මෙක්සිකෝවේ දරුණුතම අපරාධකරුවෙකු වූ ‘එල් මෙන්චෝ’ ඝාතනය කෙරේ. ජලිස්කෝ ප්‍රාන්තය ඇතුළු නගර රැසක ප්‍රචණ්ඩ ක්‍රියා.

මෙක්සිකෝවේ ආරක්ෂක අංශ සහ එරට දරුණුතම අපරාධ සංවිධානයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමෙසිකෝ ඔසෙගුවේරා හෙවත් ‘එල් මෙන්චෝ’ ඝාතනයට ලක්විමෙන් ජලිස්කෝ ප්‍රාන්තය ඇතුළු නගර රැසක ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වී තිබුණා.

මෙක්සිකෝවේ වඩාත්ම අත්‍යවශ්‍ය පුද්ගලයා ලෙස නම් කර සිටි එල් මෙන්චෝ මියගොස් ඇත්තේ එම ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ සිදුවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබීමෙන් පසු හමුදා හෙලිකොප්ටරයකින් රෝහල කරා රැගෙන යමින් සිටියදීයි. සිය නායකයාගේ ඝාතනයෙන් කුපිත වූ ‘ජලිස්කෝ නව පරපුරේ සංවිධානය‘ නමැති අපරාධ සංවිධානයේ සාමාජිකයන් මෝටර් රථ ගිනි තබමින් ප්‍රාන්තය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවා ඇති අතර, ප්‍රාන්තයේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට ද ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වුණා. පොදු ප්‍රවාහන බස් රථ, සාප්පු සංකීර්ණ සහ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පොදු දේපළ ගිනි තබමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන අපරාධ කල්ලිය පාලනය කිරීම සඳහා මෙක්සිකෝවේ ආරක්ෂක හමුදාව දැඩි උත්සාහයක නිරතව සිටි අතර, වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශයේ නිලධාරින් රැසක් තුවාල ලබා ඇතැයි එරට ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

අපරාධ සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනකු ද ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර, නායකයාගේ ඝාතනයෙන් කෝපයට පත් සන්නද්ධ කල්ලිය ජලිස්කෝ ඇතුළු ප්‍රාන්ත 8ක මාර්ග බාධක ඉදි කර ආරක්ෂක හමුදාවට දරුණු ප්‍රහාරයක් ආරම්භ කර තිබුණා.

ගැටුම් ඇතිවූ දිනය වනවිට එම ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමා තිබූ අතර, නිවාසවලින් බැහැරව යෑමෙන් වළකින ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර පැබ්ලෝ ලේමස් ජනතාවට උපදෙස් ලබා දී තිබුණා. මේ වනවිට අමෙරිකාවේ බන්ධනාගාරගත වී සිටින හිටපු පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් වන එල් චැපෝ සහ ඉස්මායිල් සම්බාඩාගෙන් පසු එරට ප්‍රබලතම පාතාල නායකයා ලෙස සැලකෙන 59 හැවිරිදි එල් මෙන්චෝ අත්අඩංගුවට ගැනීමේ ඔත්තුව සපයා ඇත්තේ අමෙරිකාවෙන් බව ද වාර්තා වේ.

හිටපු පොලිස් නිලධාරියකු ද වන එල් මෙන්චෝ පිළිබඳ තොරතුරු සපයන පුද්ගලයන්ට ඩොලර් මිලියන 15ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව මීට පෙර අමෙරිකාව නිවේදනය කර තිබූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කලා. ජලිස්කෝ ප්‍රාන්තයේ උද්ගතවී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රාන්තයේ සිටින සිය පුරවැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අමෙරිකානු රජය ඉල්ලීමක් කර තිබූ අතර, කැනඩාව ද ජලිස්කෝ ප්‍රාන්තයේ සිටින සිය පුරවැසියන්ට එවැනිම අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණා. අමෙරිකානු සහ කැනේඩියානු ගුවන් සමාගම් ජලිස්කෝ ප්‍රාන්තයේ සිදු කරන සියලු ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබුණා.

මේ අතර මෙක්සිකෝවේ ආරක්ෂක හමුදාව සහ එරට දරුණුතම අපරාධ කල්ලිය වන ජලිස්කෝ නිව් ජෙනරේෂන් සංවිධානය අතර ඇතිවූ ගැටුම්වලින් හමුදා සෙබළුන් 25 දෙනකු මියගිය බව ආරක්ෂක ලේකම් ඔමාර් ගාර්ෂියා ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක හමුදාවේ වෙඩි ප්‍රහාරයකින් එම සංවිධානයේ නායක එල් මෙන්චෝ ඝාතනයට ලක්වීමෙන් කුපිත වූ නිව් ජෙනරේෂන් අපරාධ සංවිධානයේ සාමාජිකයන් රට පුරා ප්‍රාන්ත 20ක ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත කර තිබූ අතර, හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් වැසියන් ද ඉලක්ක කරගත් බව මෙක්සිකෝවේ ආරක්ෂක ලේකම් වැඩිදුරටත් සඳහන් කර ඇත. පාතාල සංවිධානය මර්දනය කිරීම සඳහා දසදහසකට වැඩි හමුදා කණ්ඩායමක් යොදවා ඇතැයි පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙක්සිකෝවේ ජනාධිපතිනිය ක්ලෝඩියා ෂින්බවුම් සඳහන් කර ඇති අතර, සන්නද්ධ හමුදාව ශක්තිමත් කිරීම සඳහා අතිරේක හමුදාව කැඳවීමට පියවර ගත් බව ද ජනාධීපතිනිය සඳහන් කර තිබේ.නිව් ජෙනරේෂන් සංවිධානයේ මූලස්ථානය පිහිටි ජාලිස්කෝ ප්‍රාන්තයේ සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගත් බවත්, අපරාධ කල්ලිය මහාමාර්ගවල ඉදි කළ මාර්ග බාධක 250කට වැඩි ප්‍රමාණයක් හමුදාව විසින් ඉවත් කළ බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

ජාලිස්කෝ ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින නිව් ජෙනරේෂන් සංවිධානය කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 12කට අධික මුදල් ප්‍රමාණයක් උපයා ගන්නා බවත්, එම සංවිධානය අතිනවීන අවි ආයුධ සහ හමුදා වාහන සමඟ තිස්දහසකට අධික සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *