දේශගුණික යුක්තිය හා ගාසා තීරය වෙනුවෙන් ජගත් මහ සමුළුවේදී ශ්‍රී ලංකාව පෙනී සිටියි.

යුද්ධ, භූ-දේශපාලනික ආතතීන් සහ මානුෂීය අර්බුද වැනි ගෝලීය තත්ත්වය පවතින පසුබිමක, ගැටුම්වලට වඩා මානුෂීයත්වයට මුල්තැන දීමට අධිෂ්ඨානශීලී ජාතියක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩ­ලය පසුගිය (28 වැනිදා)ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවයි.

ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ජාතික ප්‍රකාශයෙන් දේශගුණික විපර්යාස සඳහා කඩිනම් ක්‍රියාමාර්ග, ගාසා වෙත බාධාවකින් තොරව මානුෂීය ආධාර සහ සාධාරණ ජාත්‍යන්තර ණය නීති ඉල්ලා සිටින ලදී.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගෝලීය විමෝචනයට අවම දායකත්වයක් ලබා දී ඇති රටවල් දේශගුණික විපර්යාසවල දැඩිම ප්‍රතිවිපාක අඛණ්ඩව විඳදරා ගන්නා බවයි. මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස්, මිලියන 2 කට අධික පිරිසක් පීඩාවට පත්වූ බවත්, ජීවනෝපාය සහ යටිතල පහසුකම්වලට එමගින් දැඩි හානි සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

වසර 2030වන විට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව නිවැරදි මාවතක ගමන් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 2050 වනවිට කාබන් විමෝචනය ශූනය මට්ටමක පවත්වාගැනිමත් ඉලක්කයක් බව ඒ මහතා මෙහිදී කියා සිටියේය.

ගාසා තීරයේ සහ අල්ලාගත් පලස්තීන ප්‍රදේශවල පවතින දුක්ඛිත තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ බලවත් අවධානය යොමු වී ඇති බව පවසමින්, ආරක්ෂක මණ්ඩලයේ සටන් විරාම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසත්, බාධාවකින් තොරව මානුෂීය ආධාර ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කර සිටියේය. එසේම 1967 වසරට පෙර පැවැති අන්දමට දේශසීමා තුළ ඊශ්‍රායලය සමඟ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දෙන බව තහවුරු කළේය.

2022 අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කර ඇතත්, ණය සහ බාහිර කම්පන හමුවේ තවදුරටත් අවදානමට ලක්විය හැකි බව අමාත්‍යවරයා එහිදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙසත් ණය සහ සංවර්ධන මූල්‍ය සඳහා සාධාරණ නීති සකස් කරන ලෙසත් ඔහු යළිත් මෙහිදී ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයෙන් පසු ඉතිරිව ඇති ගැටලු විසඳීමට සහ දේශපාලන මැදිහත් වීම්වලින් තොරව දූෂණ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට රජය, ආයතන ශක්තිමත් කරමින් සිටින බව ඔහු පැවසීය. එමෙන්ම, කෘත්‍රිම බුද්ධියේ (AI) සදාචාරාත්මක භාවිතය සඳහා ජාතික මාර්ගෝපදේශ සකස් කර ඇති බව ද අමාත්‍ය විජිත් හේරත් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …