
2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාව කම්පා කළ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවලට වැරදිකරුවන් කරමින්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් පසුගිය ඡූලි (31වැනිදා) මරණ දඬුවම නියම කරන ලදී.
මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල විසිනි. විනිසුරු මඬුල්ලේ බහුතර තීරණය අනුව මෙම දඬුවම නියම වූ අතර, විනිසුරු මඬුල්ලේ සභාපති ප්‍රියන්ත ලියනගේ සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර යන මහත්වරු විත්තිකරුවන් වැරදිකරුවන් බව ප්‍රකාශ කළහ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, අපරාධමය ලෙස රාජකාරිය පැහැරහැරීම සහ එමගින් පුද්ගලයන් 268 දෙනෙකුගේ මරණ සිදුකිරීමටත්, තවත් 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීමටත් ඉඩ සැලසීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 855ක් ගොනු කර තිබුණි. ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම චෝදනා 855න් 854කටම වැරදිකරු විය.
මරණ දඬුවමට අමතරව, විත්තිකරුවන් දෙදෙනාටම අනෙකුත් චෝදනා සඳහා වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම වූ අතර, එම සිරදඬුවම් සමගාමීව ගෙවී යා යුතු බවට අධිකරණය නියම කළේය. මීට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් වූ දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කෙරුණි.
නඩු විභාගයේදී අනාවරණය වූ සාක්ෂිවලට අනුව, පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් බුද්ධි නිවේදන අටක් (8) නිකුත් කර තිබුණි. විශේෂයෙන්ම 2019 අප්‍රේල් 20 වන දින සවස් කාලයේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා විසින්, පාස්කු ඉරු දින කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල කතෝලික පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට හිටපු පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබුණි.
එහෙත් එම තොරතුරු ලැබී තිබියදීත්, ඒවා වැළැක්වීමට විත්තිකරුවන් කිසිදු පියවරක් නොගත් බව අධිකරණය නිරීක්ෂණය කළේය. “පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සහ අපරාධ වැළැක්වීමට පොලිස් ආඥාපනතේ 56 වන වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත වගකීමක් පොලිස්පතිවරයාට පැවති” බව අධිකරණය පෙන්වා දුන්නේය. එමෙන්ම, ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි රැස්වීමක් කැඳවීමට හෝ ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබූ බවත්, එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු විසින් නොගත් බවත් අධිකරණය සඳහන් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර විත්තිකරුවන්ට තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. එහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ තමන් කිසිදු මිනීමැරීමක් හිතාමතා සිදු නොකළ බවත්, පොලිස් සේවයේ සිටි කාලය පුරාම තමන් උපරිමයෙන් සේවය කළ බවත්ය. මෙම සිදුවීමෙන් පසු තමන්ට අසාධාරණයක් සිදු වූ බවත්, තවත් නිලධාරීන් රැසක් මෙයට වගකිව යුතු වුවත් අද තමන් පමණක් චෝදනාවලට ලක්ව ඇති බවත් ඔහු පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ තමන් අධිකරණයේ බොහෝ සොයාගැනීම් සමඟ එකඟ නොවන බවයි. ආරක්ෂක ලේකම්වරයෙකුට ස්වාධීනව කටයුතු කළ නොහැකි බවත්, අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. තමන් රජයේ නිලධාරියෙකු ලෙස මහජනයාට හානි වන කිසිවක් හිතාමතා සිදු නොකළ බව ද ඔහු පැවසීය.
මෙම නඩුව මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ අතර, 2022 පෙබරවාරි 18 වන දින එම මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි. එහෙත් එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් 2024 නොවැම්බර් 5 වන දින මහාධිකරණ තීන්දුව අවලංගු කර, විත්තියේ සාක්ෂි කැඳවා නඩුව නැවත විභාග කරන ලෙස නියෝග කළේය. ඒ අනුව සිදු කෙරුණු නැවත විභාගය අවසානයේ මෙම මරණ දඬුවම නියම කෙරුණි.
විනිසුරු මඬුල්ලේ බහුතර තීරණය මරණ දඬුවම වුවද, විනිසුරු විරාජ් වීරසූරිය මහතා සිය සුළුතර තීරණය ප්‍රකාශ කරමින් කියා සිටියේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.
දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල මහතා ප්‍රකාශ කළේ, මෙම තීන්දුවට එරෙහිව ඉදිරි දින 28 ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට පියවර ගන්නා බවයි. හිටපු පොලිස්පතිවරයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


