දෛනිකව සමාජ මාධ්‍ය භාවිතයෙන් ලංකාවේ සිසුන්ගෙන් සියයට 60.1% දැඩි මානසික ආතතියෙන්.

දෛනිකව සමාජ මාධ්‍ය භාවිතයේ නිරතවීම හේතුවෙන් මෙරට පාසල්වල දහවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 60.1% පිරිසක් දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව පර්යේෂණයකින් අනාවරණය වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ පර්යේෂණයකට අනුව පාසල් සිසුන්තුළ පවතින මෙම ආතති තත්ත්වය පිළිබඳ හඳුනාගෙන ඇත.

දහවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් මෙසේ දැඩි මානසික ආතතියෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් සියයට 24.1% පිරිසකට සායනික මට්ටමේ විශාද ලක්ෂණ පවතින බවද අනාවරණය වෙයි. දිනපතා සමාජ මාධ්‍ය භාවිතය සේම අධ්‍යපානය තුළ ඇති පීඩාව, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම සහ පවුල් පසුබිම් තුළ ඇති විවිධාකරයේ ගැටලුද මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ළමා මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති.

විශේෂයෙන්ම වයසින් වැඩි සිසුන් සහ ගැහැනු ළමයින් මින් වැඩිපුර පීඩාවට පත්ව ඇති බවටද මෙම සමික්ෂණයේදී අනාවරණය වී ඇත. සිසුන්ගේ මෙම මානසික සෞඛ්‍ය අභියෝගයට විසඳුම් සෙවීම සඳහා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දීම, පාසල් හා ජාතික මට්ටමින් ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කළ යුතු බව මෙම සමීක්ෂණය සිදුකළ මනෝ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ අතර වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අරමුණු විරහිතව, දිගින් දිගටම දුරකතනය මගින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාලය නාස්ති කිරීමට පුරුදු වී තිබේ.

නමුත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනයක් මගින් නිකුත් කළ “ලෝක සතුට” පිළිබඳ වාර්තාව තුළ පෙන්වා දෙන්නේ, මෙලෙස අධික ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අපගේ මානසික සුවතාවයට බෙහෙවින් හානි කරන බවයි.

විශේෂයෙන්ම බටහිර රටවල ජීවත් වන තරුණ ගැහැණු ළමයින්ට මෙයින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් පර්යේෂකයෙකු වන මයිකල් ප්ලාන්ට් (Michael Plant) මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ,ඔබ දවසට පැයක් විතර සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඒක හොඳයි, මොකද ඒකෙන් අන් අය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබ සමාජ මාධ්‍යවල වැඩිපුර කාලය ගත කරන තරමට, ඔබේ මානසික සතුට අඩු වෙනවා.”

මේ අතර, පසුගිය වසර 10 තුළ අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල වයස අවුරුදු 25ට අඩු තරුණ පිරිස්වල මානසික සුවතාවය වේගයෙන් පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today