මැද පෙරදිග ගැටුම් වලින් ලංකාවත් රත්වෙයි.

මේවන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වී තිබෙන්නේ මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳවය. 1990 දී අමෙරිකාව සහ ඉරාකය අතර ඇති වූ ගල්ෆ් යුද්ධයෙන් පසුව මැදපෙරදිග දරුණුම යුද්ධය බවට වර්තමානයේ අමෙරිකාව ඉරානය ඊශ්‍රායලය කේන්ද්‍ර කර ගනිමින් හට ගෙන ඇති යුද්ධය පත්ව තිබේ.

මේ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් මේ වන විට එල්ල වෙමින් ඇති අතර ඉන්ධන ලැබීම ප්‍රමාණ ප්‍රමාණවත් නොවීම මත  රජය විසින් ඉන්ධන කෝටාවක් QRකේතය හඳුන්වා දීමට පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් මේ හේතුව නිසාම දිවයිනේ බොහෝ ඉන්ධනහල් ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් මෙන්ම ඇතැම් ඉන්ධන හල්වල ඉන්ධන නොමැති තත්ත්වයක්ද වාර්තා වුණා. පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස මින් ඉදිරියට බදාදා දින රජය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් පසුගියදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ රැස්වීම් කිහිපයකින් පසුව තීරණය කර තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී විදුලි කප්පාදුවකටද ඉඩක් ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය මේ වන විට විශාල උත්සාහයක නිරත වෙමින් සිටිනවා.

අර්බුධය ගැන ඡනපති රටට කියයි.

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බලශක්ති සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත්, ඊට මුහුණ දීම සඳහා රජය මේ වන විටත් විධිමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. මෙම ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් නොගෙන පූර්ණ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ අතර, එම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ ද පිළිගැනීමට ලක්ව ඇති බව පෙන්වා දුන්නේය.

පසුගිය නොවැම්බර් මාසයේ අග භාගයේදී රටට බලපෑ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ආර්ථිකයට ඩොලර් බිලියන 4.1ක පමණ දැවැන්ත හානියක් සිදුවුවද, ශක්තිමත් මූල්‍ය කළමනාකරණය හරහා එය යථා තත්ත්වයට පත් කරගැනීමට රජයට හැකි වූ බව හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන්ම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මහ බැංකුව හරහා ඩොලර් මිලියන 700ක මුදලක් වෙළඳපොළෙන් මිලදී ගෙන ඇති අතර, දේශීය ආදායම්, සුරාබදු සහ රේගු යන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක ද අපේක්ෂිත මට්ටමට වඩා වර්ධනය වී තිබේ. එබැවින් අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව මේ වන විටත් තහවුරු කර ඇති ආර්ථිකය, ඉදිරියේදී පැමිණෙන බාහිර ගෝලීය කම්පනයන්ට ද සාර්ථකව මුහුණ දෙනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් ජාලය දැඩි ලෙස අඩාල වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ මෙට්‍රික් ටොන් අනූ දහසක බොරතෙල් නෞකාවක් සහ පෞද්ගලික අංශයේ ඉන්ධන නෞකාවක් නියමිත දිනට දිවයිනට ළඟා වීමේ ප්‍රමාදයක් පවතින බව රජය හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ‘ආර්ථික ආවේක්ෂණ කමිටුවක්’ පත් කර ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා මිත්‍ර රටවලින් සහාය ලබාගැනීමට ද සාකච්ඡා අරඹා තිබේ. මීට අමතරව, ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් කඩිනමින් ලබාගැනීම සඳහා නව ටෙන්ඩර් කැඳවා ඇති අතර, හදිසි මිලදී ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය සහිත විශේෂ කමිටුවක් ද පත් කර ඇත. තවද, අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට ඩොලර් මාර්ගයෙන් සෘජුවම ඉන්ධන ආනයනය කරගැනීමට රජය අවසර ලබා දී ඇති අතර, මේ වන විටත් ඒ සඳහා ආයතන තිහක් පමණ ලියාපදිංචි වී සිය කටයුතු ආරම්භ කර තිබේ.

ගෘහස්ථ ගෑස් සහ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. මාර්තු මාසයේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 33,000ක් වුවද, ආරක්ෂිත පියවරක් ලෙස මෙට්‍රික් ටොන් 38,000ක් ආනයනය කර මේ වන විටත් ගබඩා කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය. ගල් අඟුරු සැපයුම යටතේ නෞකා විසිතුනකින් දහතුනක් මේ වන විටත් ලැබී ඇති අතර, ඉතිරි හිඟය පියවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය මත විශ්වාසදායක සැපයුම්කරුවෙකුගෙන් නෞකා පහක් කඩිනමින් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.

සීමිත ඉන්ධන සංචිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමේ අරමුණින් QR කේත ක්‍රමය යළි හඳුන්වා දී ඇති අතර, මේ වන විට මිලියන පහකට ආසන්න පිරිසක් ඒ සඳහා ලියාපදිංචි වී ඇත. කෙසේ වෙතත්, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ධීවර වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම ක්‍රමයෙන් පරිබාහිරව විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ යටතේ සෞඛ්‍ය අංශය සඳහා මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමටත්, යල කන්නයේ අස්වැන්න නෙළන ගොවීන්ට සහ ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය අමතර ඉන්ධන කෝටාවන් ලබාදීමටත් අදාළ අමාත්‍යාංශ හරහා කටයුතු සම්පාදනය කර තිබේ.

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන පරිදි මාස තුනක් දක්වා ආරක්ෂිත තොග රැස්කර තබාගැනීමට ආනයනකරුවන් සමඟ එකඟතාවකට පැමිණ ඇති අතර, සතොස ඇතුළු රජයේ ආයතන හරහා ද බෙදාහැරීම් ජාලය ශක්තිමත් කර ඇත. මීට සමගාමීව, රාජ්‍ය අංශයේ ඉන්ධන පරිභෝජනය සියයට 25කින් අවම කිරීමේ අරමුණින් බදාදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, කාර්යාල දින දහය තුළ සේවාවන් බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ. තවද, මෙම අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වන ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ණය සහන සහ රක්ෂණ ආවරණ ලබාදීම ඇතුළු සහනදායී ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මූලිකත්වයෙන් වෙනම කමිටුවක් ස්ථාපිත කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර රට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟය හේතුවෙන් මේ දක්වා විදුලි සැපයුම අත්හිටුවීමක් සිදු කර නොතිබුණත්, ඉදිරි කාලයේදී යම් නිශ්චිත වේලාවකට විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පසුගිය (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ සභාවේදී මතු කරන ලද පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

මේ වන තෙක් කිසිදු අයුරකින් එක් පැයක හෝ විදුලි කප්පාදුවක් සිදු නොකර තත්ත්වය පාලනය කරගෙන යාමට රජය සමත් වී ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය. එසේ වුවද, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ යම් හෙයකින් අනාගතයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වීමේ හැකියාවද බැහැර කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

මැදපෙරදිග යුද ගිනි සහ ශ්‍රී ලංකාව

ඉරාන ඊශ්‍රායල යුද ගැටුමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කරමින් පසුගිය පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළේය. මැද පෙරදිග කලාපයේ යුද ගැටුමක අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ බොර තෙල් නිෂ්පාදනය පහත වැටීම හා මිල ඉහළ යෑමය. මේ ගැන දන්නා සහ තත්ත්වය හොඳින් තේරුම් ගෙන සිටින විපක්ෂය තෙල් හිඟයක් මවා පා ජනතාව කලබලයට පත් කර ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළේය.

බොහෝ ඉන්ධන පිරවුම්හල් පසුගිය ආණ්ඩු සමයේ ලබාදුන් ඒවා නිසා ඔවුන් දැන් විපක්ෂයේ නියෝජනයක් බවත්, ඒ නිසාම ඉන්ධන ඇණවුම් නොකර හිතාමතා අර්බුදයක් මවා පෑමට කටයුතු කරන බවත් පෝලිම්වල ජනතාව අතරද කතාබහක් ඇති විය.

කෘත්‍රිම තෙල් පෝලිම්

මේ නිසා කෘත්‍රිමව ඉන්ධන පෝලිම් නිර්මාණය කරමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගැන්වීමට විපක්ෂය ගත් උත්සාහය දින දෙකක් ගත වීමටත් පෙර සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ විය. කෙසේ වෙතත් සඳුදා පෙරවරුව වන විට ඉන්ධන පෝලිම් සැලකිය යුතු අයුරින් නිමා වී තිබූ අතර, ඉන්ධන පෝලිම්වල සිටි අය සහ තෙල් හිඟයක් පෙන්නූ රූපවාහිනී නාළිකා සමාජ මාධ්‍ය මඟින් සමච්චලයට බඳුන් වන අයුරු දැක ගන්නට ලැබිණි.

කාන්තාවන් එක මිටට

මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමේදී තීරණාත්මක කාර්යභාරයක් කාන්තාවන් විසින් ඉටු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් ‘ගැහැනු අපි එක මිටට’ මැයෙන් සිදු කළ දේශපාලන කාර්යභාරය අතිමහත්ය. එය ජනාධිපතිවරණයේදී ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය විය. ඒ බලවේගයේ ශක්තිය යළි පෙන්වීමට අවස්ථාවක් උදා වී තිබේ. ඒ, මාර්තු 8 වැනිදාට යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනයේදීය.

එදිනට ජාතික ජන බලවේගයේ කාන්තා දින සැමරුම ‘ඇය නැඟිටින විට නැඟිටිනවා රට’ තේමාව යටතේ ජනපති, අගමැතිනිය, කාන්තා හා ළමා කටයුතු ඇමැතිවරිය ප්‍රමුඛ ජා.ජ.බ. මන්ත්‍රීවරියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සැමරුමට සහභාගි වීමට මේ වන විට දිස්ත්‍රික්ක පුරා කොට්ඨාස මට්ටමින් කාන්තාවෝ දහස් ගණනින් සංවිධානය වෙමින් සිටිති. පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්ෂයක් ලෙස මන්ත්‍රීවරියන් වැඩිම ප්‍රමාණයක්, එනම් මන්ත්‍රීවරියන් 20ක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජාතික ජන බලවේගයයි.

විජිත රාජතාන්ත්‍රික මෙහෙයුමක

ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා සිය ශෝකය ප්‍රකාශ කරයි. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට පසුගියදා (4) ගොස්, එහි ශෝකය සටහන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා ඉරානය අතර පැවති මිත්‍රත්වය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

මේ දිනවල දැඩි කාර්යබහුල ඇමැතිවරයා වන්නේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ය. ඊට හේතු වී ඇත්තේ මැදපෙරදිග යුද තත්ත්වයයි. මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් රැකියාවල නිරත වෙයි. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද සහ එම ජනතාව අදාළ තානාපති කාර්යාල හරහා සම්බන්ධීකරණය කරගැනීම සඳහා ඇමති විජිත යුහුසුලුව ක්‍රියා කළේය. මීට අමතරව නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ආරක්ෂා කරගනිමින් මැදපෙරදිග කලාපයේ රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ හා ඊශ්‍රායලයේ හා අමෙරිකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡා කිරීමට කටයුතු කර තිබිණි.

අමෙරිකාවට ගැන රනිල්ගේ මතය

“රටක ආණ්ඩු ඉවත් කරන්න තවත් රටකට පුළුවන් නම්, එවැනි දේ අනාගතයට සුදුසු නැතැයි” හිටපු ජනපති රනිල් කීවේය. ඔහු මේ බව කීවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී හමුවේදීය.

“අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් බලන්නේ එයා කැමැති විදිහට ලෝකය වැඩ කටයුතු කිරීම. ට්‍රම්ප් ජනාධිපති ඊශ්‍රායලය සමග එක්වී ක්‍රියා කළේ ඉරානයේ නායකත්වය නැති කරන්නයි. දැන් ඊළඟ පියවර කුමක්ද? ඉරානය ඇතුළේ කැලඹීමක් ඇති වෙලා ආණ්ඩුව නැති වේවි කියා සිතනවා නම් මේ වන තෙක් එවැනි දෙයක් සිදු වී නැහැ. දැන් ප්‍රශ්නය තිබෙන්නේ ඉරානයේ ඉතුරු වෙලා ඉන්න පිරිස එකට එකතු වී වැඩ කරනවාද? නැද්ද? යන කාරණයයි. එතැන් සි⁣ට ජනතා සහය ලබා ගත යුතුයි.

“කෙසේ වෙතත් ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේදය පිළිගන්න බැහැ. ස්විට්සර්ලන්තය සහ නෝවේ යන රටවල් දෙකම ප්‍රකාශ කර තිබෙන්නේ අන්තර්ජාතික නීතියට සහ සම්ප්‍රදායට මේ ක්‍රියාව එකඟ නැති බවයි.

“ලංකා ආණ්ඩුව තවම මේ ගැන හරියට ප්‍රකාශයක් කරලා නැහැ. යුද්ධය නතර කරන්නැයි පවසා තිබෙනවා. මෙතන ඇති වී තිබෙන්නේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්වාධීන රටක පැවැත්මට කළ බලපෑමක්.” රනිල් ඉතා පැහැදිලිව තම ස්ථාවරය ගෙනහැර දැක්වූයේ එසේය.

නාමල් ලන්ඩනයේ හිර වෙලා

ලන්ඩනයේ සංචාරයක යෙදුණු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වූයේ මාර්තු පළමුවැනිදාය. එහෙත් පෙබරවාරි 28 වන දින ඊශ්‍රායලය හා අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කළේය. මේ ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ ගුවන් ගමන් බොහොමයක් අවලංගු විය. මෙහිදී නාමල් නැවත පැමිණීම සඳහා ආසන වෙන් කළ ගුවන් යානයද අවලංගු වී තිබිණි. නාමල්ට කෙසේ හෝ ඉක්මනින්ම නැවත පැමිණීමට අවශ්‍ය කර තිබුණේ දිවයිනට පැමිණි පසු පක්ෂයේ රැස්වීම් කිහිපයක් ඇමතීමට තිබූ නිසාය. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු වූ බවට දැනගත් නාමල්ගේ හිතවතුන් බොහෝ දෙනකුද නාමල්ගෙන් තොරතුරු විමසීමටද අමතක කළේ නැත. අවසානයේ කෙසේ හෝ තුන් වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක ආසන වෙන් කරවා ගැනීමට හැකි වූයේ ඉතා අපහසුවෙනි. කෙසේ වෙතත් නාමල් ලන්ඩනයේ එසේ ගෙවූ දින දෙක එහි වෙසෙන ලාංකිකයන් මුණ ගැසීමට යොදා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *