වෙළඳ ගැටුම් සහ ආදායම් මතභේද මැද ගෝඩි හෝව් ජාත්‍යන්තර පාලම විවෘත වේ. කැනඩා-ඇමරිකා සබඳතා නව සන්ධිස්ථානයකට.

මාස ගණනාවක ප්‍රමාදයකින් පසුව, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තය යා කරන ගෝඩි හෝව් ජාත්‍යන්තර පාලම පසුගිය සඳුදා දහවල් නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කරන ලදී. කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින වෙළඳ යුද්ධය තීව්‍ර වෙමින් පවතින පසුබිමක මෙම දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයකි.

පාලම විවෘත කිරීමේ නිල උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වුණු අතර, සඳුදා දහවල් 12:00 සිට මහජනතාවට පාලම හරහා ගමන් කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පාලම නම් කර ඇත්තේ සුප්‍රකට කැනේඩියානු අයිස් හොකී ක්‍රීඩකයෙකු වන ගෝඩි හෝව් සිහිපත් කිරීම සඳහා ය. ඔහු සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ඩෙට්‍රොයිට් රෙඩ් වින්ග්ස් (Detroit Red Wings) කණ්ඩායම සමඟ බැවින්, මෙම පාලම දෙරටේ සංස්කෘතික බැඳීම ද නිරූපණය කරයි.

නිවාස හා යටිතල පහසුකම් අමාත්‍ය ග්‍රෙග් රොබට්සන් ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය හුදෙක් පාලමකට වඩා වැඩි යමක් වන අතර එය දෙරට එක්ව වැඩ කිරීමෙන් අත්කර ගත හැකි ජයග්‍රහණවලට සාක්ෂියක් බවයි. මෙය මිචිගන් සහ ඔන්ටාරියෝ සම්බන්ධ කරන දෙවන ප්‍රධාන මාර්ගය බවට පත්වේ.

පාලම විවෘත කිරීම සිදු වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවට එරෙහිව සියයට 50ක නව තීරුබදු පැනවීමට තර්ජනය කර ඇති වාතාවරණයක් තුළ ය. මෙම පාලම විවෘත කිරීම ප්‍රමාද වීමට ද දේශපාලන කරුණු බලපෑවේය. පසුගිය පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාවට ලැබිය යුතු වන්දි ලබා දෙන තෙක් සහ කැනඩාව ඇමරිකාවට සාධාරණව සලකන තෙක් පාලම විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි.

සම්පූර්ණ ඉදිකිරීම් පිරිවැය කැනඩාව විසින් දරා තිබියදී පවා, පාලම කැනඩාව සහ මිචිගන් ප්‍රාන්තය යන දෙපාර්ශවයටම ඒකාබද්ධව අයිති වේ. මාස කිහිපයක සාකච්ඡාවලින් පසු, ජූලි 10 වන දින නව ආදායම් බෙදාගැනීමේ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් අනතුරුව ජූලි 27 වන දින පාලම විවෘත කිරීමට තීරණය විය.

ගමන් ගාස්තු ව්‍යුහය

පාලම භාවිතා කරන මගීන් සඳහා ගාස්තු ව්‍යුහය මෙසේ ප්‍රකාශයට පත් කර ඇත:

  • පෞද්ගලික වාහන –  එක් වාහනයකට ඩොලර් 8ක් වන අතර, ට්‍රේලරයක් සහිත වාහනයක් නම් අමතර ඩොලර් 8ක් අය කෙරේ.
  • වාණිජ වාහන – විශාල වාණිජ වාහන, මගී ප්‍රවාහන බස් රථ හෝ අවදානම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහන සඳහා එක් අක්ෂයකට (per axle) ඩොලර් 12 බැගින් අය කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කැනේඩියානු බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් බිලියන 6.4 ක ණය මුදලක් වැය කර ඇත. අගමැති මාර්ක් කාර්නි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, කැනඩාව විසින් දරන ලද සම්පූර්ණ ණය මුදල පියවන තෙක් කිසිදු ආදායමක් ඇමරිකාව සමඟ බෙදා නොගන්නා බවයි.

කෙසේ වෙතත්, රජය විසින් නිකුත් කරන ලද ගිවිසුම් කෙටුම්පතට අනුව, පාලමේ “ශුද්ධ ආදායමෙන්” (net revenues) සියයට 50ක් වසර 15ක කාලයක් සඳහා ඇමරිකාවට ගෙවීමට කැනඩාව එකඟ වී ඇත. මෙම ගිවිසුමේ කැනඩාවේ ණය පියවීම පිළිබඳව පැහැදිලි සඳහනක් නොමැති වීම විශාල දේශපාලන ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් පිරිවැය පියවා ගැනීමට කැනඩාවට වැඩි කාලයක් ගතවනු ඇතැයි විචාරකයෝ පවසති.

අගමැති මාර්ක් කාර්නි මෙම ගනුදෙනුව හසුරුවා ඇති ආකාරය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විවේචන එල්ල කර ඇත. ඒ අනුව, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා රජයේ මෙහෙයුම් කමිටුව (Government Operations Committee) රැස්වීමට නියමිතව තිබේ.

මෙම පාලම ආර්ථික වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් වුවද, එහි මූල්‍ය කළමනාකරණය සහ දේශපාලන බලපෑම් ඉදිරි කාලයේදී කැනේඩියානු දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today