ග්‍රීන්ලන්තය පිළිබඳ ඇමරිකානු ගිවිසුම “ධනාත්මක” සන්ධිස්ථානයක් –  කැනඩා ආරක්ෂක ඇමති.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ පාලනය යටතේ අඛණ්ඩව රඳවා ගනිමින්, එහි ආරක්ෂක හා හමුදාමය වැඩි කිරීමට එක්සත් ජනපදය සහ ග්‍රීන්ලන්තය අතර ඇති කර ගත් එකඟතාව “ධනාත්මක හා දිරිගන්වනසුලු” තත්ත්වයක් බව කැනඩාවේ ජාතික ආරක්ෂක අමාත්‍ය ඩේවිඩ් මැක්ගුයින්ටි (David McGuinty) පවසයි.

NATO මිත්‍ර පාක්ෂිකයෙකු වන ඩෙන්මාර්කයෙන් බලහත්කාරයෙන් ග්‍රීන්ලන්තය පවරා ගන්නා බවට මීට පෙර මාස කිහිපයක් පුරා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබිණි. කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඩෙන්මාර්කය සමඟ මේ සම්බන්ධයෙන් නව ගිවිසුමකට පැමිණ ඇති බවයි.

ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන්ගේ (Mette Frederiksen) කාර්යාලය පවසන පරිදි, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වෙන ලබන සතියේදී රජයන් තුනක් විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය. එහෙත්, එය නිල වශයෙන් ක්‍රියාත්මක වීමට පෙර ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තු වල අනුමැතිය ලබා ගත යුතුව ඇත.

ඔටාවාහි පාර්ලිමේන්තු හිල්හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මැක්ගුයින්ටි සඳහන් කළේ, ඇමරිකාව සහ ග්‍රීන්ලන්තය එකඟතාවකට පැමිණීම සතුටට කරුණක් බවයි. ආක්ටික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාටෝ (NATO) මිත්‍ර පාක්ෂිකයන් තම වගකීම් නිසි ලෙස තේරුම් ගැනීම අගය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ට්‍රම්ප් යළි ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඩෙන්මාර්කයට බලපෑම් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තය ඇමරිකාවට විකුණන ලෙසයි. එපමණක් නොව, ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මිත්‍ර පාක්ෂිකයකු වුවද, හමුදා බලය යොදා හෝ එම දූපත අත්පත් කර ගැනීමට පසුබට නොවන බවට ඔහු මීට පෙර අනතුරු අඟවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …