
ශ්රී ලාංකේය ජාතිය අනතුරට නොවැටෙන ලෙස මේ රට පාලනය කර අනාගතයට ගෙන යෑම ජාතික ජන බලවේගයේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා එසේ ප්රකාශ කළේ, ‘අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමිනි. බදුල්ල සේනානායක පිටියේදී පසුගිය (18)වැනිදා රැලිය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා :
“දැන් මේ දවස්වල කලබලකාරි තත්ත්වයක් වගේ හදාගෙන තිබෙනවා. ගමේ එහෙම තියෙනව ද? ඒ කලබලේ ඔක්කොම තියෙන්නේ මාධ්යවල. ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය තමයි ජාතික ජන බලවේගය, අපේ ආණ්ඩුව. ඒත් මාධ්ය ඇතුළේ, නිකං කලබලකාරි තත්ත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒකට හේතු තියෙනවා.
අපි හැමදාමත් කියනවා අපේ ආණ්ඩුව ගොඩනැඟුවේ මේ රටේ පොදු ජනතාව. ඒත් මම හිතනවා අපේ ආණ්ඩුව ගොඩනැඟීමේ ප්රධානතම හැරවුම් ලක්ෂ්යය බවට පත්වුණේ අපේ කාන්තාවෝ එක මිටට එකතු වීම. එහි ප්රතිඵලයක් ලෙස අපි 2024 සැප්තැම්බර් මාසේ ආණ්ඩුව හදාගත්තා. ඒ නිසා අපේ ආණ්ඩුව හදන ප්රධානම බලවේගය තමයි අපේ රටේ කාන්තාවෝ. ඒ විතරක් නෙවෙයි, මම දන්නවා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නෙත්, මේ ආණ්ඩුවට දිගින් දිගටම ජයග්රහණ ගෙනත් දෙන්නෙත් මේ රටේ කාන්තාවෝ.
විශේෂයෙන්ම අපි දන්නවා අපේ සහෝදරියන්, අපේ අම්මලා වැඩිම බලාපොරොත්තු තියන්නේ කවුරු කෙරෙහි ද? තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් මහන්සි වෙන්නේ කවුරු වෙනුවෙන් ද? තමන් වැඩිම බරක් තමන්ගේ හිසට අරගෙන තියෙන්නේ කවුරු වෙනුවෙන් ද? දරුවෝ වෙනුවෙන්. තමන්ට තියෙන ජීවිතය, තමන්ට තියෙන විනෝදය, සතුට, ඒවත් පැත්තකින් තියනවා දරුවෝ වෙනුවෙන්. දරුවෙක් අසනීප වුණොත් තමන්ට අසනීප වුණාටත් වඩා වැඩියෙන් වේදනාවකින් පෙළෙනවා අපේ සහෝදරියන්, ඇයි දරුවෝ වෙනුවෙන්.
දරුවන්ට උගන්වන්න වෙහෙස වුණොත් සමහර වෙලාවට දරුවන්ටත් වඩා වැඩියෙන් මහන්සි වෙන්නේ අම්මලා. ඇයි තමන්ට තමන්ගේ දරුවන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් තියෙනවා. මේ මොහොතේ ජීවත් වෙන ජනතාව අපි බලාගන්නත් ඕනෑ, ඒ වගේම අපේ අනාගත පරම්පරාවට සුරක්ෂිත රටක් ගොඩනැඟීමයි අපේ ආණ්ඩුවේ ප්රධානම වගකීම ලෙස අපි සලකන්නේ.
චීන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී, මම ඇහුවා එතුමාගෙන් “චීනය විශාල ජයග්රහණයක් අත්පත් කරගෙන තියෙනවා. ලෝකයේ ප්රබල ආර්ථික බලවතෙක් හැටියට පත්වෙලා තිබෙනවා. තාක්ෂණයේ විශාල ඉදිරි පිම්මක් අරන් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ විශාල පංගුවක් චීනය අද අත්පත් කරගෙන තිබෙනවා, චීනය මේ තරම් විශාල ජයග්රහණයක් ලබාගැනීම පිටුපස තිබෙන රහස මොකක්ද කියලා. එතුමා කිව්වා එකම රහස අපේ පැරණි පරම්පරා විසින් කරපු කැපකිරීමේ ප්රතිඵල කියලා. ඒ කියන්නේ අද චීනය අත්පත් කරගෙන තියෙන ජයග්රහණ පිටිපස්සේ තිබෙන ප්රධානම කාරණය මොකක්ද? පැරණි පරම්පරාව ඒ රට ගොඩනැඟීම සඳහා අපේක්ෂාවකින්, බලාපොරොත්තුවකින් කරපු කැපකිරීම තමයි අද චීනය මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ කියලා එතුමා කිව්වා.
දැන් එහෙනම් අපිටත් තියෙන්නේ මොකක්ද? අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කැපවෙමින්, වෙහෙස වෙමින්, මහන්සි වෙමින් වැඩ කරන්න ඕනෑ.
සමහර අය මම දැක්කා නව අධ්යාපන ප්රතිසංස්කරණය ගෙනාවොත් උපවාස කරලා මැරෙනවා කියලා කියනවා, ඇයි ඒගොල්ලෝ පැරණි ලෝකෙට අයිති අය. ඒ නිසා අලුත් ලෝකයකට අවශ්ය පරිවර්තනය පහසුවෙන් කරන්න බෑ. එය පහසුවෙන් කරන්න බැරි ඇයි? පැරණි ලෝකේ කට්ටිය මේකට බාධා කරනවා. නමුත් හැම දෙනාම මතක තියාගන්න ඕනෑ, මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. කවර දේ ඇති වුණත් ජනතාවගේ දරුවන් වෙනුවෙන් අරන් තියෙන තීන්දුව ආපසු හරවන්නේ නැහැ. අපි ඒ වැඩේ කරනවා. ඒකට අපිට මහජන බලය අවශ්යයි. මොකද මේ නව වෙනස්කම් පැරණි අයගෙන් ලේසියෙන් කරන්න හම්බවෙන්නේ නෑ.
ඊළඟට අපේ දරුවෝ ලෝකෙට යනකොට අපේ දරුවන්ට මොන වගේ රටක් ද ඕනෑ? ලෝකේ දියුණුයි කියන සම්මත හැම රටකම පොදු කුලකයක් තිබෙනවා. හැම රටකම නීතිය සමානව ක්රියාත්මක වෙනවා. අපි අධ්යාපනය ප්රතිසංස්කරණය කරලා විතරක් ප්රමාණවත් නෑ. අපේ දරුවන්ට අපි හදන රටේ නීතිය, සාධාරණත්වය හදන්න ඕනෑ. නීතිය සාධාරණත්වය නොහැදුණොත් ඒ දරුවන් ඒ රට ඇතුළේ අනාරක්ෂිතයි.
එහෙනම් ඒ දරුවන්ට ආරක්ෂාව ලැබෙන්න නම් නීතිය සමානව ක්රියාත්මක වෙන්න ඕනෑ. නමුත් අපේ රටේ සමානව නීතිය ක්රියාත්මක වුණේ නෑ. මොකද වෙන්නේ. ගමේ ඉන්න දේශපාලන අධිකාරියට සම්බන්ධ ලොකුම චණ්ඩියා ගස් කපනවා. හැබැයි එයාට නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ. එයා දේශපාලන බලයෙන් ආරක්ෂා කරනවා. ගමේ ඉන්න දේශපාලන රැකවරණය තියෙන ලොකුම චණ්ඩියා නීතිවිරෝධිව වැලි ගොඩදානවා. ඒකට නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ. එතකොට පාරිසරික පද්ධතිය කඩා වැටෙනවා.
ගමේ ඉන්න දේශපාලන රැකවරණය ලබන ලොකුම චණ්ඩියා නීතිවිරෝධි මත්ද්රව්ය අලෙවි කරනවා. විකුණනවා. නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ. ඇයි, දේශපාලන රැකවරණය තියෙනවා. අන්න එහෙම රටක දරුවන්ට රැකවරණය තියෙනවද? දරුවන්ටත් මුළු සමාජයටත් රැකවරණය තියෙන්න නීතිය හැම කෙනාටම සමානව ක්රියාත්මක වෙන්න ඕනෑ. නීතිය ඉදිරියේ සැම දෙනාම සමානයි. හැබැයි ඒ පරිවර්තනය ලේසි නෑ. නීතියෙන් රැකවරණය ලබපු අය හිටියා. නීතියෙන් බේරුණු අය හිටියා. නීතියෙන් වරප්රසාද ගත්තු අය ඉන්නවා. ඒගොල්ලෝ කවදාවත් කැමැති නැහැ නීතිය සමාන රටක් හදනවාට.
ඒගොල්ලන්ට නීතියෙන් හැම වෙලාවේම වරප්රසාද තියෙන්න ඕනෑ. රැකවරණය තියෙන්න ඕනෑ. ආරක්ෂාව තියෙන්න ඕනෑ. ඒගොල්ලෝ නීතියෙන් බේරෙන්න ඕනෑ, පහළ අයට නීතිය ක්රියාත්මක වෙන්න ඕනෑ. අපේ රටේ නීතිය පිළිබඳව තිබුණු අදහස වුණේ නීතිය මකුළු දැලක් වගේ කියලා. ඒ කියන්නේ පොඩි අය අහු වෙනවා. ලොකු අය කඩා ගෙන යනවා. අපේ රටේ නීතිය එහෙම තිබුණේ. අපිට අවශ්යයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හැම කෙනාටම සමාන නීතියක් තියෙන රටක් හදන්න. අපි ඒක හදනවා.
නමුත් ඒක හදනකොට පරණ නීතියෙන් වරප්රසාද ලබපු, නීතියට වඩා උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කලබල වෙලා. ඇයි, මේ දවස්වල නීතිය තමන් ළඟට ළඟා නොවෙයි කියලා හිතපු අය ගාවට නීතිය ඇවිල්ලා තියෙනවා. කවදාවත් හිතුවේ නැහැ. අද නීතිය කාටත් සමානයි. එතකොට අන්න පැරණි නීතියෙන් වරප්රසාද ලබපු, නීතියෙන් රැකවරණය ලබපු, නීතිය ඉදිරියේ තමන්ට දඬුවම් ලැබෙයි කියලා හිතන අය මොකද කරන්නේ, ඒකට එරෙහිව කෑගහන්න පටන් ගන්නවා. මේකයි මේ තියෙන තත්ත්වය.
කුඩු අල්ලපුවහම මත්ද්රව්යකාරයන් ගිහිල්ලා බදාගන්නවා, සංඥාවක් දෙනවා ‘අන්න මේ කුඩු ව්යාපාරය අපිත් එක්ක’ කියලා. මේ කුඩු ආරක්ෂා කරන්නේ දේශපාලන අධිකාරිය. ඒගොල්ලන් ඡන්දවලට සල්ලි පොම්ප කරනවා, ඒගොල්ලෝ ඡන්දවලට වාහන එවනවා, ඒගොල්ලෝ ඡන්දවලට කෑගහන්න පටන් ගන්නවා. විශාල දේශපාලන රැකවරණයක් සමඟ මේ කුඩු සහ අපරාධ කල්ලි වර්ධනය වුණා.
ඒ අනුව මත්ද්රව්ය ඈත ගම්නියම්ගම් දක්වා පැතිරෙමින් තිබෙනවා. අපේ දරුවන් ගිලගන්න මහා රාක්ෂයෙක් අපේ මේ සමාජයේ අද සැරිසරනවා. ඒ රාක්ෂයා වෙන කවුරුත් නෙමෙයි, මත්ද්රව්ය. අපේ ළඟ තියෙන වාර්තා අපි පස්වැනිදා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. පාසල් දරුවන් කොච්චර ප්රමාණයක් අපි අත්අඩංගුවට අරන් තියෙනව ද? ඉගෙනගන්න දැරිවියන් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. අපි පිළිගන්න මහා ගෞරවයට භාජන වුණු ආයතනවල, සංස්ථාවල කට්ටිය අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා. අපේ ගෞරවයට භාජන වෙච්ච ස්ථානවල අයත් මේ මත්ද්රව්ය උවදුරේ ගොදුරු බවට පත්වෙලා මුළු සමාජයම ඛේදවාචකයක් වෙලා තිබෙනවා. පොලීසියේ අතළොස්සක් මෙහි ගොදුරු බවට පත්වෙලා තිබෙනවා.
ඒ නිසා මේ රාජ්ය පාලනය මෙහෙම තියෙන ගමන් යටින් රාජ්යයක් තියෙනවා. ඒ පාතාලකාරයාට පුළුවන් පාස්පෝර්ට් කාර්යාලයට ගිහිල්ලා පාස්පෝර්ට් තුන හතරක් හදාගන්න. ඒ කුඩු ව්යාපාරිකයාට පුළුවන් RMV එකට ගිහිල්ලා එකම වාහනයට පොත් හතරක් පහක් ගන්න. ඒ කුඩු ව්යාපාරිකයාට පුළුවන් කස්ටම් එකට ගිහිල්ලා තමන්ගේ කුඩු කන්ටේනරය පන්නගන්න. මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මේ ජාලය මේ දක්වා වර්ධනය වෙලා තිබෙනවා.
දරුවන්ට එහෙම සමාජයක රැකවරණයක් තියෙනව ද? ඕගොල්ලෝ තමන්ගේ දරුවා මොනතරම් තමන්ගේ ගෙදර ආරක්ෂා කරගත්තත්, එක අවධියක දරුවා සමාජයට මුදාහරින්න වෙනවා. අම්මා පිටිපස්සෙන් ගියපු කාලය අවසන් කරන්න වෙනවා. තාත්තා සොයාබලපු කාලය අවසන් කරන්න වෙනවා. සමාජයට දරුවා ස්වයං දරුවෙක් හැටියට නිදහස් කරන්න වෙනවා. නමුත් නිදහස් කරන්න පුළුවන් ද?
කුඩු, අපරාධ, පාතාලයෙන් මේ සමාජය පිරිලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනෑ. අපේ ආණ්ඩුව ගිය අවුරුද්දේ මේ කුඩු ව්යාපාරය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළා. එහි ප්රතිඵලයක් ලෙස අපි අද මත්ද්රව්ය තොග විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවන්ට ආරක්ෂාව, රැකවරණය තියෙන රටක් හදන්න නම් මත්ද්රව්ය සහ පාතාලය විනාශ කරන්න ඕනෑ. ඒත් කරන්න යනකොට මොකද වෙන්නේ? ඒ මත්ද්රව්ය ජාලයෙන් රැකවරණය ලැබපු අය, ඒ පාතාලයෙන් රැකවරණය ලබපු අය, මුදල් ලැබුණු අය, වාහන ලබුණු අය, ගෙවල් ලැබුණු අය. ඒගොල්ලෝ කලබල වෙනවා කලබල වෙලා කියනවා ‘අපෝ මේ ආණ්ඩුවට වැඩිදුරක් යන්න දෙන්න හොඳ නැහැ’ කියලා.
ඇයි ඒගොල්ලෝ අත්අඩංගුවට පත්වෙනවා. ඒකයි මේ කලබල ඇති කරන්නේ මාධ්ය නාළිකා දෙකක් උපයෝගි කරගෙන, ඒ නාළිකාවලට සමහර විට මේ චෝදනා එල්ල වෙච්ච ඉතිහාසයක් තිබුණා. ඒ නිසා මේ ඔක්කොම මේ අපරාධවලට සම්බන්ධ ජාලය. ඒකේ දේශපාලනඥයෝ හිටියා. ඒකේ කළු ව්යාපාරිකයෝ ඉන්නවා, ඒකේ පාතාලය ඉන්නවා, ඒ වගේම මාධ්ය නාළිකා එකක් දෙකක් ඉන්නවා. හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට අවශ්යයි මේ පාතාලයට, මේ කුඩු ව්යාපාරයට එරෙහිව යන ව්යාපාරය නතර කරන්න.
ඒ වගේම අනාගතයේ ගැටුම්කාරිත්වයක් ඇති නොවන රටක් අපේ දරුවන්ට අවශ්යයි. අපේ රට අවුරුදු 30ක් අනවරත යුද්ධයක හිටියා. ඒ යුද්ධයේදී විශේෂයෙන්ම මේ බදුල්ලේ, මහියංගණය ප්රදේශයේ අම්මා තාත්තාගේ දරුවෝ යුද්ධයට ගිහිල්ලා මේ රට වෙනුවෙන් මියගියා. අපිට මතකයි මීට අවුරුදු හත අටකට කලින් ගත්තහම, මේ ගොඩක් තැන්වල මියගිය රණවිරුවෙක්ගේ නමින් බස් නැවතුම්පොළ හදලා තිබුණා.
කනත්තට ගිහිල්ලා බලපුවහම ලොකුම සොහොන් කොත තිබුණේ උතුරේ යුද්ධයට ගිහිල්ලා මියගිය අපේ අම්මා තාත්තාගේ දරුවන්ගේ. ඒ නිසා මේ රටේ පුරවැසියන්, තරුණ තරුණියන් එකිනෙකා ඇනකොටා ගන්නේ නැති රටක් අපි හදන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් හදන්න ඕනෑ. එකිනෙකා අතර වෛරයෙන්, ක්රෝධයෙන්, කෝපයෙන් බලන රටක් අපිට ඕන නැහැ. අපිට ඕන ජාතික සමඟිය තියෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවුරුත් අපේ දරුවන් සහෝදරත්වයෙන් වෙළීගෙන ජීවත් වෙන රටක් ඕනෑ.
ඒක හදන්න අමාරුයි. අද පැරණි බලවේගවලට තියෙන එකම රැකවරණය ජාතිවාදයයි. ඔවුන්ට ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න බැහැ, ඒගොල්ලන්ගේ ප්රජාතන්ත්රවාදී ඉතිහාසය ජනතාව දන්නවා. ආර්ථික වර්ධනය ගැන කතා කරන්න බැහැ, ගෑස්, ඩීසල්, විදුලිය නැති කරපු ඉතිහාසය ජනතාව දන්නවා. ඒගොල්ලන්ට වංචා දූෂණ ගැන කතා කරන්න බැහැ, එයාර් ලංකාවලින්, මහබැංකුවෙන් ගහපු ඉතිහාසය ජනතාව දන්නවා. ඒගොල්ලන්ට අපේ රටේ අධ්යාපනය ගැන කතා කරන්න බැහැ, ඒකට කරපු විනාශය රටේ ජනතාව දන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මොකක්ද ‘ජාතිය බේරගන්න ඕනේ, ජාතිය අනතුරේ’ – ඔච්චරයි! මතක තියාගන්න, මේ ශ්රී ලාංකේය ජාතිය අනතුරට නොවැටෙන්න මේ රට පාලනය කිරීමත්, අනාගතයට ගෙනයෑමත් ජාතික ජන බලවේගයේ අපේ වගකීම, අපි ඒක ඉටු කරනවා.
ඒත් ජාතික සමඟියට ඉඩදෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනෑ යළි කවර ආකාරයේ හෝ ජාතිවාදයක් උස්සලා ගැටුමක් හදන්න. උතුරෙත් ඉන්නවා පැරණි දේශපාලන ව්යාපාර, ඒගොල්ලන්ට වෙන පැවැත්මක් නැහැ උතුරේ. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට පහුගිය මැතිවරණයේදී යාපනය දිස්ත්රික්කයේ ජනතාව ජාතික ජන බලවේගය ජයග්රහණය කෙරෙව්වා. වන්නිය ජයග්රහණය කළා, ත්රිකුණාමලය ජයග්රහණය කළා, නැඟෙනහිරත් එහෙමයි. ඒ කියන්නේ මොකක්ද උතුරේ, නැඟෙනහිර භේදයකින් තොරව ජනතාව අද ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා.
අපේ රටේ යුද්ධ හදපු දේශපාලනය, අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරා දැමූ දේශපාලනය, අපි වෙනස් කරනවා. වෙනස් කරනකොට මොකද කරන්නේ පැරණි ජාතිවාදීන් නැඟිටින්න පටන් ගන්නවා. ඒ නිසා අපි එහෙම පැති කීපයකින් ගත්තොත්, අධ්යාපනයට පැරණි පිල්ලි කලබල කරනවා. මත්ද්රව්ය කුඩුවලට විරුද්ධව කටයුතු කරද්දි ඊට එරෙහිව පැරණි පිල්ලි කලබල කරනවා, ජාතික සමඟිය හදනකොට ජාතිවාදී පිල්ලි කලබල කරනවා. මේකයි අද තියෙන තත්ත්වය. හැබැයි මතක තබාගන්න, ඒ කලබලවලට මාධ්ය නාළිකා එකක් දෙකක් ඉන්නවා, ඔය පරණම පිල්ලි ටික ඉන්නවා. මේ රටේ පොදුජනයා නැහැ.
මම දැක්කා ඊයේ, ජනවරම සුරකින පුරවැසියෝ දහස් සංඛ්යාත පිරිසක් කොළඹට එනවා. මේ කුමන්ත්රණ පරාද කරන්න ඕනෑ. මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ජනතාවගේ න්යායපත්රයට වැඩ කරමින් තිබෙනවා, ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා. දැන් ඒකට එරෙහිව කුමන්ත්රණ ක්රියාත්මක කරන්න උත්සාහ කරනවා. මතක තබාගන්න, අනෙක් හැම ආණ්ඩුවක්ම ඒ කුමන්ත්රණවලට යටවෙන්න පුළුවන්, කුමන්ත්රණවලට ගොදුරු වෙන්න පුළුවන්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එවැනි කිසිදු කුමන්ත්රණයකට ගොදුරු කරගන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි.
ඒ වගේම මේ වංචාව, දූෂණය, නාස්තිය අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න ප්රධාන හේතුවක් වුණා. අපි එළියේ ඉඳන් දැක්කට වඩා වැඩියි ඇතුළට ගිහිල්ලා බලපුවහම මහජනයාගේ ධනය කොච්චර නාස්ති කරලා තියෙනව ද? කොච්චර විනාශ කරලා තියෙනව ද? කොච්චර හොරකම් කරලා තියෙනව ද? ඇත්තටම හරියට පරීක්ෂණ කළොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නෑ. මේක ඇත්ත තත්ත්වය. අපි වංචා, දූෂණයට එරෙහිව ක්රියාත්මක වෙනවා, අත්අඩංගුවට ගන්නවා, පරීක්ෂණ පවත්වනවා, නඩු දානවා, අධිකරණයෙන් දඬුවම් ලබාදෙනවා. මේ වැඩේ අපි හරියට කරනවා.
මේක මේ ඉතුරු අවුරුදු තුනේම කරනවා, ඊට පස්සේ ඊළඟ සැරෙත් අල්ලනවා. මේක අවුරුද්දෙන් දෙකෙන් ඉවරවෙන එකක් නෙමෙයි. සමහර ඒවා, සමහර රටවල් එක්ක සම්බන්ධයක් තියෙනවා, සමහර රටවලට පැනලා ගිහිල්ලා ඉන්නවා, ඒගොල්ලෝ ගෙන්නගන්න ඕනෑ. සමහර ඒවට ඒ රටවල බැංකුවල විස්තර ගෙන්න ගන්න ඕනෑ. සමහර ඒවට රටවලින් ඇවිල්ලා සාක්ෂි දෙන්න ඕනෑ. වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මේ රටේ වංචාව, දූෂණය තුරන් කරනවා විතරක් නෙවෙයි,මේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරපු හැම කෙනාවම නීතිය ඉදිරියට පමුණුවා, දඬුවම් ලබාදෙනවා. එතකොට කලබල වෙනවා. මතක තියාගන්න, තව කලබල වෙන්න ඕනෑ මේගොල්ලෝ.
ඒගොල්ලෝ හැමදාම හිතුවා මේ ඔංචිල්ලාව ඒ පැත්තට යනවා, මේ පැත්තට එනවා. දෙපැත්තට මේ ඔංචිල්ලාව ගමන් කරමින් තිබුණා. අර පැත්තට යනකොට කට්ටියක් ඒකේ, මේ පැත්තට යනකොට අරකේ කට්ටියක් ආයේ නැඟලා මේ පැත්තට ආවා. අලුත්ම කට්ටියක් ආවේ නැහැ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ නොසිතූ දෙයක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ තොටිල්ල ගැස්සෙන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ හිතුවේ නැහැ. ඒගොල්ලන්ගේ වංචා, දූෂණ පිටුපස හඹාගෙන යන පාලනයක් හැදෙයි කියලා. දැන් හැදිලා තියෙනවා. අන්න කලබල වෙනවා, කුමන්ත්රණ ඇති කරනවා. මේක තමයි අද සමාජයේ තියෙන තත්ත්වය. ඒ නිසා මම හිතන්නේ අපිට තියෙනවා දේශපාලනයක්.
මම හිතනවා මේ බලය ආයේ හොල්ලන්න පුළුවන් බලයක් නෙවෙයි, මේ සහෝදරියන් අපිත් එක්ක ඉන්නතාක් කල්. ඒ නිසා මම හිතනවා අපි ඔක්කොම ගිහිල්ලා ගම්වල එකතු වෙලා ශක්තිමත්ව ව්යාපාරය හදමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම කැපවෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තූතියි හැමදෙනාටම, ජය වේවා කියලා ප්රාර්ථනා කරනවා.”


