
ශ්රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා පවසයි.
මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්යවශ්ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්රී ලංකාවට ලබාදීමට සුදානම් බවය.
හෝමූස් සමුද්ර සන්ධිය ඉරානය සිය මිත්ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්යතාවයක් නොමැති බවත්, ශ්රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ් මහතා ශ්රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.
මේ අතර ඉරානයේ සිටින ශ්රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්ය නම් ඒ සඳහා අවශ්ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.
ඉරානය තුළ පදිංචිව සිටින විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත් තානාපතිවරයා මෙහිදී ප්රකාශ කළේය. අද වන විට ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ, “ඔවුන් තම රටවලට ආපසු යාමට කැමති නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සැලසිය හැකියි” යනුවෙනි. ශ්රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – ශ්රී ලංකාවේ ඉරාන තානාපති කියයි
මේ අතර ශ්රී ලංකාවේ සිටින ඉරාන තානාපතිවරයා ශ්රී ලංකාවට ඉන්ධන ලබා දීමට සූදානම් බවට සිදුකරනු ලැබූ ප්රකාශය සම්බන්ධවද අදහස් දක්වමින් කැබිනට් ප්රකාශක නලින්ද ඡයතිස්ස අමාත්යවරයා පැවසුවේ එම ප්රකාශය අගය කරන නමුත් නැව් තිබෙන රටවල්වලට එම අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට හැකියාව පවතින නමුත් මෙරටට එම අවස්ථාව නොමැති බවය
ඉරානයෙන් තෙල් ලබා ගැනීමේ ප්රශ්නයේදී දැන් තිබෙන්නේ නැව් අයිති රටවලට ඒ අවස්ථාවෙන් ප්රයෝජනයක් ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපිට එහෙම හැකියාවක් නෑ. අපි ස්තූතිවන්ත වෙනවා ඒ ප්රකාශයට නමුත් අපි දැන් බොරතෙල් සහ පිරිපහදු තෙල්වලට ඇනවුම් කීපයක් දීලා තිබෙන්නේ. ටෙන්ඩර් ඕපන් වෙලා තිබෙනවා ඒ තෙල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අදත් එක ටෙන්ඩරයක් ඕපන් වීමට නියමිතයි. දැනට ඕපන් වෙලා තිබෙන ටෙන්ඩර් අනුව අප්රේල් මාසයේදී තෙල් නැව් කිහිපයක් ලැබෙනවා. මේවාත් එක්ක තමයි තෙල් ප්රමාණය කළමනාකරණය කරගන්න වෙන්නේ.”


