තයා මතක් කරන ගමන්ම නිලන්ති මහත්මියද ඉතාමත් දැඩි සහයෝගයක් ලබා දී තිබුණු බව මතක් කලේ නිරහංකාරව.  “අපිට නිරතුරුවම යටිතල පහසුකම් සපයා දී, ඒ වගේම කෑම බීම ලබාදී, සමහර අංගවලට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සකසා දී නිලන්ති අක්කා ලොකු සහයෝගයක් ලබා දුන්නා. කැනඩාවේදී  සංගීතයෙන් ඔහුවත් දියණියන් දෙදෙනාවත් එලියට රැගෙන ආවේ සුනිල් අයියා බවත් ඔහුගේ දියණිය සුනිල් අයියාගේ සංගීත වෘන්දයේ සංගීතය සපයන මට්ටමටම වයලීනයෙන් ඉහලට ගෙනා බවත් පැවසු අතර ඔහු කියා සිටියේ සුනිල් අයියා මගේ දුව විතරක් නෙවෙයි. ටොරොන්ටෝවේ ජීවත් වන ශ්‍රී ලාංකික දරුවන් විශාල ප්‍රමාණයක් අපේ සංගීත ක්ෂේත්‍රයට යොමු කරන්නට විශාල මෙහෙවරක් සිදුකළ බවයි. ඒ වගේම වැඩිහිටියන් විශාල ප්‍රමාණයකට ගායක ගායිකාවන් ලෙස එළි දකින්නට සහයෝගය ලබා දුන් බවත් විහාරස්ථාන ඇතුළුව ටොරොන්ටෝවේ පැවැත්වුණු සියලු කටයුතුවලට ඔහු දැක්වූ දායකත්වය ඉතාමත් විශාල බවත් අද වන විට ඔහු සිදුකළ එම කාර්යයන් ඇගයීමකට ලක් නොවීම කනගාටුවට කරුණක් බවත්ය. 

ඒ වගේම නාට්‍ය පැත්තෙන් ඔහුව එලියට හඳුන්වා දුන්නෙ බන්දුල අයියා බව මතක් කලේ හරිම සෙනෙහසෙන්. 

ඔහුත් මේ ටොරොන්ටෝව තුළ දරුවන් විශාල පිරිසකට මෙන්ම වැඩිහිටියන්ටද නාට්‍ය හා රංග කලාව පිළිබඳව දැනුමක් ලබා දුන්නා සේම සිංහල භාෂාව කතා නොකළ දරුවන්ට සිංහල භාෂාව කතා කිරීම පිළිබඳව විශාල දැනුමක් ලබාදෙන්නට කටයුතු කළ කෙනෙක්.

ඔහුගේ  අනිත් ශක්තිය වුණේ ඔහුගේ පන්තියේ සිටි මිතුරු කැල. ඒ අතරින් ඔහුගේ නිවස ළඟම සිටි සහෘදයෙක් වන ප්‍රසාද්  තිලකසේන ඔහුට  විශාල ශක්තියක් වු බවද, ඔහුව මුලින්ම මිසිසාගා විහාරස්ථානයට හඳුන්වා දුන් නාලක අබේසිංහද, මුහුණු පොතේ ඔහුව දුටු විට “නියම පොරක් ටොරොන්ටෝ වලට බැහැලා ඉන්නේ” කියාගෙන සංජීව හොයාගෙන පැමිණි රවීන්ද්‍ර සිරිබද්ධනත් ඔහුට  ශක්තියක් වූ බව පැවසූවේ හරිම ලෙන්ගතුව.  එමෙන්ම  මුහුණු පොතේ දැක්ක ගමන් ඔහුව රැගෙන ගොස් අනිත් මිත්‍රයන්ටද ඔහුව  මුණ ගස්වා ඉදිරියට රැගෙන ගියේ ඔවුන් බව සංජීව නැවතත් මතක් කලා.

ඔහු එකපාරටම තවත් විශේෂ සිදුවීමක්  මතක් කළා.   ඒ  බෞද්ධයකු වූ ඔහුවත් පුදුම කරපු සිදුවීමක් බවයි ඔහු පවසා සිටියේ.  එනම්, ඔහුගේ පුංචි කාලයේ ගුරුතුමිය වන ලිලියන් මහත්මිය මාතලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ ප්‍රසංගයක් සඳහා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ලෙස ආරාධනයක් කිරීමයි. ඔහු එතරම් ලොකු මිනිසකු නොවන නිසා එය ප්‍රතික්ෂේප කරද්දී ඇය ප්‍රකාශ කර තිබුනේ ඇයට අවශ්‍ය ලොකු මිනිස්සු නොවෙයි තවමත් පාසැලට ආදරය කරන ඔබ වැනි සුන්දර හදවත් ඇති මිනිසුන් බවයි. එදා පාසලේ දී විශේෂ කතාවක් ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඔහු තවත් දෙයක් විශේෂයෙන් මතක් කළා. ඔහු කුඩා කාලයේ පාසල් ගිහින් තිබුනේ ගමේ ගැහැණු කෙනෙක් සමගයි.  ඒ දවසේ ඔහුගේ මව කලින් පාසල නිමා කර (ඇය වෙනත් පාසලක ගුරුවරියක්) පාරේ අනික් පැත්තේ ගමන් කරන බව දුටු ඔහු “අම්මේ” කියාගෙන පාර පැන්නේ කිසිම වාහනයක් නොතකා.  ඔහුගේ වාසනාවට ඉතා වේගයෙන් පැමිණි වෑන් රථය නැවතුනේ ඔහුගේ ඇඟේ ගෑවී නොගෑවීයි. ඒ කතාව පසුවදා අර ගැහැණු කෙනා පාසලේදී කියු නිසා  ඔහුට විදුහල්පති කාමරය ඉදිරියේ දණ ගහගෙන මුළු දවස පුරාම  ඉන්න සිදුවු බව මතක් කළා. ඒ දඬුවම ඔහුට දී තිබුනේ   එවකට විදුහල්පතිනිය sister ලිලියන්. නමුත් ඔහු අදටත් එතුමියව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නේ තම ජීවිතයට මහා ශක්තියක් වූ කෙනෙකු ලෙසයි.

මම ඔහුට මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. වේදිකාවේදී කොළයක් බලන්නේ නැතුව වැඩසටහන් ඉදිරිපත් කරන එකම පූරකවරයා ලෙස දැක තිබුණේ සංජීව. කොහොමද ඔහුට ඒ වීරත්වය ලැබුණේ කියා. ඔහුගේ පිළිතුර හරිම ප්‍රශංසනීයයි. පුංචි කාලෙදි ලොකු අම්මා උයනකල් සින්දු කියූ මම සින්දුව ඉවර වුණ ගමන්ම ආපහු මමම කටපාඩමින්ම නිවේදන කටයුතු කරනවා. ඒක වෙන්න ඇති ආරම්භය. නාලන්දාවේදී පළවෙනියෙන්ම නිවේදන කටයුතු ඔහු කර තිබුණේ  නේවාසිකාගාර සමිතියෙන්මයි.  ඔහුගේ ජීවිතයේ වැදගත්ම  ශාලාව මළලසේකර ශාලාවයි.  එවකට එය විවෘත කරන අවස්ථාවේ පැවති පිරිත් සජ්ඣායනාවේදී පූරකවරු වී තිබුනේද ඔහු සහ වෛද්‍ය උදිත හේරත්.  ඔවුන්ට සිංහල භාෂාව ඉගැන්වු නොව භාෂාව පෙවූ ඔහුගේ සිංහල ගුරුතුමිය වන ලතා මලලසේකර මහත්මියද සිහිපත් කළේ ඉතාමත් ආදරයෙන්.  උසස් පෙළ පන්තිවල ළමයි කෙතරම් දරදඬු වුනත් ඒ ගුරුතුමියට කතා කරන්නේ අම්මා කියලා.  ඒ මන්ද යත් මෙල්ල කරන්න බැරි දරුවන්ව මෙල්ල කරගන්න ඇය හරි සමත්. හදිසි අවස්ථාවකදී ඔහුගේ ගෙදරට විත් දරුවන් දෙදෙනාම බලා දෙන්නට තරම් සෙනෙහසක් තිබූ ගුරුතුමියක්. නිවේදකයෙක් ලෙස ගත්තම පාසලේ දී සියලුම අඩු පාඩු සකස් කලේ ලතා ගුරුතුමිය.   වැඩසටහනක් තියෙන වෙලාවට එම වැඩසටහනට හැඩගස්වන්නේ ඒ ගුරුතුමිය.

