
කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තය ෆෙඩරල් පාලනයෙන් වෙන්වීමේ උත්සාහය කෙරෙහි පැවති මහජන උනන්දුව 2026 වසර ආරම්භයේ සිට කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව නවතම Ipsos සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි. මැයි 28 සිට ජූනි 1 දක්වා කාලය තුළ පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව, ඇල්බර්ටා වැසියන්ගෙන් බහුතරයක් තවදුරටත් කැනඩාව සමඟ රැඳී සිටීමට කැමැත්ත පළ කරති,.
නවතම දත්ත වලට අනුව, ලබන ඔක්තෝබර් මාසයේදී බෙදුම්වාදය පිළිබඳ බැඳී පවතින ජනමත විචාරණයක් පැවැත්වීමට පක්ෂව අදහස් දක්වා ඇත්තේ ඇල්බර්ටා වැසියන්ගෙන් සියයට 19ක් පමණි. ඊට ප්‍රතිපක්ෂව, සියයට 72ක අතිමහත් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ තමන් කැනඩාව තුළම රැඳී සිටීමට ඡන්දය ප්‍රකාශ කරන බවයි. ජනවාරි මාසයේදී සියයට 28ක්ව පැවති බෙදුම්වාදී සහයෝගය මාස කිහිපයක් ඇතුළත සියයට 18 දක්වා, එනම් සියයට 10ක සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබීම විශේෂත්වයකි.
Ipsos Canada හි සභාපති ඩැරල් බ්‍රිකර් මහතා පවසන්නේ, බෙදුම්වාදය පිළිබඳ අදහස යථාර්ථයක් වීමට ආසන්න වන විට මිනිසුන් ඒ පිළිබඳව වඩාත් ප්‍රායෝගිකව සිතීමට පෙළඹී ඇති බවයි. “ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාව සැබෑවක් බවට පත්වන බව හැඟෙන විට, බෙදුම්වාදය සඳහා වන සහයෝගය ලිහිල් වන බව අපට පෙනෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.
ප්‍රාන්තය තුළ ප්‍රධාන නගර සහ ග්‍රාමීය ප්‍රදේශ අතර සහයෝගයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. බෙදුම්වාදය සඳහා අවම සහයෝගයක් වාර්තා වන්නේ කැල්ගරි (Calgary) නගරයෙනි. එහි පදිංචිකරුවන්ගෙන් සහය පළ කර ඇත්තේ සියයට 12ක් පමණි. එඩ්මන්ටන් (Edmonton) නගරයේ සහයෝගය සියයට 16ක් වන අතර, ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවල එය සියයට 27ක් දක්වා ඉහළ අගයක් ගනී.
දේශපාලන පක්ෂ පදනමින් ගත් කල, එක්සත් කොන්සර්වේටිව් පක්ෂයේ (UCP) ආධාරකරුවන් අතර පවා බෙදීමක් පවතී. ඔවුන්ගෙන් සියයට 50ක් කැනඩාවේ රැඳී සිටීමට කැමති අතර සියයට 41ක් බෙදුම්වාදයට පක්ෂව අදහස් දක්වති. කෙසේ වෙතත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (NDP) ආධාරකරුවන්ගෙන් සියයට 93ක අතිමහත් බහුතරයක් කැනඩාවෙන් වෙන්වීමට විරුද්ධ වෙති.
මීට පෙර ඇල්බර්ටා වැසියන් බෙදුම්වාදය දෙස බැලුවේ ඓතිහාසික අසාධාරණයන් පදනම් කරගෙනය. නමුත් දැන් එම තත්ත්වය වෙනස් වී ඇත. වෙන්වීමට පක්ෂ අයට අනුව සියයට 61ක් විශ්වාස කරන්නේ ඇල්බර්ටා හි අනාගතය කැනඩාවෙන් බැහැරව වඩාත් යහපත් වනු ඇති බවයි. ඓතිහාසික දුක්ගැනවිලි පදනම් කරගත් පිරිස සියයට 39 දක්වා අඩු වී ඇත.
ඇල්බර්ටා ප්‍රාන්තයෙන් බැහැර කැනේඩියානුවන්ගෙන් සියයට 80ක්ම පවසන්නේ ඇල්බර්ටා කැනඩාව තුළම රැඳී සිටිය යුතු බවයි. ක්විබෙක් (Quebec) ප්‍රාන්තයේ ද සියයට 63ක් මෙම මතය දරති. ඇල්බර්ටා වෙන්වීම පිළිබඳ තීරණය සමස්ත කැනඩාවටම බලපාන බැවින්, ඒ සඳහා මුළු රටේම මතය විමසිය යුතු බව සියයට 58ක කැනේඩියානුවන් පිරිසකගේ අදහසයි.
ඇල්බර්ටා පලාත් ප්‍රධානී ඩැනියෙල් ස්මිත් විසින් නිවේදනය කරන ලද ප්‍රශ්න 10කින් යුත් ජනමත විචාරණය එළඹෙන ඔක්තෝබර් 19 වැනි සඳුදා පැවැත්වීමට නියමිතය. මෙහිදී අසනු ලබන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඇල්බර්ටාව කැනඩාවේ ප්‍රාන්තයක් ලෙස පැවතිය යුතුද නැතහොත් වෙන්වීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කළ යුතුද යන්නයි.
සමීක්ෂණ දත්ත වලට අනුව, කැනඩාව සමඟ රැඳී සිටීමට තීරණය කර ඇති පිරිස සිය තීරණය පිළිබඳව සියයට 90ක විශ්වාසයකින් පසුවන අතර, බෙදුම්වාදයට පක්ෂ පිරිස අතර එම විශ්වාසය පවතින්නේ සියයට 70ක මට්ටමකය. මෙයින් පෙනී යන්නේ බෙදුම්වාදී කණ්ඩායම්වලට මෙම සටන ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ගේ වර්තමාන සහයෝගය මෙන් තෙගුණයක පමණ ශක්තියක් අවශ්‍ය වන බවයි.
‘Stay Free Alberta’ වැනි බෙදුම්වාදී කණ්ඩායම් පවසන්නේ තමන් ජනමත විචාරණයක් ඉල්ලා අත්සන් 300,000කට වඩා එකතු කර ඇති බවයි. නමුත් අධිකරණ තීන්දුවක් හේතුවෙන් එම අත්සන් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය මේ වන විට තාවකාලිකව නතර වී ඇත. කෙසේ වෙතත්, පවතින දත්ත අනුව ඇල්බර්ටා වැසියන්ගෙන් වැඩි පිරිසක් වෙන්වීමේ පිරිවැය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව සලකා බැලීමේදී බෙදුම්වාදයෙන් ඈත්වන බව පැහැදිලි වේ.


