‍ එල්නිනෝ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් – ඡගත් සංවිධානය අනතුරු අගවයි.

පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වසරේ අවසාන භාගයේ දී වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.එහිදී ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

එල්නිනෝ දේශගුණික තත්ත්වය පිළිබදව ආසියානු කලාපයේ රටවලට සිදුව හැකි බලපෑම සම්බන්ධයෙන් වන නවතම තක්සේරු වාර්තාව නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව පෙන්වා දී තිබේ.

එම තක්සේරුවට අනුව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වැඩි අවධානයක් අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවට අදාළ ප්‍රධාන අවදානම වන්නේ වියළි කාලගුණ තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම බව එම වාර්තාවේ දැක්වෙයි.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබිය හැකි බව අදාළ තක්සේරුවේ සඳහන් ය.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවේ පෙන්වා දී ඇත්තේ දේශගුණික අවදානමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනය ද ඉහළ යා හැකි බවය.

කෙසේවෙතත් මෙම අවදානම පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින් පූර්ව සූදානම් වීම සඳහා තීරණාත්මක අවස්ථාවක් තවමත් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් සිඳී ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේය.එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට රජය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today