ඔහු පැවසුවේ නිවේදන කටයුතු හෝ ගායනයක් ඉදිරිපත් කරන වෙලාවෙදි හෝ නාට්‍යයක රඟපාන වෙලාවෙදි හෝ ඔහුගේ පුරුද්ද වුණේ ඒ තුල ජීවත්වීම.  ඒ පුරුදු නිසාම ඔහුට නිවේදන කටයුතු වලදී කොලයක් අවශ්‍ය වුණේ නැහැ.  ඒ සියලූ දේම ලතා ගුරුතුමියගෙන් ගත් දේවල්. 

නිදහස්  උත්ත්සවයේ නිවේදන කටයුතුවලට තුෂාර මහත්මයා ආරාධනා කළ වෙලාවේ පටන්  ඔහු එය ඔහුගේ කරගෙන කාර්යාලයේ වැඩ කරන ගමන්, වාහනය පදවන ගමන් උත්සවයේ වචන  හසුරුවන ආකාරය හිතෙන් මවාගන්නවා. ඒ වැඩසටහනට එනකොට මොනවද කියන්න ඕනි කියලා සූදානමක් ඔහුගේ හිතේ ඒ වන විටත් රැඳී හමාරයි.

ඉතින් හිත හිතම ඉන්න දෙයකට තවත් කොලයක් කුමටද?. එදා ඔහු කිව්වේ කසාවතින් සැරසුණු බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ශ්‍රී ලංකා නිදහස් උත්සවය සැමරීම සඳහා මෙම ශාලාවට වඩමවාගෙන එන අවස්ථාවයි මේ යනුවෙනි. එහෙම කියවුනේ එදා මළලසේකර ශාලාව විවෘත කරන අවස්ථාවේ දී  කිත්ත්‍යාගාර පාර දිගේ ස්වාමීන් වහන්සේලා සිය නමක් පමණ වැඩම කරවන අවස්ථාවේදී “ ….. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා වැඩම කරන අවස්ථාවයි මේ” යනුවෙන්  ලතා ගුරුතුමිය විසින් කියා දුන් ඒ වචන අදටත් ඔහුට මතක නිසයි. ඊට අමතරව ඉඳුනිල් දිසානායක මහත්මිය සමග වැඩ කරන අවස්ථාවේදී ඇයගේ පලපුරුද්ද අනුගමනය කිරීම සහ පරිහරණය කිරීම ඔහුට ලැබුණු භාග්‍යයක්. ඊට අමතරවත් ජයකොඩි ගුරුතුමා, චරිතා සොහොයුරිය ආශ්‍රය කිරීම සහ ඔහුගේ පියාණන් සමඟ කතාබස් කිරීම සංජීවගේ සිංහල පරිහරණය දියුණු තියුණු කරගන්න  අවස්ථාවක් ලැබීම ඔහු ලද මහ විශාල භාග්‍යයක්. චරිතාක්කා සමඟ වැඩසටහන් ඉදිරිපත් කරන්නට නොලැබුණත් ඇයව නිතර ඇසුරු කරන්නට ලැබීම නිසා ඇගේ නිවේදක ජීවිතයේ තොරතුරු බෙදා ගන්නට අවස්ථාව ලැබුණා. ජය කොඩි සර් නිවේදකයෙක් නොවුනත්, ඔහු වේදිකාවකට ගොඩවුනු විට ප්‍රේක්ෂකයන්ට කතා කරන ආකාරය, පාරෙ යන එනකොට මිනිස්සුන්ට කතා කරන ආකාරය, අපිට කතා කරන ආකාරය, වගේම ඕනෑම තැනකට සුදුසු පරිදි ක්ෂණිකම යමක් කීමට හැකි හැකියාව, තුළින් ලැබුණේ අපූරු සුන්දර අත්දැකීමක්. ඒ නිසාම  ඔහු වැඩසටහන්වලදී ආකෘතියක් සකස් සකස් කර ගත්තත් script එකක් භාවිතා කළේ නැහැ. ආකෘතියට අනුව ස්වභාවිකව ගලායන වචන භාවිතා කිරන එකයි, වැඩ සටහන තුළ ජීවත් වෙන එකයි තමයි ඔහුගේ පුරුද්ද. 

ආරියදාස පීරිස් ශූරින් ඔහුට දී තිබුණු වැදගත් උපදෙසක් වන්නේ වැඩසටහනකට යන්න කලින් කතා කරන පුද්ගලයා ගැන ඔහුවත් නොදන්න කරුණු සොයාගෙන වැඩසටහනට යන්න යනුවෙන්. එයට හේතුව තමන් සන්නද්ධ නොවුනොත් තමන්ගේ වැඩසටහන ආරාධිත අමුත්තා විසින් මෙහෙයවන්නට පටන් ගැනීමයි. ඒ වගේම කැලණිය විශ්ව විද්‍යාලය තුළ ජන සන්නිවේදන උපාධිය හදාරන අවස්ථාවේදී ලැබූ දැනුම සහ ජාතික රූපවාහිනිය තුළින් ලැබූ අත්දැකීම් අත්දැකීම්ද මෙයට දායක වුනා. ඒ වගේම කැනඩාවට පැමිණීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිවේදකයින් වන උපාලි රණසිංහ අජිත් ජිනදාසයන් සමග මෙන්ම පසුකාලීනව සම්පත් පෙත්තාවඩු,  සුනිල් තෙන්නකෝන්, සුනිමල් බාලසූරිය, රණුක ප්‍රභාෂිත, අනුෂ්කා ගම්මුදලි හා ඊටත් පසුකාලීනව මංජුලා වික්‍රමරත්න කල්ප සමරතුංග, අනුරුද්ධ වැලිගමගේ, නිරංග විජේසූරිය වැනි  නිවේදක නිවේදිකාවන්ද සමග කටයුතු කිරීමෙන් බොහෝ අත්දැකීම් රැස් කරගත්තා. එයට හේතුව ඔවුන් එකිනෙකාට ඇත්තේ එකිනෙකාට වෙනස් වූ ආරක් සහ වෙනස් වූ ඉදිරිපත් කිරීමේ කලාවක් නිසා. ඒ අතරින් තාරුණ්‍යයේ හඬ ලෙස මා විසින් හඳුන්වනු ලබන රණුක මල්ලීට තිබෙන්නේ ස්ථානය අනුව වෙනස් කළ හැකි වූ ඉතා අපූරු ඉදිරිපත් කිරීමේ කලාවක්. ඔහු ටිකක් ආඩම්බරයි තමයි, ඒත් මා දකින විදිහට ඔහු ටොරොන්ටෝවේ අපිට විශාල සම්පතක්.

ඒ වගේම රූපණ ආරම්භ කළ කාලයේදී වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව බන්දුල අයියාගෙන්, දිනේෂ් මල්ලීගෙන් (දිනේෂ් පීරිස්), සංස්කාරක පුබුදු මල්ලී, මෙන්ම වීරා මල්ලිගෙන් ලැබූ දැනුම සිහිපත් කළ යුතුයි. අද වන විට එරංග මල්ලීත් එයට එකතු වී සිටිනවා. 

“මේ වෙලාවේ මම මතක් කරන්නට ඕනේ රූපණ කියන්නේ පරපුරක් බිහි කරපු මාධ්‍ය ආයතනයක් බව. එදා පියුමලී නංගී, අනුෂ්කා නංගී ආදීන්ගෙන් පටන් ගෙන අවසානයේ අද යෙනුලි දුව දක්වා නිවේදක නිවේදිකාවන් විශාල පිරිසක් නිර්මාණය කරන්නට රූපණ සමත් වුණා. අද වන විට ඔබ මෙම සාකච්ඡාව කියවනු ලබන ශ්‍රී ලන්කැන් නිව්ස් වෙබ් පුවත්පතද ඒ වගේම ශ්‍රී ලන්කැන් රේඩියෝවද ඇතුළුව මාධ්‍ය ජාලයක් බිහි කරන්නට රූපණ සමත් වී තිබෙනවා. ඒ මාවත විවර කර දී තිබෙන්නේ අපේ විධායක නිෂ්පාදක වීරා මල්ලියි. (වීරා ෆොන්සේකා)

ඒ පිළිබඳව රූපණ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස මටත් දැනෙන්නේ සතුටක් වගේම ආඩම්බරයක්!

ප්‍රේක්ෂකයන් සමග සෘජුව සම්බන්ධය පවත්වාගෙන වැඩසටහන ඉදිරිපත් කරන්නට හෝ ගීතය ගායනා කරන්නට ඔහු කැමතියි. ඒවා ඔහු මුලින්ම ඉගෙන ගත්තේ වික්‍රම සෙනවිරත්න ගුරුතුමාගේ නාට්‍යානුසාරයෙන්.

මම සමහර අයට ඒ දේවල් කියලත් තියෙනවා. ඔහු විශේෂයෙන්ම මතක් කළේ අනූෂා ජයසුන්දර සොයුරිය. අනූෂා කියන්නේ උපරිම අලංකාරයෙන් ගී ගයන ගායිකාවක්. නමුත් ඇය නිතරම ගී ගැයුවේ ඇස් දෙක වසා ගෙන. හැබැයි මම ඒක ඇයට කියූ විට ඉතාමත්ම නිරහංකාරව එය පිළිගෙන ඉන්පසු ඇය එය හදා ගත්තා. ලංකාවේ සිටියා නම් ඉතාමත්ම විශිෂ්ට ගණයේ ගායිකාවක් වන්නට තිබූ ඇය අද ගී නොගැනීම අවාසනාවක්. 

කැනඩාවේ වෙසෙන සමහර නිවේදකවරුන් වෘත්තීයෙන් නිවේදකවරුන් නොවන නිසා සංජීවත් පුරුදු වී සිටියා ඔවුන්ව නිවැරදිව ඉදිරිපත් කරන්නන් ලෙස පුහුණු කරන්නට. “මෙහිදී මම සිහිපත් කරන්ට ඕනේ මංජුලා වික්‍රමරත්නව. මංජුලා නංගි මුල් කාලෙ වැඩසටහන් කරනකොට, විශේෂයෙන්ම මම රූපණ අධ්‍යක්ෂණය කරපු කාලේ, ඒ හැම වැඩසටහනම මුල ඉඳන් අගට බලලා කොලේකුත් ළඟ තියාගෙන ඇය යම්කිසි අඩුපාඩුවක් සිදුකරනවා නම් එහි වෙලාව පවා ලියාගෙන ඇයට කතා කරනවා. ඒ කියන හැම අඩු පාඩුවක්ම “ඔහේ…අයියා” කියලා ඔලුවෙ අත ගසාගෙන හදාගන්නට ඇය ඉදිරිපත් වුණා. ඒ නිරහංකාරකම නිසාම මගේ දැනුමට අනුව ඇය අද කැනඩාවේ සිටින විශිෂ්ටතම නිවේදිකාව බවට පත්වී හමාරයි”.

ඊට අමතරව ඔහුගේ බලවත් කැමැත්ත වන්නේ අපගේ දරුවන්ද සිංහල  ප්‍රජාවන්ගේ විවිධ වු ප්‍රසංග  වලට, වැඩසටහන්වලට ඉදිරිපත් කරවීමයි. ඔහු විශේෂයෙන්ම සඳහන් කළේ දහම් පාසල් වැඩ වලදී ප්‍රසංගවලදී සමිතිවලදී නිවේදන කටයුතු කරන්නේ ගුරුවරුන්. දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්නට ඔවුන්ගේ අදහසක් නැහැ. ඔවුන් දක්වන ප්‍රතිචාරය වන්නේ ළමයින්ට සිංහල බැරි බවයි. නමුත් ඔහුගේ අදහස වන්නේ ළමයින්ට නිසියාකාරයෙන් පුහුණුවීම් ලබා දී ඔවුන්ව ඒ සඳහා සැකසිය යුතු බවයි. වර්තමානයේ ලංකාවෙන් පැමිණ සිංහල භාෂාව ඉතාමත්ම හොඳින් පරිහරණය  කරන්න පුළුවන් ළමයි සෑහෙන්න සිටින බවත්, ඔවුන්ව පුහුණු කරවා ඉදිරියට රැගෙන යෑම අපගේ යුතුකමක් බවත් ඔහු සඳහන් කළා. ඒ වගේම ඔහු පවසා සිටියේ අපි පාසල් යන කාලේ අපිට අත්දැකීම් නෑ කියා අපේ ගුරුවරු ඒ කටයුතු සිදු කළා නම් අද අපිට මෙවැනි තත්ත්වයක් උදාවන්නේ නැති බවයි.

ඔහුගේ බලාපොරොත්තුව වන්නේද පරපුරක් නිවේදන කටයුතු සඳහා පුහුණු වීම් කර ඉදිරියට රැගෙන යාමයි. 

බසක වරුණ උත්සවයේදී සිංහල භාෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් කැනඩා ලංකා ජාතික සම්මානයෙන් (Canada Lanka national award) පිදුම් ලැබූ ඔහු කරුණාරත්න පරණවිතාන මහත්මයාවත් මතක් කලේ ටොරොන්ටෝ වේ ජනතාවට මෙන්ම කලාවට සෑහෙන්න වැඩක් කල කෙනෙක් ලෙසයි. ඊට පසුව එය අපට දකින්නට ලැබුණේ තුෂාර රොඩ්රිගො මහතාගෙන් බවත් සිහිපත් කළා. 

ඒවගේම මාත් සමග එක පොකුරට හිටිය ටොරොන්ටෝවේ ගායක ගායිකාවන් පිරිස සිහිපත් කළ යුතුමයි. ඔවුන් නිරතුරුවම මට සහයෝගය දැක්වූවා සේම මාව අගය කරනු ලැබුවා.

මම ගොඩක් ආදරේ කරන තවත් පිරිසක් ඉන්නවා. ඒ මගේ පුංචි යාලුවෝ කණ්ඩායම. අපි මෙහෙට එන කාලේ වඩාගෙන ඉන්න වයසේ හිටපු පුංචි දරුවෝ කණ්ඩායමක් අපි ඉතාමත්ම ආදරයෙන් ඇසුරු කළා. ඔවුන්ගෙන් සමහරක් අද වන විට විවාහයට පත් වී දරුවන් පවා සිටියත්, අදටත් මා දුටු විට අංකල් කියා දුවගෙන ඇවිත් බදාගන්නට තරම් පුදුමාකාර ආදරණීය හැඟීමක් ඔවුන් තුළ තිබෙනවා. පසුව කලින් කලට තව තවත් පුංචි දරුවන් ඒ කණ්ඩායමට එකතු වුණා. මේ දරුවන්ට තියෙන්නේ හරිම සුන්දර හදවත්. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඔවුන්ගේ සිත් වල නැහැ. ඔවුන් හරිම අව්‍යාජයි. ඒ නිසා ඔවුන් ඇසුරු කිරීම තුළින් අපට ලැබෙන්නේත් හරිම සුන්දර වූ සහ පහන්වූ හැඟීමක්. නිරතුරුවම ඔවුන් මට දක්වන ආදරයත් මගේ මේ ගමනේදී මගේ හදවතට දැනුණු, මට ශක්තිය දුන් තවත් කරුණක්. ඒ නිසා මම එයාලට ගොඩක් ආදරෙයි.

ඔහු පූර්වේ චාරිත්‍ර කරන්නත් හපනෙක්. එයට මඟ පෑදුවේ කැනඩාවේ වෙසෙන රංජිත් පෙරේරා මහත්මයාගේ වැඩිමහල් දියණියගේ මංගල උත්සවය.  එදවස රංජිත් මහත්මයා මගේ ලොකු දුවගේ වෙඩින් එකට ඔයාගෙන් උදව්වක් ඕනේ කිව්වහම ඔහු සිතා තිබුනේ පෝරුව වැඩකට යුතුවලට උදව් කිරීම සහ අෂ්ඨක   කියන්නාගේ උදව්වට එන්න කිවූ බවයි. නමුත් ඔහුට පැවරී තිබුණ කර්තව්‍යය වුයේ පෝරුවේ කටයුතු සිදු කිරීමයි.  කවමදාවත් එවන් වැඩක් නොකර තිබූ   ඔහුට මෙය ඉතාම අභියෝගයක්. කොතරම් ප්‍රතික්ෂේප කරත් අවසානයේදී එය භාරගන්නට සිදුවුණා. රංජිත් මහත්මයා පැවසුවේ කියන්න ඕන ස්ලෝක සියල්ලම ලියා දෙන බවයි. නමුත් ඔහුට තිබුණේ ඉතාම චකිතයක්. බයක්. එයට පෙර සූදානමක් ලෙස යූ ටියුබයේ ඇති වීඩියෝ ද ඒවා ඉදිරිපත් කරන ආකාරයද රෝහණ දිසානායක සහෝදරයා විසින් පටිගත කර දෙන ලද හඬ පටයද අධ්‍යයනය කළ නිසා  බලාපොරොත්තු වු පදමට වැඩය කර දෙන්නට හැකි වූනා. කෙසේ හෝ  ඒ වැඩය නිම කරන විට අර මුලින්ම වේදිකාවට නැගපු අවස්ථාව මෙන්ම  එදිනද බයක් දැනෙන්ට පටන්ගෙන තිබුණා. කොහොම නමුත් වැඩේ කරගෙන ගිහින් අවසානයේදී තවත් පැය එකහමාරක් ගතවුණා ඔහුට යථා තත්ත්වයට පැමිණෙන්නට.    එතැනින් පටන්ගත් ඔහු මේ වන විට මඟුල් උත්සව හතලිහක පමණ පෝරුව කටයුතු  සිදුකොට තිබෙනවා. විශේෂ කාරණය තමයි ඔහු කිසිම අවස්ථාවක මුදලක් නියම කර තිබුණේ නැහැ. ඔහුගේ කර්තවය කෙතරම් වැදගත් වුවත් එය මුදලකට යට කිරීමට ඔහුට අවශ්‍ය වුණේ නැහැ. නමුත් නොමිලේ මෙම වැඩකටයුතු සඳහා සහභාගි වීමට යෑම අපහසු නිසා ඔහු පවසන්නේ ඔබට දැනෙන වටිනාකම අනුව ගෙවන්න යනුවෙනුයි. සෑම මඟුල් උත්සවයකදීම කරපු වැඩේ වටිනාකමට මුදල් ලැබුණු අතර සමහර මඟුල් උත්සවවලදී වැඩිපුර මුදල් ලබා දුන් අවස්ථාවන් ද නැතුවාම නොවේ. එවන් මොහොතක සුන්දරව ආපසූ ඔවුන්ට ඒවා භාර දීමටත් ඔහුට පසුබට උනේ නෑ.

අපේ සන්නිවේදක පරපුර ලිපි පෙළට එක්ව තම තොරතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් අප සංජීව අබේරත්න සොයුරාණන්ට අපගේ හද පිරි ස්තුතිය පිරිනමනවා!.සන්නිවේදකයෙක් එක රැයකින් බිහිවන්නේ නැහැ. ජීවන ගමනේ විවිධ අත්දැකීම් වලින් ඔපමට්ටම් වී ඇති ඔවුන්ගේ ජීවිත කතාවන් තුළින් අපගේ තරුණ පරපුරට බොහෝ ධනාත්මක දේ එකතු කරගන්නට අවස්ථාව ලබා දී සාර්ථක සන්නිවේදක පරපුරක් බිහි කිරීමට අත්වැලක් සැපයීම අපගේ අරමුණයි. ඒ අරමුණ උදෙසා, තවත් සන්නිවේදකයෙකුගේ ජීවන අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම ලිපියෙන් සමු ගන්නවා.ශ්‍රී ලංකැන් නිව්ස් කණ්ඩායමේ අපි සංජීව අබේරත්න සොයුරාණන්ට, ජය සතුට ප්‍රාර්ථනා කරනවා.

සාකච්ඡා කළේ කුමුදු රත්නවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *