සිංහල බ්ලොග් කවි මුතු

ඇයි ඔච්චරටම ගනන් !

සීතල මේ තරම් රුඳු බව

වැහි බිඳිති මේ තරම්  රළු බව

ඔබ නේන දහවලද මේ තරම් දිගු බව

දැනුනෙ මට වැඩියෙන්ම

ඔබ අහක බැලූ දා සිට…

සොඳුර !

අ’තැර මේ නෝක්කාඩු මදකට

වරුවකට ඇවිත් මදහස මැද

සීතලට ගැහෙන තෙත හිත මත

තබන්නකෝ  හාදුවක උණුහුම ..

සොඳුරු සඳවතී 

https://kavisandalla.blogspot.com

මියුරු ඵල අරාගත් කුඩා තුරු

මියුරු ඵල අරාගත් පමණකින්

ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු

සිසිරතාරක නින්දකට එළඹිය යුතුද?

කෙටි සාද ගවොම්, උස් වයින් වීදුරු ද,

විනිවිද පෙනී නොපෙනෙන දුහුල් කොමුපිළි ද

දිලිසෙන උල් හිසැති පා වැසුම් යුගල ද,

ඉඳුල් වතුරක්ව ඉවතට ලෑ යුතුද?

මියුරු ඵල අරාගත් පමණකින්

ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු 

අනාගාමී විය යුතුද?

පුරාවිද්‍යා – කාලාවකාශ පර්‍යේෂණ,

ගායන ද වාදන, නෘත්‍ය සම්භාෂණ,

සිහිනෙනුත් දුටු අජටාකාශ ගවේෂණ,

ව්‍යාපාර ද, දර්ශනවාද දේශන,

අල්මාරියේ ලා යතුරු තදකල යුතුද?

සිඟිති ඵල තදින් අල්ලාගෙනම,

බටිති ගී තාලයට මල් හලන,

ඇබිති කොල සලා සල්සා නටන, කුඩා තුරු

තවමත් ප්‍රීතියෙන් ඉපිලෙනා වරදට

මුරුසියට පිටුවහල් කල යුතු ද?

බස්සි  (Yash)

https://basukavi.blogspot.com

වෙන්ව යන්නම ඕනද අප

හුඟ දවසකිනුයි මම මේ ලියන්නෙ

ඒකත් ඔබ නිසාමයි ලිය වෙන්නෙ

මේ තරම් කල් නිස්කලංකෙයි උන්නෙ

ඔයා ඇවිදිනුයි මේ හැමදේම වෙන්නෙ

බැල්කනියට ඉහළින් පහතින් පෙනෙන්නෙ

තනිකරම නිස්සද්ද හුදකලාවයි දැනෙන්නෙ

ඔයා කොහොමද මේ හදවතට එබෙන්නෙ

අන්න එතනයි හැමදේම පටන් ගන්නෙ

මතකයක් කියන්නෙම හුදකලාවට කියන තව නමක්

ඒ මතකයට ඔයා ඇවිදින් දුන්නෙ වෙනස්ම අර්ථයක්

ඒ වුණත් ඉතින් පිළිගන්න වෙනව නම් යම් දෙයක්

ඔබ  ඔතන මම මෙතන අප දෙදෙනතර නෑ හෙට දිනක්..

අවන්හල – මහේෂ් රත්නායක 

https://awanhala.blogspot.com

වෙන්වී යන්නට දවස පැමින ඇත…..

කඳුල රූරා ගලන කොපුලේ – සුමුදු මොලකැටි බව එදා

විඳපු දෙතොලග වියරු සිනහව- මැවෙන හැටි නොදනිමි මෙදා

සොයන සහනය දුන්න හදවත – ගලක් සේ නිසලව තබා

නිහඬ මුණිවත පුරන පෙම්වත – යනු මැනවි දුර කඳු බලා

කැඩුන අත්තටු රිදුම් දුන් කල – හොවා සුරැකිව සෙනෙහසින්

උණුසුමක් දුන් පිණට නුඹ පෙම – බැඳුණ පෙරදින හදවතින්

දරාගන්නට නොහැකි ලෙස දිවි – පිදුව මා හට කවි සිතින්

රැදෙවුවේ නුඹ කොයි ඉසව්වෙද – කියනවද යන්නට කලින්

සඳ එළිය ලඟ තරුව වුන නුඹ – දුන්න සිසිලස ලොභ සිතින්

විඳපු හදවත පැතුවේ ඇයි සඳ – වටහගන්නට බැහැ මටත්

අහිංසක ලෙස බලා සිටි නුඹ – දවාලන්නට බැරි දුකින්

වෙන්වුනත් මම රිදෙන මතකය- සනසගමි ඔබ සිසිලසින්

ලඟ සිටිනවිට හිතට නොදැනුන – හුරු පුරුදු ලෙංගතුකමින්

බලා මා දෙස සිනාසෙනු මැන – වෙන්වයන මොහොතට කලින්

සිතා බලනට ඉඩක් ලද විට – කඳුළු උනනා ඉසිඹුවෙන්

සිහිකරනු මැන කිමිද මා නෙත – කඳුළු වියලන සෙනෙහසින්

කටුසු හදවත

https://katusuhadawatha.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *