මැදපෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 1.3ක් බඩගින්නේ..

මැදපෙරදිග කලාපය තුළ පවතින දැඩි දේශපාලනික සහ යුදමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැසියන් මිලියන 1.3ක් ඇතුළුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අලුතින්ම දැඩි ආහාර අනාරක්ෂිතතාවයට සහ කුසගින්නට ගොදුරු වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළ – WFP නවතම වාර්තාවක් නිකුත් කරමින් අනතුරු අඟවනවා.

ලෝක ආහාර වැඩපිළිවෙළ පෙන්වා දෙන්නේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන, පොහොර සහ ආහාර මිල ගණන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යාම මෙලෙස දුප්පත් රටවල ජනතාවට ඍජුවම බලපා ඇති බවයි. විශේෂයෙන්ම දීර්ඝකාලීන ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටවල් මේ නිසා දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 63ක්ම සපුරා ගන්නේ මැදපෙරදිගින් වන අතර, මෙරට විදේශ ප්‍රේෂණවලින් සියයට 44ක් සහ තේ අපනයනයෙන් සියයට 45ක්ම ගල්ෆ් කලාපීය රටවල් සමඟ බැඳී පැවතීම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මෙම ගෝලීය අර්බුදයේ බලපෑම නිසා දැනටමත් ලංකාවේ වැසියන් මිලියන 4.7ක් ආහාර හිඟයකින් පීඩා විඳින පසුබිමක, අලුතින්ම තවත් ලක්ෂ 13ක ජනතාවක් මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව අසරණ වීමේ අවදානමක් පවතින බවයි WFP සංවිධානය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවට අමතරව සෝමාලියාවේ මිලියන 2.5ක් සහ ඇෆ්ගනිස්ථානයේ මිලියන 2.3ක ජනතාවක් ද මේ වන විට මෙම අර්බුදයේ ඍජු ගොදුරු බවට පත්ව සිටිනවා.

මැදපෙරදිග අර්බුදය ඉදිරි මාස කිහිපය තුළ සමනය වුවද, ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාම නිසා ඉදිරි අස්වනු නෙලීමේ කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින් ලෝක ආහාර හිඟය තවදුරටත් උග්‍ර විය හැකි බවයි ලෝක ආහාර වැඩපිළිවෙළේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ විශ්ලේෂණ සේවා අධ්‍යක්ෂ ජීන්-මාර්ටින් බවර් (Jean-Martin Bauer) මහතා ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *