
[ Fertility in Adolescents – Some Psycho Sexual Problems of Asian Adolescents (නව යෞවනයේ සශ්‍රීකත්වය – ආසියානු තරුණ තරුණියන්ගේ ඇතැම් මනෝ ලිංගික ගැටලු) යන මැයෙන් යුත් මෙම ලිපිය, 1978 ජීව සමාජ විද්‍යා සඟරා අතිරේකයේ (Journal of Bio Social science Suppliment -1978) පළවූවකි.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍යවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වෛද්‍යවරයාණන් විසින් ලියනු ලැබ ලන්ඩන් නුවර වෙල්කම් ආයතනයේදී ඉදිරිපත් කෙරුණු එම පර්යේෂණාත්මක ලිපිය ඔහුගේම ආරාධනයෙන් එකල මවිසින් සිංහලට පෙරැළුණි. එහි අන්තර්ගත කරුණු වෙසෙසින් මෙරට වත්මන් පරපුරටද සප්‍රයෝජන විය හැකි බැවින් යළි මෙසේ පළ කරමි. මවිසින් ලියා පළ කරන ලද ‘ලිංගික ගැටලු – විද්‍යාත්මක විවරණයක්’ නමැති ග්‍රන්ථයෙහි එන උපග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.]

අහිතකර සමාජ බලපෑම්, ප්‍රශ්න කිරීමකින් තොරව සම්ප්‍රදාය පිළිගැනීම, සරල සත්‍යයන් නොදන්නාකම යන කරුණු හේතු කොටගෙන මිනිසුන්ගේ දුක් පීඩාවන්ගෙන් ප්‍රධාන කොටසක් පැන නගින බව මගේ වෘත්තිමය කාර්යන්හිදී මට ඉඳුරා පසක් වුණි. මානව ලිංගික සම්බන්ධතා හා වෙසෙසින් තරුණ තරුණියන්ගේ ලිංගික අධ්‍යාපනය නමැති ප්‍රචණ්ඩ මහෝඝය තුළට කිඳා බැසීමට මා මෙහෙයවූයේ එකී ප්‍රත්‍යක්‍ෂාවබෝධයයි. පෞද්ගලිකව මෙන්ම ජනමාධ්‍ය මගින්ද මම අර තරුණ තරුණියන් වෙත ළං වීමි. අප විසින් ඉලක්ක කොට ගැනුණු පිරිස දක්වූ ප්‍රතික්‍රියාව පිළිබඳව අතිශයින් තෘප්ත විය හැකිය. මා දැන් ඔබ වෙත ඉදිරිපත් කරන කරුණු සම්භාරය ප්‍රභවය ලැබුවේ එකී ප්‍රතික්‍රියාවන්ගෙනි.
ලිංගික සබඳතා හා බැඳුණු මනෝවිද්‍යාත්මක ගැටලු අපගේ තරුණ තරුණියන් අතර පුළුල් ලෙස පැතිර පවත්නා බැව් මා නිගමනය කළේ අප ඔවුන් සමග, විශේෂයෙන් සරසවි සිසුන්සමග, අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියා කිරීමෙන් ලත් අත්දැකීම් අනුවය. සතිපතා පළ කරන දේශීය සඟරාවකට මා සැපයූ ලිපි පෙළකට ප්‍රතික්‍රියා වශයෙන් මා ලත් පාඨක ප්‍රශ්න මගින් මගේ අර නිගමනය තවදුරටත් තහවුරු විය. පුද්ගලයන් 89 දෙනෙකු විසින් අසන ලද්දේ ලිංගික සබඳතා හා බැඳුණු ප්‍රශ්නය. මුහුණ පා සිටින ගැටලුව කුමක්ද යන්න ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව රෝග කාරක හේතු වශයෙන් වැදගත් වන ඇතැම් පසුබිම් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට මම අපේක්ෂා කරමි.
ප්‍රශ්න අසා එවූ 89දෙනාගෙන් 58 දෙනෙක් ගැහැනුය. ඉතිරි 31 දෙනා පිරිමිය. මගේ ලිපි පළ වූයේ කාන්තා සඟරාවක වීම ගැහැනුන්ගේ සංඛ්‍යාව අධික වීමට හේතු විය. ලිපි එවූවන්ගේ වයස, රැකියාව, අධ්‍යාපන තත්වය ආදිය එම ලිපි මගින් හැම විටම හෙළි නොවුණි.එහෙත් ඒවා වැඩිපුරම එවා ඇත්තේ වයස 16 – 35 අතර පසුවන තරුණ පිරිස් විසින් බව එම ලිපි මගින් වටහා ගත හැකි විය. එසේම ඔවුන් සියලු දෙනාම සැලකිය යුතු තරමේ අධ්‍යාපන මට්ටමකට එළඹ සිටියවුන් බැව්ද ප්‍රශ්න ඇසීමේදී ඔවුන් වහරට ගත් බස මගින් නිශ්චය කළ හැකි වුණි.
පිරිමින්ගේ ලිංගික ගැටලු
පිරිමින් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි 83 ක් පහත එන අයුරින් බෙදා දැක්වේ.
* නිතර නිතර ශුක්‍ර පහ කර ගැනීම
නිසා ඇති වූ කායික හා මානසික
ගැටලු 24.1%
* ඉක්මනින් ශුක්‍ර පහවීම 14.5%
* නෂ්ට කාමය 12..1%
* සිහිනෙන් ශුක්‍ර පහ වීම 10..8%
* ලිඟුවේ කුඩා බව 9.6%
* මුත්‍රා සමග ශුක්‍ර පහ වීම 3.6%
* ස්වයං වින්දනය පාලනය
කරගත නොහැකිවීම 3.6%
* ලිඟුව ප්‍රාණවත් වූ කල යන්තමින්
ශුක්‍ර කාන්දුවීම 2.4%
* ලිඟුවේ පිට සම යට කුඩු වැනි
ද්‍රව්‍යයක් රැඳීම 2.4%
* පිරිමින්ට පමණක්
ඇලුම්කිරීම 1.6%
.* ලිඟුවේ පිට සම පිටුපසට
ඇදීමට නොහැකි වීම 1..2%
* ලිඟුව ප්‍රාණවත් වීම පාලනය
කරගත නොහැකි වීම 1.2%
කැක්කුම් හා වේදනා, සාමාන්‍ය දුබලතාව, වෙහෙස ගතිය, ශක්තිය අඩුවීම, හිස කෙස් වැටීම, වැඩීම බාලවීම, කෙට්ටුවීම, මතකය අඩුකම, එක් අරමුණක් කෙරෙහි සිත යොමු කරගත නොහැකිවීම, ඇස් පෙනීම දුබල වීම වැනි අනියත රෝග ලක්ෂණවලින් පීඩා විඳි සියලු දෙනාම පාහේ ඔවුන්ගේ එම රෝග ලක්ෂණවලට හේතුව වශයෙන් දැක ඇත්තේ කුමක්ද? ස්වයං වින්දනය මගින් හෝ නින්දේදී හෝ
මුත්‍ර මාර්ගයෙන් හෝ නිතර ශුක්‍ර
පහවීමමය ඊට හේතුව වශයෙන් ඔවුන් දැක ඇත්තේ. මෙම අධ්‍යයනය මගින් අනාවරණය වූ අතිශය වෙසෙස් කරුණ නම් එයයි. ස්වයං වින්දනය ලිඟුව කුඩා වීමට හේතු වෙතියි යන්න එක් තැනැත්තෙකුගේ පුදුම නිගමනයක් විය.
ඉක්මනින් ශුක්‍ර පහවීමද සිත් තැවුලට මුල් වූ තවත් පොදු කරුණකි. මෙය ගැටලුවක් කොට ගෙන සිටින බොහෝ අය ශුක්‍ර පහවීම යන්නෙහි සාමාන්‍ය අදහස කුමක්ද යන්න සපුරා වටහාගෙන සිටින බවක් නොපෙනුණි. නිදසුනක් දක්වතොත් ඔවුන්ගෙන් කීප දෙනෙකුට ලිංගික ප්‍රබෝධයෙන් විනාඩි 3ක් තුළ ශුක්‍ර පහවීම ගැටලුවක් වුණු අතර එක් අයෙකුගේ සිත් තැවුලට හේතු වූයේ තම බිරිඳගේ සුරතාන්තයට කලින් තමන්ට ශුක්‍ර පහවීමයි. බොහෝ විට සිතින් මවාගනු ලබන මෙම ගැටලුව නිසා අන් අතින් සාමාන්‍ය තත්වයේ පසුවුණු තරුණ පිරිස අතරින් සමහරු විවාහයට මුහුණ දීමට බිය වී සිටිති. ලිඟුවේ ප්‍රාණවත් වීම දුබල ලෙස පැවතීම මෙන්ම එය සුළු වෙලාවක් පමණක් පැවතීම ගැනද නිතර නිතර පැමිණිලි ලැබුණි. නෂ්ට කාමය පැතිර පැවැත්ම සම්බන්ධයෙන් එළි දුටු වැදගත්ම නිරීක්ෂණයක් ඇත. එනම් එය කිසිවෙකු තුළ මූලික ප්‍රශ්නයක්ව නොපැවති බවයි. සාමාන්‍ය තත්වය අනුව ඊට පදනම් වූයේ මිථ්‍යා විශ්වාස, වරද පිළිබඳ හැඟීම සහ සහජ බියයි. ඇත්ත වශයෙන්ම සිහිනෙන් ශුක්‍ර පහවීම ගැන සිත් තැවුලට පත් පිරිමින්ගෙන් දහයෙන් එකක් අතරින් ඇතැමුන් විශ්වාස කළේ සිහිනෙන් ශුක්‍ර පහවීම නිසා නෂ්ට කාමය හා ඉක්මනින් ශුක්‍ර පහවීමේ දුබලතාව ඇතිවිය හැකි බවයි. සිහිනෙන් ශුක්‍ර පහවීම කෙරෙහි විවිධ කායික හා මානසික රෝග ලක්ෂණ ආරෝපණය කළ සමහරුන් එසේ කළේ නිතර නිතර ශුක්‍ර පහවීම නිසා අහිතකර ප්‍රතිඵල ඇති වේය යන මතය පදනම් කොටගෙනය.
ලිඟුවේ කුඩා බවද ඇතැමුන්ගේ සිත් තැවුලට හේතු වී තිබුණි. ප්‍රාණවත් වූ තම ලිඟුව මැන බලා එහි දිග අඟල් හයහමාරක් බව දුටු එක් පුද්ගලයෙකු එය තම වෙසෙස් අවධානය යොමු කළ යුතු තරමට කුඩා වූවකැයි සිතූ අවස්ථාවක්ද අපට හමුවුණි.
ගැහැනුන්ගේ ලිංගික ගැටලු
ගැහැනුන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි 72 ක් පහත එන වර්ග කිරීමට අඩංගු වෙයි.
+ කන්‍යා භාවය නැතිවීම පිළිබඳ බිය 19.4%
+ මාස් ශුද්ධිය හා සම්බන්ධ ගැටලු
15.3%
+ සුදු පාට දියරය පිටවීම
13.9%
+ වඳ බව
13.9%
+ පියයුරු කුඩා බව හෝ විශාලත්වය
7.0%
+ පළමු සංසර්ගයේදී ලේ නොගැලීම
6.9%
+ ස්වයං කාමාස්වාදය විඳීම
2.8%
+ ලිංගික සංසර්ගයෙන් පසු ශුක්‍ර ධාතුව යෝනියෙන් පිටට ආපසු ගලා ඒම
1.4%
+ ලිංගික ප්‍රබෝධයේදී දියරක් පිටවීම
1.4%
+ කේන්ද්‍රය අනුව පුරුෂ ලිංගයට අයත් වීම
1.4%
(ඉපදෙන ළමයාට කේන්ද්‍රයක් සෑදීම සිරිතකි. එමගින් ප්‍රකාශ වන සෙසු කරුණු අතර ‘ලිංග’ යන්නද එකකි. ළමයා අයත් වන්නේ ස්ත්‍රී ලිංගයටද පුරුෂ ලිංගයටද යන්නද කේන්ද්‍රයේ සඳහන් වෙයි. මෙහිදී ගැහැනු ළමයෙකු පුරුෂ ලිංගයට අයත් වූ කල එහි මනෝවිද්‍යාත්මක බලපෑම ඉතාමත් බලවත් විය හැකිය.)
කන්‍යා භාවය නැතිවීම පිළිබඳව ඇතිවන බිය නිසා හටගන්නා සිත් තැවුල ගැහැනුන් අතර පවත්නා ප්‍රධාන ගැටලුවකි. අප වෙත එවන ලද ප්‍රශ්නවලින් පස් ගුණයක් ඒ ගණයට අයත් ඒවා විය. ඒ ප්‍රශ්න එවූ සියලුම තරුණ ගැහැනු විවාහයට බියව සිටියහ. එයින් සය දෙනෙකුගේ එම බියට හේතුව වූයේ මල්වර වීමට පළමු පිරිමියෙකු සමග ලැබූ ලිංගික අත්දැකීමකි. මල්වර වීමෙන් පසුව ලද එවැනි අත්දැකීමක් දෙදෙනෙකුගේ බියට හේතු විය. යෝනි මාර්ගය තුළට ඇඟිල්ල ඇතුළු කිරීම දෙදෙනෙකුගේත් ස්වයං ලිංගිකාස්වාදය තවත් දෙදෙනෙකුගේත් අර බියට හේතු වී තිබුණි. කන්‍යා භාවය නැති වීමට ශාරීරික ව්‍යායාම හේතු විය හැකි බවට වැරදි විශ්වාසයක් ඇත. එය බොහෝ දෙනා අතර පැතිර පවතී. මෙම විශ්වාසයද දෙදෙනෙකුගේ සිත් තැවුලට හේතු විය. කන්‍යා භාවය ගැන කිසිම දැනුම් තේරුම් කමක් නොමැතිව විවාහ වුණු ඇතැමුන් තැති ගැන්මට පත් වූයේ තම පළමු සංසර්ගයේදී ලේ ගැලීමක් නොදුටු කලය. එවැන්නක් සිදුවූයේ නියත වශයෙන්ම කලින් කන්‍යා භාවය නැතිවීම නිසා යැයි ඔවුහු කල්පනා කළහ. මෙසේ හට ගන්නා සිත් තැවුල් මගින් එක් වැදගත් කරුණක් ඉස්මතු වී පෙනෙයි. එනම් විවාහයට පෙර තම කන්‍යා සිවියට හානි පැමිණ ඇද්ද යන්න ගැන ඔවුන් කිසිවෙකු නියත වශයෙන් නොදැන සිටි බවය. ඔවුන් ඇත්තටම සිත් වේදනා විඳ ඇත්තේ නැති ගැටලුවක් ගැන ඇති කරගත් බියකිනි.
මාස්ශුද්ධි ක්‍රියාවලියද ගැටලු ගණනාවකට හේතු වී තිබුණි. ඒ අතර වූ පොදු ගැටලුව නම් වේදනා ගෙන දෙන මාස්ශුද්ධිය (Dysmenorrhoea) සහ මාස්ශුද්ධිය ප්‍රමාද වීමයි. දින 20ක් හෝ 25ක් ගිය තැන සිදුවන ඉක්මන් මාස්ශුද්ධිය ගැන දෙදෙනෙකු තුළ හටගත් බියත් කිරි දෙන කාලය තුළ මාස්ශුද්ධිය6 නැවතීම නිසා උපන් සිත් තැවුලත් පුදුම එළවන සුලුය.
මාස්ශුද්ධිය සම්බන්ධයෙන් නිතර ඇතිවන අපහසුතා හැරුණු විට යෝනි මාර්ගයෙන් සුදු පැහැති දියරක් පිටවීම හා සම්බන්ධ වූ අපහසුතාද දක්නට ලැබුණි. යෝනි මාර්ගයෙන් එසේ සුදු පැහැති දියරක් පිටවුණු අය අතරින් බොහෝ දෙනෙක් ඇඟ කෙට්ටුවීම, සුදුමැලි පෙනුම, අලස ගතිය වැනි අනියත රෝග ලක්ෂණ එහි ප්‍රතිඵලයක් සේ සලකා සිත් තැවුලට පත්ව සිටියහ. එසේ නැත්නම් ඔවුහු තමන්ට දැනුණු අනියත කැක්කුම් හා වේදනා සියල්ල එසේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති දියරක් පිටවීමේ (Leucorrhoea) රෝ ග ලක්ෂණ හැටියට කල්පනා කළහ. නිතර ශුක්‍ර පහවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පිරිමි දුටු රෝග ලක්ෂණ වලට මෙය අතිශයින් සමාන විය.
වැඩි වශයෙන්ම තරුණ පිරිස් තුළ ලිංගික කරුණු සම්බන්ධයෙන් හට ගෙන ඇති මෙවැනි බියවීම් හා
සිත්තැවුල්වලට මුල් වන කායික පදනම හැරෙන්නට මානසික පදනමක් අපට සොයාගත නොහැකිද? මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කිරීම අගනේ වෙයි. විද්‍යාත්මක දැනුම ලබා ගැනීමට ඇති අවස්ථා හිඟකම නිසා හටගන්නා වැරදි මත, සංස්කෘතියෙන් උරුම වන ඇදහිලි විශ්වාස හා තහංචි, ආගමික අනුදැන්ම, දේශීය වෙදකම්වල බලපෑම, උග්‍ර ලෙස කරන වෙළඳ දැන්වීම් ප්‍රචාරය හා ඇතැම් ජන කොටස් තුළ පවත්නා සහජ රැවටෙන සුලු ගතිය, වෛද්‍යවරයා හා රෝගියාත් ගුරුවරයා හා ශිෂ්‍යයාත් වැඩිහිටියා හා තරුණයාත් සැමියා හා බිරියත් අතර අදහස් හුවමාරුව හා දැන හැඳින ගැනීම අඩුකම.
කිසියම් විශේෂ මනෝ ලිංගික රෝග ලක්ෂණ එකතුවකට ඉහත දැක්වූ සාධකවලින් කිහිපයක් හෝ හේතු විය හැකිය. එම නිසා වඩා වැදගත් වූ ඇතැම් රෝග ලක්ෂණයන්ට මුල් වන දේ හොඳින් පරීක්ෂා කර බැලීම ඉතාමත් ඵලදායක වනු ඇත.
විශේෂයෙන් ස්වයං වින්දනය ඇතුළුව නොයෙක් ක්‍රම මගින් නිතර නිතර ශුක්‍ර පහවීම කරණකොට ගෙන මතු වන සිිත්තැවුල, වරද කළාක් වැනි හැඟීම් හා වෙනත් කායික මානසික ප්‍රකාශනයන් අපගේ සැලකිල්ලට ලක් කිරීම සුදුසුය. ස්වයං වින්දනය සමග බැඳුණු සංස්කෘතික, සාමාජික සහ ආගමික තහංචි ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරුණයන් තුළ මතුවන වරදක් කළාක් වැනි හැඟීම් ඉතාමත් හොඳින් වටහා ගත හැකිය. නිතර නිතර ශුක්‍ර පහවීම ඇසුරු කොට පවත්නා මනඃකල්පිත වූත් අනියත වූත් (ඇතැම් විට සැබෑවූත් නියතවූත්) රෝග ලක්ෂණවල පදනම යම් යම් මුල් බැසගත් සංකල්ප තුළ පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් අසල්වැසි රටවලත් පුළුල් ලෙස පැතිර පවත්නා දේශීය වෛද්‍ය ක්‍රමවලදී, ශුක්‍ර දියරය හඳුන්වනු ලබන්නේ ශුක්‍ර ධාතු යන නමිනි. ශුක්‍ර නමැති සංස්කෘත වචනයට දී ඇති අර්ථ රාශියකි. දීප්තිමත්, පැහැදිලි, පිරිසිදු යන අරුත් ඒ අතර වෙයි. අනික් අතට ශුක්‍ර නාමයෙන් ශුක්‍ර දියරයද හැඳින්වෙයි. ‘ශුක්‍ර මේහ’ (Seminal Diabetes) ‛ශුක්‍ර සාර’ (The Essence of Semen) යන වදන් ඊට නිදසුන්ය.
ශරීරයේ අන්තර්ගත වා, පිත්, සෙම් වැනි කොටස් මෙන්ම ඇතැම් ශරීරාංගද “ධාතු” යන පොදු නමින් හැඳින්විණ. ශුක්‍ර යන්නට “ධාතු” යන්න එක් වුණේ විශේෂ නාමයක් වශයෙනි. බුදුන් වහන්සේ වැනි පූජනීය උතුමන්ගේ ශරීර කොටස්ද ගිහියන් විසින් හඳුන්වනු ලබන්නේ “ධාතු” යන නමිනි. මේවා අගය කළ නොහැකි තරම් වටිනා වස්තු ලෙස සැලකේ. ශුක්‍ර දියරය ශරීරයට අතිශය වැදගත් වූත්, නිතර පහ කිරීමෙන් ශරීරයේ බල නැති කරන්නා වූත් දෙයක් හැටියට සලකන ලද්දේ “ධාතු” යන නාමය තුළ ගැබ් වුණු යට කී ව්‍යංග්‍යාර්ථය නිසාය.
ශුක්‍රවල අගය ඇතැම් විට තක්සේරු කරනු ලැබුවේ ඊට අඩංගු ලේවල ප්‍රමාණය අනුවය. ශුක්‍ර බිංදුවක ගැබ් වුණු ලේ බිංදු ප්‍රමාණය නියම කොට දක්වමින් ගෙතුණු කතන්දරයක් ඇත. නිතර ශුක්‍ර පහ කරන තරුණයාට, තම ජීව ශක්තිය යළි ලබා ගත නොහැකි අයුරින් නැතිව ගියාක් මෙන් හැඟී යාම පුදුමයක් නොවේ.
ස්වයං වින්දනය මගින් නිතර නිතර ශුක්‍ර පහවීමද සිත් තැවුල් වැඩි කිරීමට හේතු වී ඇත. මෙය මේ ලෝකයේ මා අයත් කොටසට විශේෂ වූවක් නොවේය යනු මගේ විශ්වාසයයි. එවැනි සිත් තැවුල් හටගන්නේ සාමාජික හා ආගමික තහංචි නිසා පමණක් නොවේ. මිනිසාගේ සාමාන්‍ය මනෝ ලිංගික වර්ධනය ගැන තරුණයන් තුළ මෙන්ම වැඩිහිටියන් තුළද ඇති අවිද්‍යාව නිසාද ඒවා පැන නගී. ලිංගික ජීවිතයට අයත් කරුණු ගැන පවත්නා මෙම අවිද්‍යාව හා දූෂිත ආකල්පයේ ප්‍රතිඵලය කුමක්ද? සිහිනෙන් ශුක්‍ර පහවීම , සමලිංගික සේවනය වැනි වෙනත් බොහෝ ලිංගික අවස්ථාවන් සමග බැඳී පවත්නා බියවීම් හා වරදක් කළාක් වැනි හැඟීම් හටගැන්මයි.
කලින් සඳහන් කළාක් මෙන් අපගෙන් ප්‍රශ්න ඇසූවන් අතරින් ඇතැමුන්ගේ දුෂ්කරතා වූයේ මුත්‍රා සමග ශුක්‍ර පහ වීම , කාමය පිබිදුණු කල යන්තමින් දියරයක් පිටවීම , පිරිමි ලිඟුව අග පිට සම යට කුඩු වැනි ද්‍යව්‍යයක් රැඳීම හා පිරිමි ලිඟුව අග පිට සම පිටුපසට ඇදීමට නොහැකිකම ආදියයි. මේවා මිනිසාගේ ලිංගිකත්වයට අයත් දුෂ්කර වූ විසඳිය නොහැකි වූ ගැටලු ලෙස සැලකිය නොහැක. හැම පාසල් දරුවෙකුටම දැනගැනීමට අයිතිය ඇති සෞඛ්‍යයට හා ස්වස්ථතාවට අදාළ සරල සත්‍ය කරුණු සම්බන්ධයෙන් පවත්නා අවිද්‍යාව මුල් කොටගෙනම එකී ගැටලු මතුවී ඇති බව පැහැදිලිය.
පිරිමි ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය ගැන කල් ඇතුව සිතේ මුල් බැස ගත් පිළිගැනීම් නිසා පැන නගින සිත් තැවුල් හා හීනමානය තරුණයන් අතර සුලබය. ස්ත්‍රිය කෙරෙහි බල පාන පුරුෂ ශක්තිය ගැන තදින් අවධානය යොමු වන ආකාරයෙන් පළ කෙරෙන කුණුහරුප පොතපත මෙන්ම බලවත් ලෙස සිත් පොලඹවන සුලු වෙළඳ දැන්වීම්ද එවැනි බියවීම් වැඩි කරනු නිසැකය.
මිනිසාගේ ලිංගිකත්වයට අයත් අංග අතරින් තරුණ වියේ ලිංගික වර්ධනය ගැඹුරු ලෙස රහස්වලින් වැසී ගත් අංගයකි.. ලිඟුව ප්‍රාණවත් වීම , සිහිනෙන් ශුක්‍ර පහවීම හෝ මාස් ශුද්ධිය වැනි මූලික ශරීර විද්‍යාත්මක සිදුවීම් පිළිබඳ සරල විද්‍යාත්මක පැහැදිලි කිරීම් නොමැතිකමම තරුණ තරුණියන්ගේ මහත් වූ සිත් කරදරයට හා සිත් තැවුලට හේතු වී ඇත. තමාට මාස් ශුද්ධිය වී ඇති නිසා වෛද්‍ය පරීක්ෂණයට පෙනී නොසිටීමට සිතූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ගැන මම පෞද්ගලිකව දනිමි. ඒත් ඇත්ත වශයෙන්ම සිදුවී තිබුණේ කලින් දින රාත්‍රියේ ඔහුට සිහිනෙන් ශුක්‍ර පහවීමකි.
පුරුෂ ශක්තියේත් ශුක්‍ර පහවීමේත් සාමාන්‍ය ස්වභාවය විනිශ්චය කොට ගැන්මට තරම් සුදුසු බුද්ධිමය පදනමක් බොහෝ පිරිමින්ට , විශේෂයෙන්ම තරුණයන්ට , නොමැති බව පෙනේ. පුරුෂ ශක්තිය , ශුක්‍ර පහවීම ප්‍රමාද කරගැන්මේ හැකියාව සහ ලිංගික ශූරත්වය සම්බන්ධයෙන් වැරදි වූත් හානිකර වූත් සංකල්පයන් සැකයෙන් තොර වූ තරුණයන්ගේ සිත් තුළට කාවද්දා ඇත්තේ කිසිම පාලනයකින් තොරව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් මගිනි. ආදර්ශයට ගත යුත්තන් සේ පෙනෙන ආකාරයේ සුපිරි මිනිසුන් මැවීමට පහත් ලිංගික පොත් කතුවරු ඉක්මන් වෙති. එහෙත් ප්‍රතිඵල නිෂ්ඵලය. තරුණයන් අතර මෙවැනි ගැටලු ඇතිවීමටත් ඒවා පරපුරෙන් පරපුරට පැතිර යෑමටත් බලවත් හේතුවක් වී ඇත්තේ ඉක්මනින් පොහොසත් වීමට මාන බලන හොර වෙදුන්ගේ උපදෙස් හා පිළියම්ය. නිදසුනක් මෙසේය. රයිනෝ අඟ පිළිබඳ මිථ්‍යා කතාවට සමාන කතාවක් ශ්‍රී ලංකාවේද පැතිර ඇත. එය කෙසෙල් ගෙඩි වර්ගයක් වටා ගෙතුණකි. නේත්‍රප්පලං නමැති මෙම විශේෂ කෙසෙල් ගෙඩි වර්ගය අනිත් හොඳම කෙසෙල් ගෙඩි වර්ගවලට වඩා තුන් ගුණයකින් පමණ මිල අධිකය. එහි වාජීකරණ ශක්තියක් ගැබ්ව පවතින බවට ඇති විශ්වාසය ඊට හේතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් මට සිතිය හැක්කේ එකම එක හේතුවකි. කඩවල විකිණීම පිණිස එල්ලා තිබෙන විට කැනේ ගෙඩි උඩ අතට කෙලින් වී සිටින්නේ මෙම කෙසෙල් වර්ගයේ පමණි.
පෙරදිග සංස්කෘති තුළ කන්‍යා භාවයට කෙතරම් උතුම් තැනක් හිමි වන්නේද යත් කන්‍යාභාවය නැතිවීම ගැන උපදින බිය පමණක් නොව, ඒ ගැන හටගන්නා සුළු සැකය පවා ගැහැනියකගේ සිතට අපමණ වධ වේදනා ගෙන දීමට සමත් වෙයි. අනික් අතට මෙම සදාචාර ලක්ෂණයෙන් තොර ගැහැනියක තම බිරිඳ වීමට ඇති ඉඩ කඩ ගැන සිතූ පමණින් ම තරුණයෙකුගේ සිතට දැනෙන්නේ ද එයටම සමාන වධ වේදනාවකි.
කන්‍යාභාවය උතුම් කොට සැලකීම සදාචාරය හා බැඳුණු කරුණක් පමණක්ම නොවේ. කන්‍යාභාවය මුල්කොටගෙන පුරාණයේ සිටම පැවත එන ඇතැම් විවාහ සිරිත්ද ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිස වන සිංහල බෞද්ධයන්ගේ විවාහ උත්සවයේ පහත විස්තර කරන අංශය ඊට නිදසුනකි.
විවාහ උත්සවයට සුදුසු ඇඳුමෙන් සැරසුණ තරුණ මනාල යුවළ විසිතුරු මඟුල් පෝරුවක් මතට නංවනු ලැබේ. පිවිතුරු බව හඟවන නන් සලකුණු ඒ වටා දිස්වෙයි. ආගම හා සංස්කෘතිය සමග බැඳුණු නොයෙක් කව් , ශ්ලෝක අෂ්ටක කියවෙන අතර නෑ මිතුරු පිරිස ඒ දෙස දැඩි උනන්දුවෙන් බලා සිටිති. මනාලිය ළඟින් සිට ගත් මනාලයා සුදු රෙදි කඩක් ඇගේ බඳ වටා දවටයි. එය සංකේතාත්මක වැදගත් කමක් දරන්නකි. මනාල යුවළ තම මංගල රාත්‍රියේ මංගල යහන මත ඇතිරිය යුතු රෙදිකඩ එයයි. මෙය හුදෙක් සාම්ප්‍රදායික කටයුත්තක් සංකේත මගින් පෙන්වීමක් පමණක්ම නොවේ. ඉන් පසුව එළඹෙන වැදගත් ප්‍රායෝගික කටයුත්තක්ද ඊට අයත්ය. මංගල රාත්‍රියෙන් පසු දෙපසේ වැඩිමාල්ලෝ උත්සවාකාරයෙන් අර රෙදිකඩ පිරික්සා බලති. ඒ රෙදිකඩ මත රැඳුණු ලේ සලකුණ මනාලියගේ කන්‍යාභාවය කියා පායි ඒවා දුටු පසු මනාලිය තෑගි බෝගවලින් නැහැවෙයි. සියල්ලෝ ප්‍රීතියෙන් ඔකඳ වෙති. මෙම උත්සවයේ ඉහළම අවස්ථාව වන්නේ රබන් ගසා සියල්ල සාර්ථක වී ඇති බව මුළු ගමටම අඬ ගා කියා පෑමය.
කලින් කන්‍යාභාවය නැතිවීම නිසා හෝ වේවා එසේ නැතිනම් මනාලයාගේ ලිංගික දුබලතාවක් නිසා හෝ වේවා , හේතුව කුමක් වුවද , එසේ තම පිරිසුදු බව ඔප්පු කර සිටීමට නොහැකි වූ අවාසනාවන්ත දැරියකට මහත් වූ ව්‍යසනයකට මුහුණ පෑමට සිදුවෙයි. සමාජය ඉදිරියේ මෙවැනි ප්‍රසිද්ධ හෙළිදරව්වක් කිරීමත් සමාජයෙන් මෙසේ පිට මං කිරීමත් පිළිබඳ තර්ජනය දැඩි මානසික වධ වේදනාවන්ට හේතු වීම පුදුමයක් නොවේ. මේ සම්බන්ධයෙන් තරුණියන් තුළ හටගන්නා සිත් තැවුල් ප්‍රකාශයට පත් වන අවස්ථා සුලබය. එසේ ප්‍රකාශ නොවන අවස්ථා ඊටත් වඩා වැඩි විය හැකි බැව් නිශ්චය කළ හැක්කේ නැතිව ගිය කන්‍යාභාවය යළි ලබා දිය හැකි බැව් කියන හොර වෙදුන් වැඩි වැඩියෙන් බිහිවන බැවිනි.
පියයුරුවල ප්‍රමාණය සම්බන්ධයෙන් පැන නගින අසතුටද දැන්වීම් ප්‍රචාරයන්ගේ බලපෑම් මගින් වර්ධනය විය හැකිය. ඒ හැර පෙරදිග සාහිත්‍යය තුළ කාන්තා රූපය අරබයා ලියවුණු විවිධ වූත් රමණීය වූත් වර්ණනා බහුලය. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි සීගිරි පව්වේ දක්නට ලැබෙන අවුරුදු දෙදහසක් පමණ පැරණි බිතු සිතුවම් මගින් නිරූපිත පරමාදර්ශී කාන්තාවෝ පියයුරුවල ප්‍රමාණය කෙබඳු විය යුතුද යන්නට ආදර්ශ සපයති.
