නිරිත දිග මෝසම දුර්වල වෙයි – අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයකට 81%ක ඉඩක්

ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අතිප්‍රබල එල්නිනෝ (El Niño) තත්ත්වයක් මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ ඇතිවීමේ සම්භාවිතාව සියයට 81 දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ ජාත්‍යන්තර කාලගුණ පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි සංඥා දක්නට ලැබෙන බවයි.

ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින්, එල්නිනෝ තත්ත්වයේ මූලික බලපෑම් මේ වනවිටත් ශ්‍රී ලංකාවේ කාලගුණ රටාව තුළ දක්නට ලැබෙන බවත්, ඒ අනුව සාමාන්‍යයෙන් මෙම කාලයට ලැබෙන නිරිත දිග මෝසම් වැසි ප්‍රමාණය අඩුවීමක් පෙන්නුම් කරන බවත්, දිවා කාලයේ ශරීරයට දැනෙන උෂ්ණත්වය ද ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය.

තවද ඉදිරි මාස කිහිපය තුළ කාලගුණයේ වෙනස්කම් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන සහ අනාවැකි පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today