
නිව්යෝර්ක් නුවර ලාගාඩියා ‘LaGuardia’ ගුවන් තොටුපොල වෙත ගොඩබස්වන ලද එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක ගැටීමෙන් පසුගියදා සිදුවූ අනතුරකින් ගුවන් නියමුවා සහ සහාය නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 39 දෙනෙකු ගුවන් යානයේ සිටි මගීන් වන අතර අනෙක් දෙදෙනා ගිනි නිවන රථයේ සිටි නිලධාරීන් බව සඳහන් වනවා.
ජෑස් ඒවියේෂන් සමාගම මගින් ක්‍රියාත්මක කරන ලද මෙම එයාර් කැනඩා 8646 දරන යානය මොන්ට්‍රියල් සිට පැමිණ ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් 70 දෙනෙකු සිට තිබෙනවා.යුනයිටඩ් එයාර්ලයින්ස් යානයක ඇති වූ හදිසි තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ගිනි නිවන රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබුණා.එයාර් කැනඩා යානය ගොඩබස්වා පැයට සැතපුම් 24ක වේගයෙන් මන්දගාමී වෙමින් තිබියදී මෙම ගිනි නිවන රථය සමඟ ගැටී ඇති බව වාර්තා වනවා.අනතුරත් සමඟ ලාගාඩියා ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ගොඩබෑමේ මාවතේ යානයක් තිබියදී ගිනි නිවන රථයකට එතැනට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන් වනවා.
ගුවන් පාලක මැදිරිය විසින් ගිනි නිවන රථය නැවැත්වීමට උත්සාහ කර ඇති බවට හඬ පට මගින් අනාවරණය වී ඇති අතර, සන්නිවේදන දෝෂයක් මෙම දරුණු අනතුරට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.