නොයෙක් ආකාරයේ බියවීම්වලට හා මනෝ කාය රෝග ලක්ෂණයන්ට පොදුවේ මුල් වන මාස්ශුද්ධිය ගැන අපි ඊළඟට සාකච්ඡා කරමු. මාස්ශුද්ධිය ගැන පොදුවේ දක්නට ලැබෙන බිය ගැහැනුන් තුළට කාවැද්දීමෙහිලා ඒ හා බැඳුණු වත් පිළිවෙත්වලට පැවරෙන වගකීම සුළු පටු නොවේ.දැරියකගේ පළමුවන මාස් ශුද්ධිය හෙවත් වැඩිවිය පැමිණීම සිදුව ඇති බව දකින වැඩිහිටියා, එහි ශරීර විද්‍යාත්මක පැත්ත සාකච්ඡා කරනු වෙනුවට වහා එම දැරිය ගෙට ගෙන ගොස් සුබ නැකත එළඹෙන තුරු ඇතුළු කාමරයක හුදෙකලාව සිරකර තබයි. භූතයන්ගෙන් සිදුවිය හැකි උපද්‍රව වළකනු පිණිස බොහෝ විට ඇය අසල යකඩ කැබැල්ලක්‌ද තබයි. එසේම දැරිය කිසිම පිරිමියෙකුගේ ඇස නොගැසෙන අයුරින් සඟවා තැබීම සිරිතයි. පාන්දර එළඹෙන සුබ නැකැත් වෙලාවේ, නහවා පිරිසිදු කොට ගෙතුළට ගෙනෙන ඇය හැඳ පැලඳ පළමු වරට ලොකු ගැහැනියක සේ එළියට පැමිණෙයි.
මේ අයුරින් උත්සවාකාරයෙන් ඇරඹෙන මාස් ශුද්ධි ක්‍රියාවලිය පොදුවේ හැඳින්වෙන්නේ “ඇඟ සුද්දවීම” යනුවෙනි. මාස් ශුද්ධිය නොවුණු කල තම සිරුර තුළ හානිකර දේ හට ගනිතියි සාමාන්‍ය ගැහැනියක සිතන්නේ එහෙයිනි. ශාරීරික අසනීපයන්ට පවා තුඩු දිය හැකි සිත් තැවුල් හට ගැන්මෙහිලා මාස් ශුද්ධිය ප්‍රමාද වීම, තාවකාලිකව නැවතීම හෝ එය අඩුවෙන් සිදුවීම හේතු වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මාස් ශුද්ධිය සිදු නොවීමෙන් සිරුර තුළ රැඳෙන අපිරිසිදු දේ ඉහට ගහන බැව් විශ්වාස කරන අය බොහෝ වෙති. ගුප්ත මානසික රෝග හට ගැන්මට මෙන්ම, මැඩලිය නොහැකි මනෝ විද්‍යාත්මක ගැටලු නැවත නැවත මතුවීමටත් එවැනි විශ්වාසයන් වගකිව යුතුය.
සුදු පැහැති දියරයක් පිටවීමද අපගේ සිත් යොමු කළ යුතු තවත් තත්ත්වයකි. මෙම විග්‍රහය මගින් පෙන්වූ පරිදි, යෝනි මාර්ගය ඔස්සේ සාමාන්‍යයෙන් සිදුවන දියර පිටවීම් දකින ඇතැම් දැරියෝ තැති ගනිති. එය අවිද්‍යාව නිසා සිදුවන්නකි. ඒ හැර එම තත්ත්වය ආශ්‍රිතව පුළුල් ලෙස පැතිර පවත්නා සිත් තැවුල්වලට හා මනෝ කාය කැළඹිලි ස්වභාවයන්ට විශේෂයෙන් වගකිව යුත්තේ, සාමාන්‍ය මිනිසුන් ඒ සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරන නාම ව්‍යාවහාරයන්ය. මෙසේ සුදු පැහැති දියරයක් පිටවීම සිංහල බසින් හැඳින් වෙන්නේ ‘ඇඟ උණු කරවා යාම’ යන නමිනි. මේ අනුව නිසරු රෝග නිදාන දක්වීමකින් පමණක් නොව සිතින් මවාගත් හැඟීමකින් වුව, මෙම තත්ත්වයෙන් පෙළෙන ස්වභාවයට පත් මිනිසුන්, එමගින් තම සිරුර දිය වී යතැයි විශ්වාස කිරීම පුදුමයක් නොවේ. මෙම වැරදි මතයට ගොදුරු වුවෝ බොහෝ විට නින්ද නොයෑමෙන් සහ ආහාර අරුචියෙන් පෙළෙති. මන්දෝත්සාහී ගතිය, ශක්තිය ක්ෂය වීම, ලේ අඩුකම, මෙන්ම වෙනත් ප්‍රකෝපවීම් සහ දුබලතා රාශියකටද ඉන් මග පෑදෙයි.
ලිංගිකත්වයට අයත් කරුණු සම්බන්ධයෙන් පවත්නා රැවටෙන සුලු ගතිය ඇතැම් විට විශ්ව ව්‍යාධියකි. ඇතැම් ලාංකිකයන් තුළ සහජයෙන් පිහිටියාක් මෙන් පෙනෙන, මෙම නැඹුරුවට, අඩක් හේතු වී ඇත්තේ, හුදෙක් ආචාරශීලි භාවය නිසා අනිකකුගේ මතයට එරෙහිව විරුද්ධවාද නැගීමට ඔවුන් දක්වන නොකැමැත්ත බැව් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යක්ෂේත්‍රයේ කෙරුණු ඇතැම් ගවේෂණයන්ගෙන් හෙළි වී ඇත.
ශ්‍රී ලංකාවේ තත්වය ඇසුරෙන් ආසියානු තරුණ තරුණියන්ගේ මනෝ ලිංගික ගැටලුවල ස්වභාවය විදහා දැක්වීම මෙම කෙටි ලිපියේ අදහසයි. මෙම ගැටලු සම්බන්ධයෙන් අප කිසියම් සැලැස්මක් ක්‍රියාත්මක නොකරතොත් ඒවා මෙසේ සාකච්ඡා කිරීම සැනසිල්ලක් නොවේ. ලිංගික ව්‍යාකූලතාවලට මුල් වන නා නා ප්‍රකාර හේතූත් ඒවායේ ස්වභාවයත් පැහැදිලි කිරීම උදෙසා සැලසුම් කළ ගැඹුරු පර්යේෂණයක් වහා අවශ්‍යව පවතී. හැම සංස්කෘතික හෝ ආගමික තහංචියක්ම නිරර්ථක බව කීම සාහසිකය. ඒවා අහිතකර බව කීම ගැන කවර කතාද?
ඇත්ත වශයෙන්ම එවැනි සිරිත් හා විශ්වාසයන් තියුණු ලෙස විමසා බැලීම පිණිස සුපරීක්ෂාකාරී අපක්ෂපාත අධ්‍යයනයක් අවශ්‍ය වෙයි. කෙසේ වුවද එවැනි සමීක්ෂණයන්ගේ ප්‍රතිඵල ලැබෙන තුරු වුවද අකර්මණ්‍යව සිටීම අනුවණකමකි. වහා අවශ්‍ය වන උවමනාවන් ඇත. ලිංගික අධ්‍යාපනය මහජනයා වෙතට ගෙන යාම මෙන්ම නිහඬව සිත් තැවුල් විඳින නානාවිධ තරුණ තරුණියන්ට අවශ්‍ය ලිංගික උපදෙස් සහ ප්‍රතිකාර ක්‍රම පහසුවෙන් ලබා දීමද අරමුණු කොටගත් දැඩි එඩිතර වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම පිණිස කිසියම් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතුය.
[මහාචාර්ය නන්දදාස කෝදාගොඩ දොස්තර මහතා විසින් මේ ලිපිය ලන්ඩන් නුවර වෙල්කම් ආයතනයේදී කියවන ලද අවස්ථාවේ ඇතිවුණු සාකච්ඡාව පහත පළවෙයි.]
කෝල්ස් මහතා :
විවාහ වී සංසර්ගයේ නොයෙදී සිටීම පිළිබඳ ගැටලුව දොස්තර කෝදාගොඩ මහත්මයාට දකින්නට ලැබුණද?
කෝදාගොඩ මහතා :
මට ඒ සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න බැහැ. ඒත් ඒ ගැටලුව පවතින බවට සැකයක් නෑ.
කමින්ස් මහතා :
කන්‍යා භාවය නැති කර ගැනීම ගැන තමන් වගකිය යුතු බව තරුණයා හා තරුණිය යන දෙදෙනාම දන්නා නිසා මංගල රැයේදී අල්පෙනෙත්ති තුඩකින් විද ලේ ගෙන අර පාරම්පරික සිරිත සාර්ථක කර ගැනීමට ඔවුන් එකඟ වී ක්‍රියා කිරීම, වෙනත් රටවල වගේම ශ්‍රී ලංකාවේත් වර්ධනය වෙමින් පවතින පුරුද්දක්ද?
කෝදාගොඩ මහතා :
ඒක ප්‍රසිද්ධ දෙයක් හැටියට මං අහලා තියෙනවා. ඒ වගේම ඒක සමහර විට සානුකම්පික වෛද්‍ය උපදේශයකුත් වෙනවා.
ෂෝර්ට් මහතා :
දේශීය වෙදුන් විවේචනයට ලක් කිරීම වෙනුවට ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීම ගැන මෙහිදී දක්වපු සමහර කරුණු ඉතාමත් වටිනව. ඔවුන්ගෙන් ලද හැකි උපකාරය පිළිබඳ විස්තර තොරතුරු ලේඛන ගත නොකරන්නෙ
ඇයි?
ලුවිස් මහතා :
වැඩ සටහන් සැලසුම් කිරීමේදී පාරම්පරික වෙදුන් ගෙන් ප්‍රයෝජන ගැනීමේ වැදගත් කම හඟින විද්‍යාඥයෙකු මුණගැසීම මට සතුටක්. මං සහභාගිවුණු බොහෝ සම්මේලනවලදී බටහිර පුහුණු වෛද්‍යවරුන් එක්ක මේ ගැන සාකච්ඡා කළ අවස්ථාවෙ ඒ උදවියගෙ සාමාන්‍ය සිරිත වුණේ ඒ අදහසට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමයි. ඒත් පාරම්පරික වෙදුන් සම්බන්ධ කර ගන්නෙ නැතුව සැලසුම් කළ වැඩ සටහන්වලින්, ගම්බද පළාත්වල ජනයා වෙනස් කරන්න ගන්නා හැම උත්සාහයක්ම නිෂ්ඵල වෙනවා.
එෆ්. ටී. සායි මහතා :
ලුවිස් මහත්මයා සම්පූර්ණයෙන් නිවැරදියි කියලා මං හිතන්නෙ නෑ. මං වෛද්‍ය වෘත්තිය පටන්ගන්නත් ඉස්සෙල්ලා ඝානාවෙ වෛද්‍යවරු දෙන්නෙක් මේ අදහස ඉදිරිපත් කළා. ඒත් ආණ්ඩුව ඒක පිළිගත්තෙ නෑ. මං වෛද්‍ය වෘත්තිය පටන් ගන්න කාලෙ වෙනකොට මේ අදහස ගැන හුඟාක් දුරට සැලකිල්ල යොමු වෙලා තිබුණා. එක් දහස් නවසිය හැත්තෑවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙ අප්‍රිකානු ප්‍රාදේශීය කොමිටියේ සභාපති හැටියට මම ලෝක සෞඛ්‍ය සංවිධානයට යෝජනා කළා, එය විසින් මේ අදහස පිළිගත යුතුයි කියලා. මං සතුටුයි කියන්න, ඒ දේම වෙනත් අයත් යෝජනා කරලා තිබුණු නිසා ඒ අදහස වර්ධනය වුණා විතරක් නෙවෙයි, ලෝක සෞඛ්‍ය සංවිධානයත් එය බරපතළ දෙයක් හැටියට පිළිගත්තා. ඩැන්ෆෝ ව්‍යාපෘතියෙදි අපි පාරම්පරික වින්නඹුවන් විශාල වශයෙන් යොදා ගත්තා.
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.
https://www.facebook.com/karunarathna.amarasinghe.3


