සංගීතය, ක්‍රිකට් සේම කියවීමටත් පෙම්බඳින සමාජ විද්‍යාඥයා , ආචාර්ය සරත් චන්ද්‍රසේකර

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන සමාජ විද්‍යාඥයෙකු සමඟයි එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු සමාජ විද්‍යාඥ චරිතය ඔහුයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.

සමාජ විද්‍යාව අපේ දෛනික ජීවිතයට අතිශයින් පහසුවක් වී තිබෙන්නේ මිනිසුන් හැසිරෙන ආකාරය, තීරණ ගන්නා ආකාරය සහ එකිනෙකා සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය එම විෂය මගින් පැහැදිලි කරනා බැවින්. සමාජය අවබෝධ කර ගැනීමට, සම්බන්ධතා පවත්වාගෙන යාමට සහ පුද්ගලික මූල්‍ය කළමනාකරණයේ සිට ප්‍රජා ප්‍රතිපත්ති දක්වා සියල්ල පිළිබඳව දැනුවත්වීමට සහ තේරුම් කිරීමට අවශ්‍ය මෙවලම් සමාජ විද්‍යාව මගින් මිනිසාට සපයනවා. එමනිසා සමාජ විද්‍යාව, මිනිසුන්, සමාජය, ආර්ථිකය සහ ස්ථාන පිළිබඳ පුළුල් අවබෝධය ලබා දෙන විෂයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. වේගයෙන් වෙනස්වන, එකිනෙකට සම්බන්ධ වූ මානව ලෝකය අවබෝධ කර ගැනීමට සමාජ විද්‍යාව මිනිසාට ලබාදෙන දායකත්වය අති මහත්.

අද අපේ කතා නායකයා විවිධ ක්ෂේත්‍රයන්හි නිරතවූ, සමාජ විද්‍යාව පිලිබඳව ප්‍රවීණයෙක්. ඔහු වීනාව හරහා සමාජ විද්‍යාවේ පදනම සොයා ගත්තා.  එතුමා දැනට වෘත්තීය වශයෙන් විශ්‍රාමව සිටියත්, තවමත් බොහෝ ශාස්ත්‍රීය කර්තව්‍යන්හි නියැලී සිටින්නෙක්. කියවීම, ලිවීම හරහා විශාල දැනුම් වපසරියක් ඇති එතුමා තම මාතෘ භුමිය වූ ලංකාවටත්, තමා හදා වඩා ගත් කැනඩාවේ, කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයටත් ඉතා විශාල මෙහෙවරක් කල කෙනෙක්. දරුවන් සහ ප්‍රිය බිරිඳ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර සමඟ කැනඩාවේ Windsor නගරයේ ජීවත් වන ආචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා මම අපේ පුවත්පත වෙනුවෙන් සම්බන්ධ කර ගත්තෙ දුරකථනය හරහා.  

මම එතුමාට ආරාධනය කළා, ඔහු හැදුනු වැඩුණු පරිසරයෙන්ම ජීවිත කතාව අරඹන ලෙසට.

“මම ඉපදුනේ ඉඳිබැද්ද කියන ප්‍රදේශයේ. නමුත් මම සමාජ ජෛව විවිධත්වයන් යුතු  පරිසරවල හැදුනු දරුවෙක්. පවුලේ එකම දරුවා නිසා තනි නොතනියට සිටියේ නෑදෑ පවුල්වල දරුවන් විතරයි. දෙමව්පියන් ගුරුවරුන් වූ සෑම ගුරු පවුලකම දරුවන්ට මුහුණ දීමට සිදුවන අපුර්වතම පෙරළිකාර සංසිද්ධිය තමයි දෙමාපියන් රට පුරා පාසැල්වලට මාරුවන සෑම විටකම දරුවන්ටත් පාසැල් මාරුකිරීම් වලට මුහුණ දීමට සිදුවීම. එම එකිනෙකාට වෙනස් වූ පරිසරයන් අත්විඳීමෙන් ලැබුනාවූ විවිධත්වය පිළිබඳව මට කිසිම අප්‍රසාදයක් තිබුනෙ නැහැ. නමුත් මට බොහෝ දරුවන්ට තිබෙනා උපන් ගම පිලිබඳ විශේෂ ආඩම්බරයක් ඇත්තෙත් නැහැ. මගේ තාත්තගෙ ගම වේයන්ගොඩට ආසන්න මගලෙගොඩ කියන සුන්දර ගම්මානය. මම අකුරු කියවූ මුල්ම පාසැල වුයේ බලංගොඩ බුද්ධ ජයන්තිය. මගේ තාත්තා තමයි ඒ අවධියේ බුද්ධ ජයන්තියේ විදුහල්පතිව සිටියෙ. ඊට පස්සෙ පහේ පන්තියේ ඉඳලා අටේ පන්තියට යනකල් මම ඔය විදියට පාසැල් මාරුවීම් කළා. නමුත් අපේ පවුලේ මධ්‍යස්ථානය වුයේ ගම්පහ. ඒකට හේතුව විශ්‍රාම වීමට ආසන්නව තාත්තා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසැලකත්, අම්මා ගම්පහ බෞද්ධ පාසැලෙත් දීර්ඝ කාලයක් සේවය කිරීම. ගම්පහ ස්ථීර පදිංචි වීමේ ස්ථාවරයත් එක්කම, අටේ පන්තියෙ ඉඳලම, ගම්පහ සිට කොළඹ ආනන්ද විදුහලටයි මම ගියෙ. එතැන් පටන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තෙක්ම මම හිටියේ ආනන්ද විද්‍යාලයේ”, එතුමා බොහොම කෙටියෙන් ඔහුගේ පාසැල් තොරතුරු නිමා කළා. 

ඉනික්බිත්ව, ඔහු සඳහන් කලේ ඔහුගේ සුන්දර සරසවි දිවියේ අත්දැකීම් සහ අධ්‍යාපනය පිළිබඳව, “සාමාන්‍ය පෙළ ඉඳලම තමයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යෑමේ සිහිනය  මගේ හදවතේ උපන්නෙ. ඒ ආශාව මුදුන් පත් කිරීමෙන් පේරාදෙණියේ කළා අංශයට යෑමේ වරප්‍රසාදය මට ලැබුනා. අදටත් ඒ හැගීම මට ලබා දෙන්නෙ ප්‍රමෝදයක්. ඒ වරම මා වටා සිටි බොහෝ අයට ලැබුනෙ නැහැ. එහිදී, ආචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වීමට ලැබීම මා සරසවි දිවියේදී ලැබූ ඉතාමත්ම භාග්‍යවන්ත අත්දැකීමක්” ඔහු ඉතාමත් තෘප්තියකින් ඒ ගැන පැවසුවේ.

ඉන් කුකුසට පත්වූ මා ඊළඟ ප්‍රශ්නයට මඟක් පාදා ගත්තා, “කොහොමද ඔබට ආචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයන්ට සහභාගිවීමට අවස්තාව ලැබුනෙ?”

ඔහු නැවතත් කතාව පටන් ගත්තා, “ඒ කාලෙ පේරාදෙණිය සරසවියෙ මාසෙකට සැරයක් තියෙනවා සුහද හමුවීම්. ඉතින් මම ඒවායේදී, මගේ වයලීනය වාදනය කරනවා. වරක, අරුනාචලම් ශාලාවේදී පැවැත්වූ සුහද හමුවකට ආචාර්ය සරත්චන්ද්‍ර පැමිණ තිබුනා. ඒත් මම එතුමා අඳුනන්නෙ නැහැ. ඊට පසුදාම, එතුමා මා හමුවට නේවාසිකාගාරයට පැමිණ, ‘චන්ද්‍රසේකර, මම සරත්චන්ද්‍ර, කැමතිද මගේ නාට්‍යවලට සහභාගී වෙන්න?’, සරසවියට පැමිණිදා සිටම මා තුල තිබුනාවූ සිහිනය ඇස් ඉදිරිපිටදීම සැබෑවීම දරා ගත නොහැකි වූ මට ඉබේටම කියවුනේ ‘අපොයි ඔව් සර්’ කියලා. එහෙනම් යමු අපේ ගෙදර කියලා එවලේම, කාර් එකෙන් මම එතුමාගේ ගෙදර එක්කර ගෙන ගියා. සරත්චන්ද්‍ර ශුරීන් එකල ‘පේමතෝ ජායතී ශෝකෝ’ කියන නාට්‍යයේ පුහුණු කිරීම් කරමිනුයි ඉඳලා තියෙන්නෙ. එතුමාගේ බිරිඳ මැඩම් ලලිතා සරච්චන්ද්‍ර අපිට කෑම බීම සපයා දුන්නේ හරිම සතුටකින්. මට වයලීනයට අමතරව, තවත් සංගීත භාණ්ඩ තුනක් වාදනය කිරීමේ අවස්ථාවත් එතුමා ලබා දුන්නා. මගේ වයලීන වාදනයට ඉතාමත් ප්‍රියතාවයක් දැක්වූ එතුමා, ඉන්පසු රඟ දැක්වූ, ‘සිංහබාහු’, ‘මහාසාර’ නාට්‍යවලටත් වරින් වර ‘මනමේ’ නාට්‍යයටත් මාව සහභාගී කරවා ගත්තා. සමහර අවස්ථාවල මම සංගීත කණ්ඩායම මෙහෙය වුවා”, ඒ සුන්දර මතකයන්ගේ හැගීම ඔහුගේ කටහඬින් ද පිළිබිඹු උනා.

ආචාර්ය චන්ද්‍රසේකරට වයලීන වාදනය ඉගෙනීමේ අවස්ථා ලැබීමත් අහම්බයක්. වරක, ඔහු  නිවසේ කාමරයක වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වූ ඩී.බී. වීදාගම නම්වූ ඔහුගේ පියාගේ ගෝලයෙක් නැවතී සිටියා. ඔහු ඒ පළාතේ ප්‍රසිද්ධ සංගීතඥයෙක්. පියාගේ ඉල්ලීම පිට එම ගුරුතුමා සරත් චන්ද්‍රසේකර දරුවාට වයලීනය වාදනය සහ ගායනය පුහුණු කළා. පසුව ඔහු ගාන්ධර්ව ප්‍රථම විභාගයද සමත් වුවා. මේ සියල්ල සිදු වුයේ ඔහු ආනන්දයට යන අවධියේ. එම පුහුණුව හේතුවෙන් චන්ද්‍රසේකර ශිෂ්‍යයාට ආනන්ද විද්‍යාලයීය වාදක මණ්ඩලයටද සහභාගී වීමේ අවස්ථාව ලැබුනා. 

ප්‍රධාන විෂය ධාරාවට අමතරව, ඔහු සංගීතයට සම්බන්ධ වුවත් ඔහුගේ ප්‍රධාන විෂය වුයේ සමාජ විද්‍යාව. එහි ආරම්භය ගැනත් ඔහු කරුණු කාරනා මා සමඟ බෙදා ගත්තෙ ඉතා උනන්දුවෙන්. පේරාදෙනියේ ප්‍රථම වසර අවසන පැවති කලා යෝග්‍යතා පරීක්ෂණයෙන් වසරේ ඉතා ඉහලින්ම ලකුණු ලැබූ ශිෂ්‍යයා බවට පත්වීමෙන් අනතුරුව, ඔහු දුටුවා විශ්ව විද්‍යාල දැන්වීම් පුවරුවේ තිබු “සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවට ශිෂ්‍යයින් බඳවා ගනු ලැබේ” කියනා දැන්වීම. ඔහු එවකට සමාජ විද්‍යාව කියන වචනවල අරුතවත් දැන සිටියෙ නැහැ. ඒ සම්බන්ධව විපරම් කිරීමට එම අංශයට ගිය චන්ද්‍රසේකර තරුණ සිසුවාට මුණ ගැසුනෙ එහි ප්‍රධානී මානවවාදී මහාචාර්ය ගනනාථ ඔබේසේකර. සිසුන්ගේ පසුබිම විමසුමෙන් අනතුරුව, එහි පැමිණ සිටි සිසුන් අතරින් සිසුන් 10 ක් සහ සිසුවියන් 4 දෙනෙක් පමණයි එම අංශයට තෝරා ගනු ලැබුයේ. කිසිම අරමුණක් නොමැතිව සමාජ විද්‍යා විෂයට මුල පිරුවත්, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, ආචාර්ය කිත්සිරි මලල්ගොඩ, ආචාර්ය එච්. එල්. සෙනෙවිරත්න වැනි ලෝක ප්‍රකට පඬිවරුන් යටතේ අධ්‍යාපනය ලබද්දී, විෂය පිලිබඳව චන්ද්‍රසේකර සිසුවාට විශාල ඇල්මක් ඇති උනා. නමුත් එම අධ්‍යාපනය අභියෝගාත්මක වුයේ, ඔවුනට අධ්‍යනය කිරීමට ඇවැසි කිසිම ග්‍රන්ථයක් සිංහලෙන් නොතිබීම. ඊට අමතරව, මේ මහාචාර්ය වරුනට සිංහලෙන් ඉගැන්වීමට අපහසුවීම හේතුවෙන්, ඉංග්‍රීසියෙන් දේශන පවත්වා, සිංහලෙන් විභාගවලට ලිවීමට ඔවුන් සිසුනට යෝජනාවක් ගෙනාවා. එය ඉතා කැමැත්තෙන් භාරගත් සිසුන්ට, ඉංග්‍රීසි, සිංහල භාෂා දෙකෙහිම සාක්ෂරතාවය ඉතා කෙටි කලකින් උසස් මට්ටමකට ගෙන ඒමට හැකිවූවා. ඇත්තම කියනවා නම් සමාජ විද්‍යාව පේරාදෙණිය සරසවියටද අලුත් විෂයක්. චන්ද්‍රසේකර තරුණ සිසුවාට පෙර සරසවියේ පැවැත් වුයේ සමාජ විද්‍යා කණ්ඩායම් දෙක තුනක්. ඔවුන් මෙම විෂය හැදෑරුයේ තනිකරම ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ හේතුවෙන්, මෙම කණ්ඩායම සරසවිය තුල තරමක් උසුළු විසුළු වලටද භාජනය වුවා. මහාචාර්ය ගනනාථ ඉතා සරලව සාකච්චා කල විෂය කරුණු අතර සමාජය, පවුල, සමාජ වෙනස වැනිදේ මෙම සිසුවන්ට ඉතා රසවත් මාතෘකා වුවා. එතුමාගේ විභාග ප්‍රශ්න මාතෘකා ඉතා සරල වුවත්, ඔහු ඉතා ගැඹුරු පිළිතුරැ සිසුන්ගෙන් බලාපොරොත්තු වුවා. මහාචාර්ය මලල්ගොඩත් පේරාදෙණිය සරසවියෙන් පලවෙනි පන්තියේ සාමාර්ථයක් ලබා ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් විද්වතෙක්. මෙවැනි ආචාර්යවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීම ඉතාමත් වාසනාවක් ලෙසයි ආචාර්ය චන්ද්‍රසේකර මා සමඟ පැවසුවේ. ඉතාමත් පරිපුර්ණ අධ්‍යාපනය අවසානයේ මෙම තරුණ චන්ද්‍රසේකර සිසුවා පන්ති සාමාර්ථයක් ඇතිව සමත් වූ හෙයින් සමාජ විද්‍යා අංශයට කථිකාචාර්යවරයෙක් ලෙස ඔහුට පත්වීමක් ලැබුනා. ඔහු සිව් වසරක් තිස්සේ, පේරාදෙණිය සමාජ විද්‍යා සිසුන් කණ්ඩායම් දෙකකට ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලබා දුන්නේ ඉතාමත් තෘප්තියෙන්. මෙම පාඨමාලාවේ අනිවාර්ය අංගයක් තමයි, ගමකට ගොස් වසරක කාලයක් තමා ඉගෙන ගත් දේ භාවිතා කර එම ගමේ ව්‍යාපෘතියක් කිරීම. මෙහිදී තෝරා ගනු ලබන්නේ ගැටළු සහිත පවුල්. උදාහරණයක් ලෙස ගන්න පුළුවන් ආබාධිත දරුවකු සමාජය තුල නඩත්තු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම පිළිබඳව සිසුන් අධ්‍යනය කිරීම. එම ව්‍යාපෘතිවලට චන්ද්‍රසේකර කථිකාචාර්යවරයාත්  අධීක්ෂකවරයෙක් ලෙස සම්බන්ධ වුවා. එම සිව් වසර ඉගැන්වීම හේතුවෙන් එතුමාට ගුරු වෘත්තීය සම්බන්ධ විශ්වාසයකුත්, භාෂා දෙකම පිළිබඳව තව දුරටත් ප්‍රගුණ කිරීමේ අවස්ථාවත් ලැබීම ඔහුගේ දක්ෂතාවයන් ඔප මට්ටම්වීමට හේතු කාරකයන් වීම අතිශයින් වැදගත් කරුණක් වුවා.  

මෙම ලිපිය ලියනා මට මෙන්ම, අපේ පාඨකයින්ටත් සමාජ විද්‍යාව විෂය සම්බන්ධව ඇත්තේ ඉතාමත් සීමිත දැනුමක් යැයි උපකල්පනය කරමින්, මා ඔහුගෙන් විමසුවා, “ඇයි සමාජ විද්‍යාව සමාජයට වැදගත් වන්නේ” කියලා.      

ක්ෂණයකින් ඔහු පිළිතුර සොයා ගත්තා, “සමාජ විද්‍යාව කියන්නෙ සමාජ හැසිරීම පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක්. සමාජය ගොඩ නැගෙන්නේ කෙසේද, සමාජය හැසිරෙන්නේ කෙසේද, සමාජය වෙනස්වන්නේ කෙසේද, මෙම වෙනස්වීම පුද්ගලයන්ට, කණ්ඩායම්වලට බලපාන්නේ කෙසේද කියන හැසිරීම් මාලා තමයි එම විද්‍යාත්මක අධ්‍යයනයේ පසුබිම. පවුල් සංස්ථාව කියන අස්ථාවර ආයතනයත් සමාජ විද්‍යාවේ එක කොටසක්. න්‍යායයන් හරහා විශ්ලේෂණය කිරීමෙන් පවුල වෙනස් වෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවබොධයක් ලබා ගන්න පුළුවන්. පොදුවේ ගත්තහම,  සමාජ විද්‍යාව සමාජයේ සෑම කොටසකටම අතිශයින් වැදගත් අධ්‍යයනයක්. මෙය ඉතා ගැඹුරට හැදෑරිය යුතු විෂයක්. කාල් මාක්ස් තමයි ලොව ප්‍රකටම සමාජ විද්‍යාඥයා. ඔහු සහ ඔහුට පසුකාලීන විද්වතුන් යුරෝපය අලලා ලියා තැබූ පොත් පත් අපේ සමාජයන්ටත් අදාළ වෙනවා”, ඔහුගේ අර්ථවත් පැහැදිලි කිරීම අප පාඨකයින්ට සමාජ විද්‍යාව පිලිබඳ විශාල දැනුමක් ලබා දේවි.  

නැවතත්, එතුමා කතාව ඇරඹුවේ, ඔහු දිවියේ ඊළඟ අවදිය පිලිබඳව තොරතුරු පුවත්පත සමඟ බෙදා හදා ගැනීමට,

“පේරාදෙනියෙ ඉගැන්වීම කරන කාලයේදී, මට පිලිපීනයේ පශ්චාත් උපාධිය කිරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබුනා. පිලීපීනය කියන්නෙ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව සහ ඉංග්‍රීසියෙන් වැඩ කිරීමේ හැකියාව බොහොමයක් ඇති ජනතාවක් සිටිනා රටක්. පිලිපීන රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් බොහොමයක් අධ්‍යාපනය ලබා තිබුනේ ඇමෙරිකාවේ නිසා ඔවුන්ගේ දැනුම ඉතාමත් උසස් මට්ටමකයි තිබුනෙ. එහි මම අවුරුදු 3 ක් අධ්‍යාපනය ලැබුවා. එහි සිටිනා අවසාන දින කිහිපයේදී, ලංකාවේ සිට පැමිණි ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයේ ප්‍රධානී, ආචාර්ය ඩඩ්ලි දිසානායක මහතා මැනිලාවේ මා අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාලයට පැමිණ සමාජ සේවා විද්‍යාලයේ සේවය කිරීමට කැමති නම්, ලංකාවට පැමිණි පසු ඔහු හමුවන ලෙසට මට ආරාධනා කළා. ලංකාවට පැමිණි දෙවෙනි දිනයේම එතුමා හමුවට ගිය මට එම ආයතනයට සම්බන්ධවීමේ අවස්ථාව ලැබී, පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරද ලැබීමේ වරම හිමි වුවා. ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය තමයි වෘත්තීය සමාජ සේවකයින් පුහුණු කරනු ලබන එකම රාජ්‍ය ආයතනය. අධ්‍යක්ෂක වරයෙක් සහ ගුරුවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම ආයතනය මගින් අවුරුදු 2ක ඩිප්ලෝමා පාඨමාලාවක් සහ සහතික පාඨමාලා පවත්වා ගෙන ගියා. පසුකාලීනව, ආයතනයේ අරමුණ, සමාජ සේවයේ සිට සමාජ සංවර්ධනය ලෙස වෙනස් කල අතර, වැඩසටහන්ද පුළුල් කර එම ආයතනය “ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD)” නමින් නම වෙනස් කළා. මීට අමතරව, උපාධියක් ඇතුළු තවත් ඩිප්ලෝමා වැඩ සටහන් කිහිපයක්ද ආයතනය මගින් විෂය ධාරාවට ඇතුල් කළා. මගේ මුලිකත්වයෙන් නම වෙනස් කිරීම කරනු ලැබුයේත් එය කාලීන අවශතාවලට නොගැලපුණු නිසා. එහි පුහුණුව ලැබූ බොහෝ සිසුන්, නිවාඩු පිට පැමිණි රජයේ සමාජ සේවා නිළධාරීන්, පරිවාස නිලධාරීන් වැනි අය. ආයතනයෙන් උපාධි ලැබූ සමහර දක්ෂ සිසුන් පිටරට ගොස් පශ්චාත් උපාධි හදාරා එම ආයතනයේ ගුරුවරුන් ලෙසද සේවය කළා. 1996 එහි සේවය ආරම්භ කල මම 2014 දී ඉන් අයින් වනවිට එම ආයතනයේ අධ්‍යක්ෂක ධුරය දරුවා”, එතුමාගේ ශ්‍රී ලාංකික වෘත්තීය ජීවිතය පිළබඳව ඉතා සන්සුන්ව මා හට පැහැදිලි කිරීමක් කළා.  

“මම දන්නවා ඔබ 2014 දී කැනඩාවට පැමිණි බව, ඉතා සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කල ඔබ කැනඩාවට පැමිණීමට හේතුව අපේ ප්‍රේක්ෂකයින් දැනගන්න කැමති වෙයි, ඒ ගැන යමක් කිව හැකිද?”,  “මම අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරනා කාලයේදී, කැනඩාවෙන් සමාජ විද්‍යාවට සම්බන්ධ කණ්ඩායමක් ලංකාවට පැමිණියා අපි සමඟ එකතුව වැඩ කරන්න. ඔවුනගේ ඉතා විශිෂ්ඨ දැනුම සහ වැඩ කටයුතු බැලුවහම, මට හිතුනා කැනඩාවට ගොස් මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කරන්න. ඒ ආපු නිලධාරීන්ද Univercity Of Toronto (UOfT) හි ආචාර්ය උපාධියක් කිරීමට මාව උනන්දු කළා මෙන්ම මට බෙහෙවින් උපකාරී කළා. මුලින් තනිවම පැමිණියද, පසුව මා බිරිඳ සහ දියණියන් දෙදෙනාද කැනඩාවට පැමිණ UOfT හි තිබු නේවාසික සිසුන්ගේ නිවෙස්වල පදිංචිව සිටිනා අතරේ, මම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ආචාර්ය උපාධිය අවසන් කිරීමටත් මත්තෙන් මට කැනඩාවේ Prince Edward Island හි මධ්‍යම ආණ්ඩුවේ Health Canada හි අධ්‍යක්ෂක තනතුර ලැබූනා. මගේ වගකීම වුයේ ප්‍රාදේශීය ආණ්ඩුවට අවශ්‍ය මුදල් සහ උපදෙස් ලබාදීම පිලිබඳව  කළමනාකරණය කිරීම. දරුවන් දෙදෙනා ටොරොන්ටෝවේ අධ්‍යාපනය ලැබූ නිසා මමත් බිරිඳත් තමයි Prince Edward Island හි පදිංචිව සිටියෙ” කැනඩාවට පැමිණි අරමුණ වෙනස්වීම සම්බන්ධව ඔහුට කණගාටුවක් තිබු බවක් මට දැනුනෙ නැහැ.  

ඔබතුමාට පුලුවන්ද අප පාඨකයින්ට Prince Edward Island ජීවිතය සම්බන්ධව යමක් කියන්න”,                                                                                                                                        “කැනඩාවේ කුඩාම ප්‍රාන්තය වන Prince Edward Island (PEI) කියන්නෙ රතු වැලිගල්, කඳු බිම්, විහිදී ගිය ගොවිබිම් සහ පිරිසිදු වෙරළවල් සඳහා ප්‍රසිද්ධ ඉතාමත්ම සුන්දර නිසංසල දූපතක්. එහේ නැවුම් මාළු, මස්, පලතුරු, එලවළු යහමින් තියෙනවා. එහි ජනතාව හරිම සුහද ශීලීයි. නමුත්, ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පමණ රැකියා සුලභ නැහැ. කොහොම නමුත් කැනඩාවේ වෙසෙන සෑම කෙනෙක්ම අඩුම ගණනේ සංචාරය කල යුතු ලස්සන පලාතක්” ඔහුගේ කටහඬ තුල තිබුනේ ප්‍රමෝදයක්.

ඔන්ටේරියෝවට නැවත ආගමනය පිලිබඳවත් ඔහු සඳහන් කළා, 

“ඉන්පසුව, 2013 දී, නැවතත් ටොරෝන්ටෝවට පැමිණීමට අප තීරණය කලේ දරුවන් දෙදෙනා නිසා. Health Canada වෙන් විශ්‍රාම ගත් මට, මා සතුව තිබු ආචාර්ය උපාධිය සහ පළපුරුද්ද හේතුවෙන් Univercity Of Toronto (UOfT) හි සමාජ විද්‍යා අංශයේ ඉගැන්වීමේ අවස්ථාවක් ලැබුනේ ඉතා පහසුවෙන්. ඒත් එක්කම McMaster Univercity එකේ සමාජ විද්‍යා අංශයේත් ඉගැන්වීමේ අවස්ථාව මට ලැබුනා. ඇත්තටම ඒක අළුත් අත්දැකීමක්. කාලයත් සමඟම සමාජ විද්‍යාවත් පුළුල්වීම වගේම වෙනස්වීම්වලට පරිවර්තනය වූ නිසා දේශන සඳහා මට නැවත පොත පත පරිහරණය කරන්න සිදු උනා. සමාජ විද්‍යා න්‍යායයන්, සමාජය වෙනස් වීම යනු කුමක්ද, සහ පවුල සහ විවාහය වැනි පාඨමාලා තමයි මම උපාධි පාඨමාලා සඳහා ඉගැන්නුවෙ. මම විශ්ව විද්‍යාල දේශන වලින්  ලැබුවේ ප්‍රබල තෘප්තියක්”.  

සමාජ විද්‍යා විශාරදයෙක් වන ආචාර්ය චන්ද්‍රසේකරට ඔහු කුඩා කාලයේ සිට තිබු අභිලාෂයන් පිළිබඳවත් මා සමග කතා බහ කළා, “මගේ ගුරු දෙමාපියන්ට තිබුනේ මම සිවිල් නිලධාරියෙක් හෝ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් වීමේ සිහිනය. වසර 15ක් පමණ සිවිල් සේවකයෙක් ලෙස සේවය කල මම විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ලෙසත් දීර්ඝ කාලයක් ලංකාව වගේම කැනඩාවේදීත් සේවය කිරීමෙන් මම ඔවුනගේ ඒ ආශාවන් දෙකම ඉෂ්ට කිරීමට ලැබීම මගේ වාසනාවක්”. 

මගේ ඊළඟ පැනය වුයේ, “ඔබ ලබා ඇති ජයග්‍රහණ සම්බන්ධව ඔබ සතුටු වෙනවාද” යන්න.

 අපොයි ඔව්, Univercity Of Toronto වලින් ආචාර්ය උපාධියක් ලබා ගැනීමත්, කැනඩාවේ මධ්‍යම ආණ්ඩුවට සේවය කිරීමත් මම ලබපු ජයග්‍රහණ. මධ්‍යම ආණ්ඩුවට සේවය කරන විට අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධතා පැවැත්වීමට ලබීමත් මාව ඉතා සතුටට පත් කල දෙයක්. ඒත් එක්කම මම මෑත කාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ ලිපි ඇතුලත් කෘතියක් නිකුත් කළා” ඔහු ඉතා තෘප්තිමත් හඬින් පැවසුවා. 

ඔබ ශ්‍රී ලාංකික සමාජයාට කල සේවාවන් සම්බන්ධව අප පාඨකයින්ට සඳහනක් කල හැකිද? 

ඉතාමත් සිනහ මුසු හඩිනුයි ඔහු නැවත කතාව ආරම්භ කලේ, “මම ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම කැමති කෙනෙක්. Prince Edward Island (PEI) ඉද්දි මම මුලිකව ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ක්‍රීඩකයින් සම්බන්ධ කරගෙන ඉතා සාර්ථක Cricket Association එකක් ආරම්භ කළා. එය ඉතා සාර්ථකව පවත්වා ගෙන ගිය අතර, අදටත් එය බංගලාදේශ් වැසියන් පවත්වා ගෙන යනවා. ඒ වගේම, කලාවටත් මම නිතර සම්බන්ධ උනා. මනමේ, සිංහබාහු කැනඩාවට ගෙන්වපු අවස්ථාවෙත් මම එම සංදර්ශන හතරටම වයලීන වාදනයෙන් සම්බන්ධ උනා. මම යාත්‍රා පත්‍රයට මගේ කැණඩා ජීවිතය පසුබිම් කරගෙන ලිපි මාලාවක්ම ලිව්වා. මට මතක හැටියට එම ලිපි මාලාවේ නම “මතක සටහන්”. ඒ වගේම, පසුකාලීනව, ආරාධනා ලැබ විවිධ ස්ථානවල දේශන පැවැත්වීමත් කරනු ලැබුවා. කලක් මිසිසාගා වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ පාලක මණ්ඩලයේ ලේකම් ධුරය දරමින් මිසිසාගා විහාරය ගොඩ නැංවීමට මුල් අවස්ථාවේ සිටම සම්බන්ධව සිටියා. එම විහාරස්ථානයේ නායක කුළුගම්මන ධම්මාවාස ස්වාමීන් වහන්සේ සහ සරණපාල ස්වාමීන් වහන්සේත් සමඟ සාකච්චා කරමින් සංවර්ධන කටයුතු පිළිබඳව දායකයින් දැනුවත් කිරීම්වලට මම සම්බන්ධ උනා. දැනට අප ජීවත්වන Windsor නගරය ටොරෝන්ටෝවට තරමක් දුරින් පිහිටා තිබීම සමහර අවස්ථාවන් මග හැරීමටත් හේතුවක් වෙනවා. අප පන්සලට ඉතාමත් විශිෂ්ඨ සේවාවක් කල මගේ හිත මිතුරු ඇලෝයි පෙරේරා මැතිතුමා තමයි මාව පන්සලට සම්බන්ධ කර ගත්තෙත්. අතීතයේ මම බොහෝ ලිපි ලියු කෙනෙක්, මෙම ලිපියට සම්බන්ධ Srilancan ඩිජිටල් පුවත්පතටත් මම ලිපි ලියලා තියෙනවා. දෙමළ සිංහල මුස්ලිම් සමගිය, ඒ කියන්නෙ ලංකාවෙන් පැමිණි අපි සැවොම, ලාංකිකයින් ලෙස සමගියෙන් ජීවත්වීම සහ දෙමල ජනතාවට කැනඩාවට අනුවර්තනය වීම සඳහා ශ්‍රී ලාංකික සමාජයෙන් ලැබිය යුතු උපකාර පිළිබඳවත් මා ලිපි කිහිපයක්ම ලියා තිබෙනවා. අද සිදුවනා අන්තර් විවාහ මේ සමගියට විශාල රුකුලක්. නමුත් දැන් කාලයක් තිස්සෙ මම වැඩිපුර කරන්නෙ ලිවීමට වඩා කියවීම” නිතර අකුරු ඇහිදිමින් පොතපත කියවා දැනුම හඹා යෑමට ප්‍රියතාවයක් දක්වන එතුමා එම සමාජ මෙහෙවරයන් සම්බන්ධව කෙටි විස්තරයක් අප වෙනුවෙන් සඳහන් කළා. 

“ඔබතුමාගේ අනාගත සිහින බලාපොරොත්තු ගැන යමක් සඳහන් කල හැකිද?”,                                 ඔහු නැවතත් කටහඬ අවදි කළා, “ සිහින නම් නැහැ, නමුත් මම කැමතියි ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් භාෂා දෙකෙන්ම පොතක් දෙකක් ලියන්න. ඒ වගේම මිසිසාගා විහාරස්ථානයට තව අවශ්‍ය මොනවද කියලත් හිතන්න ඕන. මිසිසාගා පන්සල විහාරස්ථානයකට එහෙම නැත්නම් ආගමික මධ්‍යස්ථානයකට වඩා බෞද්ධ, අබෞද්ධ සියල්ලටම සම්බන්ධ විය හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක් කිරීම වැදගත් කියලයි මම හිතන්නෙ. අනාගතයේ කල යුතු බොහෝ දේ මගේ හිතේ තියෙනවා.  ඒවා හෙමින් කරන්න ඕන. Windsor ජීවත්වීම ඒ දේවලට තරමක බාධාවක් ”. ඔහු පැවසුවේ ඉතාමත් බලාපොරොත්තු සහගතව. 

ඔබට මග හැරුණු සිහිනත් තිබෙනවාද?                                                                                                “ඇත්තම කියනවා නම්, මගේ නෝනා මහත්තයා ඇතුළුව මම බලාපොරොත්තු වූ සෑම දේම මම සාක්ෂාත් කරගත්තා, මට මග හැරුණු සිහින නැහැ කියලයි හිතෙන්නෙ”. බොහෝ කාලයක් තිස්සේ චරිතාපදාන ලිපිය ලියනා මට ප්‍රථම වතාවටයි මග හැරුණු සිහිනයක් නොමැති පුද්ගලයෙක් මුණ ගැසුනේ. සත්‍ය වශයෙන්ම එය වාසනාවක් නොවේද? 

මම කැමතියි මගේ අවසාන ප්‍රශ්නය ලෙස, ඔබ කුඩා කාලයේදී අත්විඳි සුන්දර අත්දැකීමක්, අද නැවත අත්විඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා නම්, ඒ කිමෙක්දැයි දැනගන්න”.

“ඇත්තටම, මම ආසයි අවස්ථාවක් ලැබෙනවා නම් ක්‍රිකට් ගහන්න, ඒ වගේම වොලිබෝල් ගහන්නත්. නමුත් Windsor වල ඒවාට අවස්ථාවන් අඩුයි. මම වැඩිපුරම ජීවත්වූ ගම්පහ ප්‍රදේශය වඩාත්ම ප්‍රකට වුයේ වොලිබෝල් වලට. පාසැල් යන කාලෙ ඔය ක්‍රීඩා දෙකටම මම සම්බන්ධ උනා”, ඔහුගේ තරුණ සිත මා මවිතයට පත්කලා මෙන්ම මට එතුමා ගැන ආඩම්බරයක්ද ඇති උනා.

ඔබේ ජීවිතය වෙනස් කළ හෝ ඔබේ ජීවිතයට විශාල බලපෑමක් කළ නිශ්චිත පුද්ගලයෙකු හෝ පුද්ගලයින් ගැන සඳහන් කිරීමට ඔබ කැමති නම්, ඔබට එසේ කළ හැකියි.

“මම මුලින්ම සඳහන් කරන්න ඕන මගේ දෙමාපියන්, විශේෂයෙන්ම මගේ අම්මා. ඔවුනගේ මග පෙන්වීම නොතිබුනා නම්, මා අද ලබා තිබෙන කිසිවක් සාක්ෂාත් කර ගැනීමට මට හැකිවේදැයි සැකයි. දෙවනුව, විවාහ වූ දා පටන් මගේ ජීවිතයට ධනාත්මක බලපෑම්  කල මගේ බිරිඳ ස්වර්ණා චන්ද්‍රසේකරගෙන් සිදුවූ මෙහෙය සඳහන් කල යුතුමයි. ඉන්පසුව මගේ ජීවිතයට අප්‍රමාන ලෙස බලපෑම් කලේ මගේ ගුරුවරු කිසිසේත්ම අමතක කිරීමට බැහැ. ඉන් ආනන්ද විද්‍යාලයේ ශාන්තන රාජපක්ෂ ගුරුතුමාට ප්‍රධානම තැන ලැබෙනවා. අද දිවි සැරියෙන් සමුගෙන සිටිනා එතුමා, මගේ දක්ෂතා තේරුම් ගෙන සිංහල භාෂාව නියමාකාරයෙන් ලිවීම පිළිබඳව, සංකල්ප වර්ධනය කිරීම පිළිබඳව නිතර අවධාරණය කළා. ඒ වගේම මගේ කලා ගමනට ප්‍රබල ලෙස බලපෑම් කල එදිරිවීර සරත්චන්ද්‍ර ශුරීන්ට සහ වීනාව සහ ගායනා හැකියාවන් ඔප මට්ටම් කරදුන් සංගීතඥ ඩී.බී. වීදාගම යන ගුරු දේවයින් දෙදෙනාටත්  මගේ ගෞරවාන්විත කෘතඥතාවය හිමි වෙනවා. ඇලෝයි පෙරේරා මහතාගෙන් මගේ ජීවිතයට ලැබුණු මිත්ත්‍රත්වය වගේම, අධ්‍යාපනික වශයෙන් ලැබූ ගුරු හැරුකම්ද ඉමහත්. ඉංග්‍රීසි භාෂාව හැසිරවීම, ලිවීම පිළිබඳවත්, අනිකුත් සෑම විෂයන්  සම්බන්ධවත් කෘතහස්ත දැනුමක් තිබු ඔහුගෙන් මා ඉගෙන ගත් දෑ බොහොමයි. ඒ වගේම මගේ ලිපි ලේඛනවලට ඔහුගෙන් ලැබුණු උපදෙස් ඉතා වටිනවා. ඇලෝයි පෙරේරා මහතා සමඟ විවිධ අධ්‍යාපනික සහ සාමාජයීය කටයුතුවල නියැලී තිබෙනවා. ඔහු වියෝවෙන් අප ශ්‍රී ලාංකික සමාජයට ඇතිවූ රික්තකය පිරවීමට කිසිදා හැකිවේද යන්න මම දන්නෙ නැහැ. අවසානයේ, පේරාදෙණිය සරසවියේදී, මට පරිපුර්ණ අධ්‍යාපනයක් ලබා දුන් ලෝක ප්‍රකට මහාචාර්යවරුන් වන ගනනාථ ඔබේසේකර, කිත්සිරි මලල්ගොඩ, එච්. එල්. සෙනෙවිරත්න යන මැතිතුමන් තමයි සමාජ විද්‍යාවේ හෝඩියවත් නොදැන සිටි මට සමාජ විද්‍යාව පිලිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නෙ. මේ සියල්ලම මගේ ජීවිතය ඔප මට්ටම් කල ඉසිවරු. මම ඔවුනට හෘදයාගම ගෞරවය පුද කරනවා”, ඔහු පැවසුවේ ඉතාමත්ම කෘතඥශීලීව.

මැක්සිම් ගෝර්කි වරක ප්‍රකාශ කර තිබෙනවා වැඩි වැඩියෙන් පොත් කියවීමේදී, හදවත වැඩි වැඩියෙන් නිර්මල වන බව. ඒ වගේම තවත් ජනප්‍රිය කියවීමක් තමයි,  “කියවන සෑම පොතක් පාසාම කියවන්නාගේ හදවත මනුෂ්‍ය වර්ගයා පිළිබඳව කරුණාවෙන් පිරී ඉතිරී යන අතර ඒ සෑම පොතක්ම මනුෂ්‍යත්වයට නගින ඉණිමගේ පෙත්තකට සමාන බව”. කියවීමට ඉතා රුචියක්, නැඹුරුවක් දක්වන අද විශ්‍රාමික සුවයෙන් පසුවුවත්, තරුණ සිතක් ඇති ආචාර්ය සරත් චන්ද්‍රසේකරයන් සමඟ මා ගත කල හෝරා දෙකකට ආසන්න කාලය නිමා කිරීමට කාලය එළැඹ තිබෙනවා. 

අප Digital පුවත්පත වන “Srilancan” වෙනුවෙන් එතුමාටත් එතුමාගේ පවුලේ සැමටත් නිරෝගී සුවය, සතුට, සාමය ප්‍රාර්ථනා කරන අතරේම, එතුමා එළි දැක්වීමට සිහින දකිනා කෘතීන් අකුරු කරවීමට දහිරියත්, ශක්තියත් ලැබේවා’යි ප්‍රාර්ථනා කරමින් මා මෙම චරිතාපදානය නිමා කරනා වගයි. 

සංවාද සටහන – අසෝකා ජයලත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today