
ශ්‍රී ලංකාවේ ආදිවාසී වැදි ප්‍රජාව දශක ගණනාවක සිට අපේක්ෂා කළ නීත්‍යානුකූල පිළිගැනීම සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව සුරක්ෂිත කිරීමේ තීරණාත්මක පියවරක් රජය විසින් ගෙන තිබේ. 2026 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය දඹාන ආදිවාසී උරුම කෞතුකාගාර පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම නව ප්‍රතිසංස්කරණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ පරිදි, ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් ලබා දෙමින් පරිසර විෂය භාර අමාත්‍යවරයාගේ නායකත්වයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් අත්සන් කර තිබේ. මෙම ගැසට් නිවේදනය හරහා ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන බව ඇය පෙන්වා දුන්නාය.
පළමුවෙන්ම, ආදිවාසී වැදි ජනතාව වෙනුවෙන් විශේෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන අතර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන නීත්‍යානුකූල හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගැනේ. දෙවනුව, ඔවුන්ගේ සාම්ප්‍රදායික දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වන වනාන්තර වෙත ඇතුළු වීමට පවතින නීතිමය බාධාවන් ඉවත් කරමින්, ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දීමට ද මෙම නව විධිවිධාන මඟින් කටයුතු කර ඇත. මෙම පියවරයන් ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය රැකගනිමින් ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව අඛණ්ඩව පවත්වාගෙන යාමට මහඟු පිටුවහලක් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
වැදි ප්‍රජාවගේ අයිතිවාසිකම් නීතිගත කිරීමේ අරමුණින් සකස් කරන ලද, දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ ‘ආදිවාසී ජනතා පනත් කෙටුම්පත’ (Indigenous Peoples Bill) මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ විශේෂ මැදිහත්වීම මත මෙම පනත කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති අතර, ඒ පිළිබඳව වන විධිමත් සාකච්ඡා මෙම සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය අනාවරණය කළාය.
මෙම පනතේ මීළඟ පියවරයන් ආදිවාසී නියෝජිතයින් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය. පසුගිය රජයන් කිහිපයක්ම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු නියෝජිතයින් සමඟ මේ පිළිබඳව වසර ගණනාවක් සාකච්ඡා පවත්වා තිබුණ ද, එම ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබූ බව අගමැතිනිය මෙහිදී පෙන්වා දුන්නාය. වත්මන් රජය එම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කර නීතිගත කිරීමට කැපවී සිටින බව ඇය අවධාරණය කළාය.
වැදි ජනතාව සහ පරිසරය අතර පවතින අවියෝජනීය බැඳීම පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ඔවුන් පරිසරය සලකනු ලබන්නේ තමන්ගේම නිවස ලෙස බව ප්‍රකාශ කළාය. ඔවුන් සතු පරිසර හිතකාමී සිරිත් විරිත් නූතන ලෝකයට මහඟු ආදර්ශයක් බව ඇය පැවසුවාය. නිදසුනක් ලෙස, දඩයම් කිරීමේදී ගැබ්බර සතුන් නොමැරීම සහ මීපැණි එකතු කිරීමේදී මුළු මී වදයම විනාශ නොකිරීම වැනි සම්ප්‍රදායන් ඔවුන්ගේ ජීවන රටාවට බද්ධ වී පවතී.
මෙහිදී හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි මහතාගේ කැපකිරීම ද ඇය සිහිපත් කළාය. තිසාහාමි මහතා විසින් තම සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එකල රාජ්‍ය නායකයෙකු විසින් ලබා දුන් නිල නිවාස සහ ඉඩම් වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීම, පෞද්ගලික වාසි පසුපස හඹා යන වත්මන් සමාජයට වටිනා ආදර්ශයක් බව අගමැතිනිය කියා සිටියාය. සංවර්ධනය යනු ආදිවාසී ජනතාවගේ උරුමයන් විනාශ කිරීම නොවන බවත්, එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සැමගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට එක් වූ වත්මන් ආදිවාසී නායක වනාස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් ද වැදගත් අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය. රටක පැවැත්ම සඳහා නීති අවශ්‍ය බව පිළිගන්නා අතරම, එම නීති සකස් කිරීමේදී රටේ ජනතාව, ඔවුන්ගේ ප්‍රජාවන් සහ සංස්කෘතීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
පසුගිය රජයන් සමඟ පෑ සාකච්ඡාවලින් නිසි විසඳුමක් නොලැබුණු බවත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු තම ගැටලු ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය. නව නීති කෙටුම්පත් කිරීමේදී ආදිවාසී ප්‍රජාවගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රජය ඉදිරි පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වැදි නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම නව පියවරයන් හරහා ශ්‍රී ලංකාවේ වැදි ප්‍රජාවට ඔවුන්ගේ අනන්‍යතාවය රැකගනිමින් අභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය හුදෙක් නීතිමය ක්‍රියාවලියක් පමණක් නොව, මෙරට මුල් පදිංචිකරුවන්ගේ උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවරකි.


