
සුජිකලා වෙසක් කාඩ් ඔබට මතකද ?

එදා ජීවිතය ජයගත් නිර්මාණකරුවෝ”වෙසක් මාසය නිමිත්තෙනි..☸❤🙏
මෑත අතීතය දක්වාම “සුඡිකලා”,” කලෙයි මගල්”, “දුමින්ද එරන්ද” “ලලිත කලා”
වැනි ආයතනවලින් වෙසක් පත්,වෙසක් සැරසිලි දිනපොත් හා කැලැන්ඩර් නිකුත් කලා මට නම් තාමත් මතකයි.
මේ පුවතේ ඡායාරූපයේ බකටි එකක් අතැතිව සිටින්නේ “සුජිකලා “ආයතනයේ හිමිකරු.එතුමාගේ ලොකු විස්තරයක් නම් මට සොයා ගැනීමට නොහැකි උනා. ඒ පිළිබඳව කණගාටුවට.
බලන්න අපි ඔහුගේ සැබෑ ස්වරූපය තිරයකින් වත් දැක නැතත් හරිම සරල පුද්ගලයෙක් වගේ පේනව නේද.ඔහු ගැන වරදක් එහෙම කියනව නොවෙයි ඒක ඉතින් අපි බොහෝ අයට නැති ඒගොල්ලලග තියෙන ප්‍රවේනි ගති ලක්ෂණයක් තමයි නේද.
ලක,ලෝකය දිනූ බොහෝ ප්‍රසිද්ධ ව්‍යවසායකයින්ගේ දියුණුවේ රහසත් ඕකම තමා කියලයි මට සිතෙන්නේ.ඒව ඔවුන්ගේ ජීවන චරිත කියවන විට හොඳටම දැනෙනව.
තව තැනක දුටූ තොරතුරක් අනුව “සුඡිකලා” ආරම්භය 1976 පමණ බව සඳහන් වී තිබුණා. ඉතාම කෙටි කලකින් පාරිභෝගික ආකර්ෂණය දිනාගත් ලස්සන වෙසක් කාඩ් ඔවූන් වෙළද පලට නිකුත් කර තිබුනා.
අපේ 80 දශකයේ එදා අපේ චූටි කාලයේ වෙසක් සමය උදා වන විට අද වගේ තාක්ෂණය දියුණු වෙලා නොතිබූ නිසා වෙසක් පත් වලට තිබුණේ මහත් ඉල්ලුමක්. ඉහත සඳහන් කල ආයතන වලින් ඒ ආයතනයට අදාලව වැඩකල චිත්‍ර ශිල්පීන් විසින් ඒ ඔවුන්ගේ චිත්‍ර කලාවට ආවේණික ලක්ෂන ලෙස නිර්මාණය කල වෙසක් පත් නිර්මාණ වෙළද පලට දැම්මා.
ඇත්තටම අපිට ඒ කාලයට වැඩ ගොඩයි.වෙසක් සැරසිලි සේම වෙසක් පත් ගැන ප්‍රමුඛ ව කතා කලොත් අනිවාර්යයෙන්ම පාසලේ හොදම යහලුවන්ට වගේම විශේෂයෙන්ම නෑ සහ අසල්වාසීන් ට වෙසක් පතක් තිලිණ කිරීම පුරුද්දක් උනා.ඒ වගේම ලැබෙන ඒව එකතු කිරීම කලා.
මට මතක් වෙනව අපේ කාලේ දෙපැත්තට විවෘත කරන කාඩ් වලට වඩා ගත්තේ පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඒව.වියදමත් අඩුයි ඉතිං..ඔය ඉහත නිෂ්පාදකයට නාම වලින් ඒවා එදා වෙළද පලේ තිබුණා.

කාඩ් එකක් ද ඉතාමත්ම අඩු මුදලක් උනා. පාසලේ යහලුවන්ට අතේ තමයි හුවමාරුව. නැදෑයිනට තැපැල් කලා .සමහර විට අසල්වැසීන්ට පවා තැපැල් කලා.ඒකත් සතුටක් උනා.
ඇයි ඒ අතර නෑ හිත මිතුරන් තැපෑලේ එන ඒව පියුම් මාමා විසින් අරගෙන අද ඒවි අද ඒවි යන සිතුවිල්ල පෙරදැරිව පාර දිහා කොතරම් බලාගෙන ඉන්න ඇතිද.
එම පත් පෝස්ටි කාඩ් නිසා මුද්‍දරය එහිම අලවන ස්ථානයක් පිටුපස දකුන උඩ කෙලවරේ තිබුනා.
ඒ විතරක්ද ඒ වෙසක් පතට අදාලව කවි පදයක් තිබ්බා. ඒකේ අවසාන පේලියේ හිස් තැනක් යොදා …..(ඔබට,මල්ලීට,නංගීට, අමිම,තාත්ත. …වැනි ආමන්ත්‍රණයක් කිරීමට පවා තිබුණා)
වෙසක් කාඩ්පත වෙසක් එකට පමණක් සීමා උනේ නෑ පොසොන් එක දක්වාම අපේ කාලයේ ඇදී ගියා.ඒ විතරක්ද පාසලට ගෙන ගිය අභ්‍යාස පොත් ඇතුළුව රජයෙන් දුන් පොත් වලට අලුත්ම පිටකවර දැමූ පසු කවරය සැරසුවේ ලස්සන වෙසක් පතක් එහි අලවලා.
ඇත්තටම එදා අලුත්ම වෙසක් කාඩ් වල දැනුන සුවඳ තාමත් නහයට දැනෙනවා,දැනෙනවා වගේ.
ඒ අතීතය මතක් වෙනකොට වෙසක් සමයත් සමග සිතුවිලි වලින් අමුතුම ලෝකයකට අරං යනවා.
පසුගිය කාලෙ චීනය වගේ රටවලින් සුබපැතුම් පත් සහ ඒ ආශ්‍රිත දේවල් ආනයනය මගින් දේශීය නිෂ්පාදකයට තිබුනු තැන නැතිවුන එක තමයි උනේ. ඒ තමයි ඉතින් අපේ මිනිස්සුන්ගේ ජානවල හැටි. එහෙම නොවුනනම් “කලෙයිමගල්” අද වෙනකොට චීනෙටත් බඩු යවනව කියලයි මට හිතෙන්නේ .
ජංගම දුරකතන භාවිතය සහ විද්යුත් මෙවලමි වැඩිවීම ,ආනයනය නිසාත් වෙසක්පත් අලෙවිය අඩුවෙලා තියෙනවා.
මෙහි තවත් එක් ආයතනයක් වන “කලෙයිමගල්” මුදලාලිගෙ මරණයෙන් පසු ඒ ආයතනයත් වැසී ගිහින් තියෙනවා.
“සුජිකලා” ආයතනය ගැන නම් තොරතුරු සොයා ගැනීමට නොහැකි උනා. දන්න අය තාමත් ඒ කර්තව්‍යයේ යෙදිල ඉන්නවද කියල අපිට කියන්න. .
මෙහි ඡායාරූපය උපුටා ගත්තේ මුහුණු පොතෙන් වන අතර නිෂ්පාදන නාමය සඳහන් ඡායාරූපය නිවසේ තිබූ පරණ වෙසක් පතක එකක්..
2022 අවුරුද්දේ ලියන ලදී.

නිරුවත නිසා සුද්දන් බිය වූ තාරා දෙවඟන ප්‍රතිමාව….

අපේ පුරාවස්තු රාශියක් සුද්දන්ගෙ කාලෙ එංගලන්තෙට අරන් ගොස් තිබෙනවා. ඒවා එංගලන්තෙ වගේම වෙනත් යුරෝපීය රටවලත් කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ අතරින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති තාරා දෙවඟන ප්‍රතිමාව ඉහළම කීර්තියක් හිමිකර ගත් පුරාවස්තුවක්. එය ලන්ඩන් කටුගෙයි දකුණු ආසියානු මැදිරියේ නරඹන්නන්ගේ ආකර්ශනයට ලක්වන මූර්තියක්.
තාරා දේවිය ලන්ඩන් ගියේ කොහොම ද?
තාරා දෙවඟනගේ ප්‍රතිමාව හමුවූ බව පැවසෙන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව අතර ස්ථානයකින්. එය, 1812-1822 අතර කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබර්ට් බ්‍රවුන්රිග් විසින් 1930 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලබා දී ඇති බව සඳහන් කොට තිබෙනවා. බ්‍රවුන්රිග් මෙම ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලබාදෙන නමුත් 1860 වර්ෂය දක්වාම මෙම ප්‍රතිමාව මහජන ප්‍රදර්ශනයට ඉඩක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව ප්‍රතිමාව උඩුකය නිරුවත්ව පැවතීම යි
1830 සිට 1865 දක්වා මෙය තිබෙන්නේ ප්‍රදර්ශනය නොකරන පුරාවස්තුවක් ලෙසට යි. 1865 වසරේ දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලෝකයේ විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට නුසුදුසුයැ යි සැලකෙන කෞතුක වස්තූන් අධ්‍යයනය සඳහා පමණක් වෙන්වූ රහසිගත ඒකකයක් ස්ථාපිත කරනවා. 1865 සිට 1960 දක්වාම මෙම ප්‍රතිමාව තිබෙන්නේ එම රහසිගත කෞතුකාගාර ගබඩාවේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස යි.
විශේෂිත එකතූන් අතර වසර 130ක් පැවතීමෙන් පසු 1960 සිට අද දක්වා මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙම ප්‍රතිමාවේ අනුරුවක් ලංකාවේ ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකියි.

බෝධිසත්ව වන්දනාව
මුල් අවධියේ ශ්‍රී ලංකාවේ බුදු දහම ථෙරවාදී දහමක් ලෙස යි පැවතුණේ. පසුකාලීනව විදේශීය බලපෑම් නිසා මහායාන සංකල්ප මෙරටට පැමිණියා. එහි දී බෝධිසත්ත්ව ඇදහීමට ප්‍රධාන තැනක් ලැබුණා. අනුරාධපුර යුගයේ මහසෙන් රජ සමයේ බෝධිසත්ත්ව ප්‍රතිමා ඉදිවූ බැව් සඳහන් වෙනවා. ධාතුසේන රජු (ක්‍රි.ව. 459–477) විසින් මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක් ඉදිකළ බැව් සඳහන් වෙනවා.
ක්‍රි.ව. 7–10 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මහායාන බුදු දහම ප්‍රබලව ව්‍යාප්තව ගොස් පැවති බව හෙළිවෙනවා. පළමුවන දප්පුල රජු රුහුණේ රියන් පහළොවක් උසැති මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක් තැනවූ බැව් මහාවංශයේ දැක්වෙනවා. එය මොණරාගල දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව විය හැකියැ යි විශ්වාස කෙරෙනවා. වැලිගම කුෂ්ටරාජගලත් විශාල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් බෝධිසත්ත්ව ප්‍රතිමා පමණක් නොව බෝධිසත්වවරියන්ගේ ප්‍රතිමා ද හමුවී තිබෙනවා. අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ ශක්තිය හෙවත් බිරිය ලෙස සැලකෙන තාරා දෙවඟනගේ ප්‍රතිමා ඒ අතරින් විශේෂිත යි.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දකුණු ආසියානු ගැලරියට පිවිසුණු වහාම නෙත ගැටෙනුයේ ලෝකයේ වැදගත්ම කෞතුක භාණ්ඩ 100න් 54 වන ස්ථානයට ඔවුන් ඇතුළත් කර තිබෙන්නේ, පුරාණ ශ්‍රී ලාංකීය ශිල්පීන් තැනූ විශිෂ්ටතම කාන්තා මූර්තිය සේ සැලකිය හැකි තාරා දෙවඟනගේ පිළිරුව යි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර එයට ඉහළම තැනක් මෙන්ම ඉහළම ආරක්ෂාවක් ද ලබාදී තිබෙනවා. මේ ප්‍රතිමාව කාන්තා ලාලිත්‍යය විශිෂ්ට ලෙස නිරුපනය කර ඇති කලා නිර්මාණයක් බව එය දෙස බලන විට පැහැදිලි වෙනවා. මෙය 7-8 සියවස් අතරට අයත් වන බව විශ්වාස කෙරෙනවා
මේ ප්‍රතිමාව නිමාකර තිබෙන්නේ ඉඟටියෙන් මඳක් නැමී සිටින ආකාරයෙන්. දකුණු අත වරද මුද්‍රාවෙනුත් වම් අත විතර්ක මුද්‍රාවෙනුත් නිම කර තිබෙනවා. සිරුරේ ඉඟටියෙන් පහළ කොටස වළලුකර දක්වා රැලි සහිත වස්ත්‍රයක් ඇඳ සිටිනවා. උඩුකය නිරුවත් ලෙස යි තනා තිබෙන්නේ. මේ පිළිමයට මැණික් ගල් රැසක් අල්ලා තිබෙන්නට ඇති බව දකින්නට ලැබෙන සිදුරුවලින් පෙනෙනවා. මෙහි සිරස් පළඳනාවේ ඇති කුහරය ඊට මැණික් ගලක් අල්ලා තිබු බවට සාක්ෂි සපයනවා. ප්‍රතිමාවේ වමතින් නෙලුම් මලක් දරා සිටින්නට ඇතැ යි ද විශ්වාසයක් පවතිනවා.
පිළිමයේ උස සෙන්ටිමීටර් 143.75ක් වෙනවා. එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රමාණයෙන් හතරෙන් තුනක් පමණ වෙනවා. මේ ප්‍රතිමාව මැටි අච්චුවක් මත ලෝහ වත්කොට ඇතුළත කුහරයක් සිටින සේ වාත්තුකරන ලද්දක් නොවේ. ඉටි මැකුම් ක්‍රමය භාවිතකොට ඝන වාත්තු ක්‍රමයට සම්පූර්ණයෙන්ම තඹවලින් වාත්තුකොට රන් ආලේප කරන ලද්දක්. අඩක් වැසුණු නෙත් සඟල සමාධිගත ඉරියව්වක් ප්‍රකට කරනවා. පුන් පියයුරු මෙන්ම පියයුරු තුඩු ද මනාව දක්වා තිබුණත් මනා ඉන්ද්‍රිය සංවරත්වයක් හා ශාන්ත භාවයක් තමයි පිළිමයෙන් පෙන්නුම් කරන්නේ. මෙය විශිෂ්ට කුසලතාවකින් පරිපූර්ණ ශිල්පියෙකුගේ නිමැවුමක් බව කලා විචාරකයන්ගේ මතය යි. තාරා ප්‍රතිමාව කාන්තාවකගේ ශාරීරික සුන්දරත්වය නොසඟවා කැටයම් කළ කලා කෘතියක් මෙන්ම ප්‍රතිමා ශිල්ප ක්‍රම පිළිබඳ තාක්ෂණික දක්ෂතාව ද පෙන්නුම් කරන නිර්මාණයක්.
මේ ප්‍රතිමාව ආනන්ද කුමාරස්වාමි පත්තිනි දේවියගේ ප්‍රතිමාවක් ලෙස හඳුන්වා තිබෙනවා. නමුත් පසුව එය මහායාන අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පිළිගැනුණා.

තාරා කවුද?
මහායාන බුදු සමය තුළ, සියලුම දෙවඟනන්ගේ ප්‍රතිමූර්තිය ලෙස තාරා දෙවඟන ප්‍රකටව සිටිනවා. ඇය මහායානිකයන්ගේ ප්‍රධාන දෙව්දුව යි. අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ශක්‌තිය හෙවත් පියඹ ලෙස හැඳින්වෙන තාරා දේවියගේ සම්භවය පිළිබඳ අද්භූත පුරාවෘත රැසත් පැතිර තිබෙනවා. බෝසතුන්ගේ කඳුළු බිඳුවකින් නිමවුන පොකුණක හටගත් නෙළුමකින් ඇය උපන් බව එක් විශ්වාසයක පැවසෙනවා. තවත් දේව කතාවක් අනුව අමිතාභ නම් මහායාන බුදුන්ගේ ඇසකින් නිකුත් වූ නීල වර්ණ රශ්මි කදම්භයකින් ඇය උපන් බව සඳහන් වෙනවා.
බ්‍රිතාන්‍ය කටුගෙයි මූර්තියට අමතරව වැල්ලවායේ බුදුරුවගල ශෛලමය තාරා මූර්තියක් ද, ගම්පොළට නුදුරු වේගිරිය දේවාලය, මහනුවර පස්ගම නාථ දේවාලය වැනි ස්ථානවල මැටියන් කළ තාරා පිළිම ද පිහිටා තිබෙනවා. අනුරාධපුර විජයාරාමයෙන් හමූවූ 9 වන ශත වර්ෂයට පමණ අයත් සංස්කෘත තඹ ඵලකවල ද තාරා දෙවඟන යදින ස්තොත්‍ර හමුවී තිබෙනවා.
අනුරාධපුර යුගයේ දී මෙන්ම ඊට පසු යුගවල දී ද වෙනත් තාන්ත්‍රික ඇදහීම් සමග තාරා දෙවඟන ඇදහීම ද මෙරට තිබූ බවට ඒවා සාධක තිබෙනවා. ගම්පොළ යුගය වන විට තාරා මෙන්ම ඇගේ සැමියා වන අවලෝකිතේශ්වර සිංහල දේවතාවන්ගේ තත්ත්වයට පත්ව සිටි බව තිසර සංදේශ කවියෙන් පැහැදිලි වෙනවා. ඔවුන් එහි නිරූපණය කර ඇත්තේ බැතිමතුන්ගේ අපේක්ෂා ඉටුකර දෙන සිංහල දෙවිවරු වශයෙන්. මෙය විශේෂයෙන්ම තාරා කෙරෙහි පැවති බව ඇය “සුරබිදෙන” ලෙස සැලකීමෙන් සිතිය හැකි බව ජෝන් ක්ලිෆඩ් හෝල්ට් සඳහන් කරනවා (මකුට මුනිධාරි අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය).
තිසර සන්දේශයේ තාරා ගැන සඳහන් කවිය යි මේ:
බෝරා යස වියන මහරු සිරිලක් මදුර වෙසෙසී
තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී
වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් සදිසී
තාරා බිසොවුනුදු නැමැද යා ගන් එයින් නොලැසී
උපුටා ගැනීම කි මුල් රචකයාට ස්තුතිය
මාතර අභිමානය Proud of Matara මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/profile.php?id=100080085251491


